රාජකීය - තෝමස් නිල් මහ සටන එස්.එස්.සී. පිටියේදී

  👤  2060 readers have read this article !
By mawbima 2019-03-06

විචිත්‍ර වීරසිංහ

ලොව දෙවැනි දීර්ඝතම අඛණ්ඩ ක්‍රිකට් තරගය ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 140 වැනි 'නිල් මහා සටන' මෙවර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (7 වැනිදා) සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට වඩා ඉපැරණි තරගාවලියක් ලෙසින් සැලකෙන මෙම "නිල් මහ සටන" වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ මෙවර කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමේ නායකත්වය කවිඳු මදුරසිංහටත්, ශාන්ත තෝමස් විදුහල් නායකත්වය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සිතාර හපුහින්නටත් හිමිව තිබේ.
නිල් මහා සටනේ මෙතෙක් පැවැති තරගවලදී කොළඹ රාජකීය විද්‍යාලය අවස්ථා 35කදී ජයග්‍රහණ වාර්තා කරගනිමින් පෙරමුණේ පසුවෙද්දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අවස්ථා 34කදී නිල් මහ සටන ජය ගැනීමට සමත්ව තිබීමද කැපී පෙනේ.

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක්, අර්ධ ශතක 4ක් හා ශතක දෙකක්, අර්ධ ශතක 3ක් සහිතව ලකුණු 700කට වැඩි ප්‍රමාණයක් ලබා සිටින රාජකීය විදුහලේ අහන් වික්‍රමසිංහ හා ඉඳුවර දිසානායක මෙන්ම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන කමිල් මිෂාර මෙවර ශා. තෝමස් විදුහලට තර්ජනයක් එල්ල කළ හැකි ප්‍රබලතම පිතිකරුවන් තිදෙනා බවට පත්ව සිටින අතර, පසුගිය පාසල් ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 50කට වැඩියෙන් ලබාගෙන සිටින ගිෂාන් බාලසූරිය සිය වමතේ දඟ කැවීම පෙන්වීමට මෙවර සූදානම්ව සිටී.

ශතක දෙකක්, අර්ධ ශතක 4ක් සමඟින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 824ක් ලබා ඇති ශා. තෝමස් විදුහලේ නායක සිතාර හපුහින්න මෙන්ම එක් ශතකයක් සමඟින් ලකුණු 664ක් රැස්කරගෙන සිටින ෂලින් ද මෙල් කොළඹ රාජකීය විදුහලට තර්ජනයක් විය හැකි පිතිකරුවන් බවට පත්ව ඇති අතර, මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී පිළිවෙළින් කඩුලු 76ක් හා කඩුලු 74ක් ලබා ඇති කළණ පෙරේරා හා ඩිලෝන් පීරිස් රාජකීය පිතිකරුවන් මෙල්ල කළ හැකි ප්‍රධානතම පන්දු යවන්නන් දෙදෙනා බවට පත්ව තිබීමද විශේෂත්වයකි.

මේ අතර 2004-2005 යන වසරවල ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ ආදි සිසුන් විසින් මෙම තරගය නැරඹීම සඳහා ඉදිකරනු ලබන "ටර්ෆ් ක්ලබ්" ප්‍රේක්‍ෂකාගාරය වෙනුවෙන් නිකුත් කර ඇති මංගල ප්‍රවේශපත් දෙක එම වර්ෂවල කැපී පෙනෙන ආදි සිසුන් දෙදෙනකුට නිකුත් කර තිබීමද විශේෂත්වයකි. ඒ අනුව 2004 වසරේ ශා. තෝමස් විදුහලේ ආදි සිසුවකු වූ වර්තමානයේදී උප විදුහල්පතිවරයකු වන අසංක පෙරේරා හා 2005 වසරේ ආදි සිසුවක වූ වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ට එම ප්‍රවේශපත් දෙක ප්‍රදානය කර තිබූ අතර, මෙම අවස්ථාව සඳහා ශා. තෝමස් විදුහලේ විදුහල්පති මාර්ක් බිලිමෝරියා පියතුමාද එක්ව සිටියේය.

කොළඹ රාජකීය විදුහල් සංචිතය _
කවිඳු මදුරසිංහ (නායක), පසිඳු සූරියබණ්ඩාර, ඉසිවර දිසානායක, කෞෂාන් කුලසූරිය, දෙවිඳු සේනාරත්න, අහන් වික්‍රමසිංහ, ෂෙහාන් හේරත්, දිමල් විජේසේකර, ගිෂාන් බාලසූරිය, භාග්‍ය දිසානායක, තිමිර වීරසිංහ, මනුල පෙරේරා, තරුෂ රුක්‍ෂාන්, ලහිරු මධුසංක, දසිස් මංචනායක, කවිඳු පතිරත්න, කමිල් මිෂාර

ශා. තෝමස් විදුහල් සංචිතය _
සිතාර හපුහින්න (නායක), මනීෂ රූපසිංහ, ක්‍රිෂාන් මුණසිංහ, ඩිලෝන් පීරිස්, කළණ පෙරේරා, දෙවින් ඊරියගම, ශලින් ද මෙල්, ෂැනොන් ප්‍රනාන්දු, යොහාන් පෙරේරා, ශාමික වික්‍රමතිලක, ඩියෝන් ප්‍රනාන්දු, රයන් ප්‍රනාන්දු, මොහොමඩ් ඉෂාක්, සෙමාල් සමරවික්‍රම, තෙහාන් ස්චැෆ්ටර්, ගවින් බොතේජු, ඩිල්මින් රත්නායක, රවිඳු ද සිල්වා, උමයංග සුවාරිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon