අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ටැමිල් යූනියන්ට කඩුලු 7ක ජයක්

  👤  2057 readers have read this article !
By mawbima 2019-03-06

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05දා) පැවැති ටැමිල් යූනියන් -ශ්‍රී ලංකා වරාය අධිකාරිය තරගයෙන් ටැමිල් යූනියන් පිලට කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් හිමි විය.

කොළඹ එන්.සී.සී. පිටියේ පැවැති එම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් කණ්ඩායමේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහර දුන් වරාය අධිකාරිය පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 209ක් රැස් කළේය. එහිදී අධීෂ නානායක්කාර ලකුණු 58ක්ද රනේෂ් පෙරේරා නොදැවී ලකුණු 53ක්ද රැස් කළ අතර පන්දු යැවීමේදී ජීවන් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළීය.

ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ටැමිල් යූනියන් පිල පන්දුවාර 35.4කදී කඩුලු 3ක් පමණක් වැය කරමින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වීම කැපීපෙනුණි. පන්දුවෙන් දස්කම් දැක්වූ ජීවන් මෙන්ඩිස් පිත්තෙන්ද තම කාර්යභාරය නිසි අයුරින් ඉටුකරමින් නොදැවී ලකුණු 79ක් ලබාගත් අතර සචිත්‍ර සේරසිංහ ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය. ටැමිල් යූනියන් කණ්ඩායමේ බිඳවැටුණු කඩුලු 3ම හෂාන් විමර්ශනගේ නම ඉදිරියෙන් සටහන් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon