අද තරගයේදී වෙනසක් කරන්නට ලංකාව වෙනස්කම් සමඟ පිටියට

  👤  2179 readers have read this article !
By mawbima 2019-03-06

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පිටියේදී අද (06දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භවීමට නියමිතය.

දෙපිල අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පූර්ණ වශයෙන් ජයගත් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේදීත් දකුණු අප්‍රිකානුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරතැයි බොහෝ දෙනකු විශ්වාසය පළ කළද පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දුර්වලතා සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ කතාබහට ලක්ව තිබේ.

ඒ අනුව පළමු තරගය පරාජය ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගනිමින් තරගාවලියට අවතීර්ණ වීම සඳහා ප්‍රබල උත්සාහයක් ගනු ඇති නමුත් පළමු තරගය ජයගෙන ඇති දකුණු අප්‍රිකානුවන්ගෙන් එවැනි බුරුලක් ලැබේ යැයි සැක සහිතය.

පිතිකරුවන්ට යෝග්‍යව පවතින තණතීරුවක් ලෙස ප්‍රකටව ඇති මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව මින් පෙර තරග පහකට සහභාගි වී ඇති නමුත් ජය ගැනීමට හැකිව ඇත්තේ එක් තරගයක් පමණක් වීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් පළමු තරගය පරාජය ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් නායක ලසිත් මාලිංගගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබූ අතර, මේ හේතුවෙන් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවද පැවැසේ.

එහිදී පළමු තරගයේදී අසාර්ථක වූ උපුල් තරංග හා ලක්‍ෂාන් සඳකැන් වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයේදීත් ලකුණු අතරට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම තුන් ඉරියව්වෙන් දක්‍ෂතා දක්වන කමිඳු මෙන්ඩිස් යොදවා ගැනීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.

අද තරගයේදී ක්‍රීඩා කරනු ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා කණ්ඩායම _ ලසිත් මාලිංග (නායක),
නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් ජනිත්, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය, විශ්ව ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon