වී කිලෝවකට සහතික මිලක් ඉල්ලා මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන උද්ඝෝෂණයක

  👤  2052 readers have read this article !
By mawbima 2019-03-06

මනම්පිටිය - නිමල් ජයරත්න

දැනට පවතින වී කිලෝවක සහතික මිල රුපියල් හැට දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය හා මහවැලි "බී" කලාපයේ ගොවි සංවිධාන රැසක නියෝජිතයන් ඊයේ (05දා) පෙරවරුවේ පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයත් වැලිකන්ද ප්‍රදේශයත් අවහිර කරමින් හා කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයද අවහිර කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. මේ හේතුවෙන් කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියත් - මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියත් අතරමඟ නතර කර තැබීමටද සිදුවිය.

ගොවියාගෙන් රජය ගන්නා වී කිලෝ 2000ක ප්‍රමාණය 2500 දක්වා වැඩි කිරීමත්, දිස්ත්‍රික්කයේ වී ගබඩා විවෘත කර වී මිලදී ගැනීම කඩිනම් කිරීම සහ පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ මාෆියාවෙන් ගොවියා නිදහස් කර ගැනීමට රජය වහාම මැදිහත් වීම උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් වේ.

මෙම ගොවීන් වැලිකන්ද මාර්ගයත්, වග මඟුල්පොකුණ, සේනපුර, සෙවණපිටිය, මලින්ද යන ප්‍රදේශවලින් මාර්ගය අවහිර කර සිදුකළ උද්ඝෝෂණය නිසා ඊයේ දහවල් 12.00 පමණ වනවිට වැලිකන්ද ප්‍රදේශයේ සිට සෙවණපිටිය දෙසට මාර්ගයේ කිලෝමීටර් හතරක පමණ වාහන පෝලිමක් දැකගත හැකි විය.

රජයේ නියමිත බලධාරියකු පැමිණ තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩව සිදුකරන බව සෙවණපිටිය ගොවි සංවිධායක එම්. කසුන් ප්‍රියංග මහතා පැවැසීය.
මෙම උද්ඝෝෂණයට මහවැලි "බී" කලාපයේ ගොවි සංවිධාන 133ක ගොවි නියෝජිතවරු හා ගොවීහු එක්ව සිටියහ.

උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවට පැමිණි වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මාර්ගය අවහිර නොකර සාමකාමීව උද්ඝෝෂණය සිදුකරන ලෙසට කළ ඉල්ලීමත් සමඟ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එම්. එම්. හෛරූස් නිශා මහත්මිය ගෙන්වා පිළිතුරක් ලබාදෙන බවට පොරොන්දු විය.

පසුව ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණ ගොවීන්ගේ ඉල්ලීම් ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන බව ප්‍රකාශ කළද උද්ඝෝෂකයෝ දහවල් 12.00 වන විටත් උද්ඝෝෂණයේ නිරත වූහ.

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවේ තමන් මෙම උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් පිළිබඳ පොළොන්නරුව අතිරේක දිසාපති දැනුවත් කර ගොවිජන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකින් අනතුරුව
පිළිතුරක් ලබාදෙන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon