සාග් උළෙලට ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා 27ක්

  👤  2057 readers have read this article !
By mawbima 2019-03-06

විචිත්‍ර වීරසිංහ

මෙයට පෙර අවස්ථා දෙකකදී කල් යමින් අවිනිශ්චිත තත්ත්වයක පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාග්) මෙම වසරේ දෙසැම්බර් මස 1 වැනිදා සිට 11 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වීමට මේ වනවිට තීරණය වී තිබේ.

ඒ අනුව තායිලන්තයේ බැංකොක් නුවරට පසුගියදා රැස්වූ ආසියානු ක්‍රීඩා සභාව මෙම තීරණය ගෙන ඇති අතර, මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළුව ශ්‍රී ලංකා නියෝජිතයකුද සහභාගි විය.

එහිදී විස්සයි-20 ක්‍රිකට් ඉසව්වද ඇතුළත් කරමින් ක්‍රීඩා ඉසව් 27ක් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ වී ඇති නමුත් එහි අවසන් තීරණය ලබන මැයි මාසයේදී නැවත රැස්වන දකුණු ආසියානු ක්‍රීඩා සභාව විසින් ගනු ඇති බවද පැවැසේ.

මෙම ක්‍රීඩා උළෙල එම දින වකවානුවේදීම නේපාලයේ පැවැත්වෙන බවත්, මැයි මාසයේදී ක්‍රීඩාංගණ නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ස්ථිර වශයෙන්ම පැවැත්වෙන ක්‍රීඩාංගණය තීරණය කරන බවත් ක්‍රීඩා උළෙල පිළිබඳව පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති රැස්වීමට සහභාගි වූ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා "මව්බිම"ට කීය.

"අපිට වාසියක් තියෙන මීටර් 3000 බාධක, මිටිය විසි කිරීම, බීච් වොලිබෝල්, බීච් හෑන්ඩ්බෝල් වගේ ඉසව් මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ගන්න කියලා අපි ඉල්ලීමක් කළා. මැයි මාසයේදී නැවත රැස්වන අවස්ථාවේදී එයට අවසන් තීරණයක් දේවි. ඒ වගේම පැවැත්වෙන ක්‍රීඩාංගණය මොකක්ද කියලත් මැයි මාසයේදී තීරණය වේවි. කොහොම වුණත් විස්සයි-20 ක්‍රිකට් ඉසව්වද මෙම ක්‍රීඩා උළෙලේදී පැවැත්වෙන නිසා අපිත් එක්ක මේ රැස්වීමට සහභාගි වූ අයි.පී. විජේරත්න මහතා මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කරාවි" යනුවෙන් පැවැසූ සිල්වා මහතා දෙසැම්බර් මාසයේදී නේපාලයට සෙන්ටිගේ‍ර්ට් අංශක 17ක හෝ 18ක උෂ්ණත්වයක් පවතින හෙයින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් එයට දැන් සිටම අනුගත විය යුතු බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩා උළෙල මෙම මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද ක්‍රීඩාංගණවල තිබූ යම් යම් අඩුපාඩු හේතුවෙන් එය සැප්තැම්බර් මාසය දක්වා කල් දමා තිබිණි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon