කෝටි 700 දියමන්ති කොල්ලයේ මහ මොළකරු අත්අඩංගුවට

  👤  2185 readers have read this article !
By mawbima 2019-03-06

චාමර අමරසූරිය

කැලණිය - කුසුම් එස් හැන්නදි

ඩුබායි බන්ධනාගාරයක දැනට රඳවා සිටින මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව සිදු කළ රුපියල් කෝටි 700ක් වටිනාකමකින් යුත් දියමන්තිය සහ මැණික් කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඉන්දික සම්පත් නොහොත් කැවුමා පෑලියගොඩ කෙට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ බස් නැවැතුම්පොළේ රැදී සිටියදී පෙරේදා (04දා) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කුලියට ගෙන නැවතී සිටි පානදුර කෙහෙල්වත්ත, තක්සලා හරස්පාර ප්‍රදේශයේ දෙමහල් නිවෙසක ඉහළ මහලයේ අල්මාරියක් තුළ සඟවා තිබූ දියමන්තියද සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

එම දියමන්තියේ වටිනාකම රුපියල් කෝටි 500ක් බවත් සොරාගත් අනෙකුත් මැණික්වල වටිනාකම රුපියල් කෝටි 200ක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඩෙනිම් කලිසම් සාක්කුවේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් තිබී ඇති අතර එය සෙලෝපේන් කොළයක ඔතා රෝස පැහැති සිලි කවරයක දමා තිබී ඇත.

එම නිවෙසේ තිබී දියමන්තිය ඇතුළු රත්රන් පවුම් ගෑම් 587ක් වටිනා රන් භාණ්ඩ තොගයක්ද ජංගම දුරකථන 126ක්ද චාජර් තොගයක්ද පොලිසියට හමුවී ඇත.
‍ෙදාඩම්දුව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නමැති මෙම සැකකරුගෙන් ලද ප්‍රකාශවලට අනුව ඔහුගේ මව පදිංචිව සිටින පිටිගල, බොරලුහේනේ ඉහළ හෙවෙස්ස පාරේ නිවෙසේ පිටුපස වළදමා තිබියදී රුපියල් කෝටි එකහමාරක මුදල් ද මොරටුව රාවතාවත්තේ පී.බී. අල්විස් පෙරේරා මාවතේ කුලියට ගත් නිවෙසක කාමරයක තිබී මාංචු කුට්ටම් තුනක්, පතරොම් තොගයක්, අත්බෝම්බයක්, හමුදා නිල ඇඳුම් කට්ටලයක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය සොයාගෙන ඇත.

මෙම පොලිස් මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර මෙම සැකකරු සොරාගත් දියමන්තිය දිගින් අඟල් 03ක් ද පළල අඟල් 2 1/2ක්ද වන මෙතෙක් නිශ්චිත වටිනාකම ගණන් බලා නොමැති වටිනා දියමන්තියකි. මෙහි බර ග්‍රෑම් 142ක් වන අතර එය සුදු පැහැයට හුරුය. ඔහු සතුව තිබූ රන් ආභරණ අතර ග්‍රෑම් 120 බර රන් මාලයක්, ග්‍රෑම් 17ක් බර සුරයක්, ග්‍රෑම් 127ක් බර වළල්ලක්, ග්‍රෑම් 200 බර මොන්ඩියල් වර්ගයේ රන් අත්පලඳනාවක්, කාන්තා මුදු 03ක්, පිරිමි මුදු 05ක් තිබී ඇත. මෙම සම්පූර්ණ රන් භාණ්ඩවල බර ග්‍රෑම් 587ක් බවට ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් කෝටි 1 1/2 මුදල් 5000හේ නෝට්ටු ලෙස අසුරා වත්තේ තුන් තැනක වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

කැවුමා නමැති මෙම සැකකරුගේ ගෙලෙහි රුපියල් ලක්‍ෂ 37ක් වටිනා සුරයක් පැලැඳ සිටි බවත් එය වෙඩි නොවදින සුරයක් බව සැකකරු පොලිසියට පවසා තිබේ.
අදාළ දියමන්තිය මෙම සිද්ධියේ පැමිණිලිකරු විසින් හඳුනාගෙන ඇත.

කැළුම් ඉන්දික හට මෙම දියමන්තිය ලබා දී ඇත්තේ මෙම කොල්ලය සිදු වූ ඉකුත් නොවැම්බර් 05 වැනි දින පිළියන්දල ප්‍රදේශයේ ඇවිදින මංතීරුව අසලදීය. කොල්ලය සිදු කළ කල්ලිය විසින් දියමන්තිය සහ කොල්ලයට භාවිත කළ ගිනි අවිද මෙලෙස ඉන්දික වෙත දී තිබේ.

ඉන්දික නමැත්තා ප්‍රදේශයේ ජීවත්වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙක් විලසින් බවද පොලිසිය පවසයි.

අවි ආයුධ පෙන්වා සිදුකළ කොල්ලකෑම් ගණනාවකට ඉන්දික හට 2005 වසරේදී වසර 10ක සිරදඬුවම් නියමවී ඇත. 2015 වසරේ ඔහු ඉන් නිදහස්ව පැමිණ ඔවුන්ගේ අපරාධ මෙහෙයවමින් සිට ඇත.
මේ වන විටත් ඔහුට විරුද්ධව හලාවත, කළුතර, කොළඹ, ගම්පහ ඇතුළු මහාධිකරණ කීපයක නඩු විභාග වන බවද පොලිසිය පවසයි.

කළුතර ප්‍රදේශයේදී සිදුවූ බන්ධනාගාර බස් රියට ප්‍රහාරයක් දියත් කිරීම, පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට වෙඩි තැබීම යන අපරාධයන්ටද මොහු සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ.
මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතුවලට සහාය දෙමින් ගුවනින් මල් ඉසීමට පවා කටයුතු සම්පාදනය කර ඇත්තේ ඉන්දික විසින් බවට අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 10 වැනි දින පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මීට අදාළව හේමාල් රංජන පෙරේරා සහ කසුන් ස½දරුවන් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී බවද පොලිසිය සඳහන් කරයි.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම අනුව කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ ඍජු අධීක්‍ෂණය මත කැලණිය දිස්ත්‍රික් අංක (01) භාර කාන්තා පොලිස් අධිකාරි මදාරා ආරියසේන මහත්මිය යන උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා, උප ලෙිස් පරීක්‍ෂක සමීර මංජුල කුලසිංහ, උප පොලිස් පරීක්‍ෂක සංගීත් කරුණාතිලක, පොලිස් සැරයන්වරුන් වන ධර්මසිරි (33507), ප්‍රේමසිරි (25140), උදය කුමාර (5508), සෝමසිරි (14868), කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් අබේකෝන් (4164), බණ්ඩාර (53262), පොලිස් කොස්තාපල් ගුණවර්ධන (86476), කාන්තා පොලිස් කොස්තාපල් හසිනි (8652) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon