පැල්පොල විපස්සි හිමි දශක හතරකට අධික කාලයක් මාතෘභූමියේ යහපතට කටයුතු කළා

  👤  2065 readers have read this article !
By mawbima 2019-03-06

ආරියරත්න ගනේගොඩ

දශක හතරකට අධික කාලයක් තිස්සේ අප මාතෘභූමියේ යහපත උදෙසා සහ ළදරු අධ්‍යාපනයට අමිල මෙහෙවරක් සිදුකළ පැල්පොල විපස්සි හිමියන් දිනකට කිහිපවතාවක්ම බුද්ධ පූජාව සිදුකරන හිමිනමක යැයි උන්වහන්සේගේ මේ පාසල් වැඩසටහනින් ජය ලැබූ සිසු සිසුවියන් දස දහස් ගණනක් ජාත්‍යන්තරව විවිධ තනතුරු හොබවමින් කටයුතු කිරීම උන්වහන්සේටත් ශ්‍රී ලංකාවටත් විශාල කීර්තියක් ගෙන දෙන්නක් යැයි මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවැසූහ.

කොළඹ 08, බොරැල්ල පැල්පොල විපස්සි මාවතේ පිහිටි පැල්පොල විපස්සි පදනම් මූලස්ථානයේදී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නිදහස් ළදරු පාසලේ පැවැති උපන්දින අභිනන්දන උළෙලේදී කෝට්ටේ කල්‍යාණි සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ මුලසුන ගනිමින් මේ බව පැවැසූහ.

පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවූ උන්වහන්සේ උත්සව සභාව අමතමින් මෙසේද කීහ.

'අද අපි සියලුම දෙනා සහභාගි වී සිටින්නේ පැල්පොල විපස්සි හිමියන්ගේ ඡන්ම දිනය සැමරීම හේතුකොට ගෙනයි. උන්වහන්සේ මේ සා විශාල මෙහෙවරක් සිදුකර තිබෙන අතර මෙවර උපන්දිනයට පෙර කන්තලේ ප්‍රදේශයට ගොස් ඉතාමත් දුෂ්කර ජීවිත ගත කරන සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දුවා දරුවන්ට පරිත්‍යාග රැසක් සිදුකළ බව දැන ගැනීමට ලැබුණා. එවැනි සුවිශේෂ ක්‍රියාවන් සිදුකිරීමේ ප්‍රධානියකු ලෙස පැල්පොල විපස්සි හිමියෝ හඳුන්වා දෙන්න පුළුවන්. උන්වහන්සේ විශේෂ බෞද්ධ පුත්‍රයෙක් බව තමන් වහන්සේ සඳහන් කරන්නේ භික්ෂුවක් විසින් සමාජයට කළ යුතු උදාර සේවාවන් රැසක් මේ වනවිටත් සිදුකර හමාරයි.

උන්වහන්සේ දක්ෂතම කතිකයෙක් වගේම කිසියම් කටයුත්තකදී කොන්ද කෙළින් තබාගෙන ක්‍රියා කරන ඉතිහාසය පිළිබඳව මැනවින් කරුණු උගෙන ඒ අනුව නිහතමානීව කටයුතු කරන සංඝ පීතෘවරයෙක් බව කිව යුතුයි.
පැල්පොල විපස්සි හිමියෝ මේ රටටත් රටේ අධ්‍යාපනයටත් අධ්‍යාපනය හදාරන දරු දැරියන්ටත් බුදුන්ගේ දර්ශනය අනුව රටටත් ලෝකයටත් උදවු උපකාර නොකඩවාම සිදුකරන ප්‍රධාන පෙළේ හිමිනමක්."

මෙම අභිනන්දන උළෙලට සහභාගි වූ බස්නාහිර පළාත් සභාවේ කිත්සිරි කහටපිටිය, ජයන්ත සිල්වා, පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු සහ එම මහත්මිය, කැමිලස් අබේගුණවර්ධන, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් වන ඇල්ප්‍රඩ් සම්පත්, කිත්සිරි රාජපක්ෂ, ගායන ශිල්පීන් වන එඩ්වඩ් ජයකොඩි, රෝහණ බැද්දගේ සහ ව්‍යාපාරික එස්.එස්. සුබ්‍රමනියම් මහතා ඇතුළු පිරිසක් පැල්පොල විපස්සි හිමියන්ට උපන්දින සළු පොරවන ලදී. උන්වහන්සේ විසින්ද නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රි කිත්සිරි කහටපිටිය මහතාටත් උපන් දින සළු පොරවනු ලැබූහ.

හිටපු ඇමැතිවරයකු වන ආචාර්ය
මර්වින් සිල්වා මහතා මෙසේ කීය.

ශ්‍රී ලංකා දේශයට අනුපමේය උදාර සේවාවක් කළ පැල්පොල විපස්සි හිමියන්ට නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. අපගේ රට පූජනීය වන්දනීය රටක්. බුදුන් වහන්සේ තුන්වරක් අපගේ මේ රටට වැඩම කර තිබෙනවා.

රට ගොඩනැඟීම සඳහා උන්වහන්සේ විශාල කැපවීමකින් තමයි මේ කටයුතු කරන්නේ.

අපේ රටේ සෑම දරු දැරියකුටම අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් කටයුතු කිරීම පැල්පොල විපස්සි හිමියන් ආරම්භ කරනු ලැබුවේ දැනට 40 වසරකට පෙරයි. එලෙස අධ්‍යාපනය ලැබූ දරුවන් අද ලෝකයේ විවිධ රටවල තනතුරු හොබවමින් කටයුතු කරන බව මෙම සභාවේදි අනාවරණය වුණා.

ජපානය පිළිබඳ පැවැති සාම සාකච්ඡාවෙදි අපගේ රටේ හිටපු ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා කියා සිටියේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන කතාව එදා කවුරුත්
පිළිගනු ලැබුවා. එම සැලකිල්ල ජපානය තවමත් අපේ රටට දක්වනවා. එම නායකයාගේ බෑනා කෙනෙක් වන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කරනවා. සමහරු මේ කතා කියන්න බයයි.
දිනක් මා පැල්පොල විපස්සි හිමියනුත් දිවංගත ගාමිණී දිසානායක මහතාගේ නිවෙසේදී මුණගැසී තිබෙනවා. ගාමිණී දිසානායක මහතාට පැල්පොල විපස්සි හිමියෝ විශාල ශක්තියක් ලබා දුන්නා. 1974 තමයි මුලින්ම සාම චෛත්‍යයක් ඉදිකළේ. 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා එම සාම චෛත්‍යය විවෘත කරනු ලැබුවා. අපේ හාමුදුරුවන් ජපන් භාෂාව ඉතා හොඳට කතා කරනවා.

අපගේ ශ්‍රී ලංකාව ලෝකයේ අනිකුත් රටවලට ධර්මය ප්‍රචාරය කරන මධ්‍යස්ථානයක් බවට මේ වනවිට පත්වෙලා තියෙන්නේ. සිංහල ජනතාව නැත්තම් බුද්ධාගමක් නැහැ. තමා ඉපදුණු ගමේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ගමට එහා පැත්තෙ. අද පැල්පොල විපස්සි හිමියෝ තොරණක ලයිට් දානවා වගේ ප්‍රසිද්ධ වීමට උන්වහන්සේ කැමැති නැහැ.

උන්වහන්සේට අවශ්‍ය තිබෙන්නේ තව තවත් රටට සේවය කරන්නයි.

එම සේවය දිගින් දිගටම කරගෙන යෑමට නම් අපි සියලුම දෙනා එකට එකතු වී කටයුතු කරමු යැයි ඉල්ලා සිටිනවා.

පැල්පොල විපස්සි පදනමේ සභාපති
පැල්පොල විපස්සි හිමි
"පුංචි ළමයින් සඳහා තමයි මුලින්ම පෙර පාසල හැදුවේ. පුංචි ළමයිනුයි අලින්වයි බලාගන්න අමාරුයි. මුලින්ම කළ යුතුවන්නේ සෑම දෙනකුටම පාරේ ඇවිද යෑමට ඉගැන්වීමයි. එසේ නැතුව ආර්ය අෂ්ටාංගික මඟට පිවිසෙන්න අමාරුයි. අපගේ දේශය උදාර දේශයක්! මෙවර උපන්දින කටයුතු වෙනස් කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ දුවා දරුවන්ට උපන් දින තෑගි බෙදාදීමට ලැබීම විශාල සතුටක්! අපිට අවශ්‍ය කරන්නේ කුඩා දරු දැරියන්ට හොඳ දිවයිනක් ලබාදෙන්න. කුඩු දිවයිනක් ළමුන්ට ලබාදීලා කිසිම වැඩක් නැහැ.

ඒ වගේම පුංචි දුවා දරුවන්ගේ ජීවිත සමෘද්ධිමත් කළ යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහාය අවශ්‍යයි.

ඒ වගේම රටේ නීතිය ලොකු මිනිහාට එක විදියකටත් පොඩි මිනිහාට තව විදියකටත් මහ අරටුවලටත් ලොකු අයටත් වගේම බිම ඉඳගෙන සිටින දුප්පතාටත් නීතිය එක විදියකටත් කිරීම උචිතයක් නැහැ. පොඩි එකා හෝ ලොකු එකා වැරැදි කළොත් දෙපැත්තටම එක හා සමාන ක්‍රියා කළ යුතුයි."

ශ්‍රී ලංකා මිත්‍රත්ව නිදහස් ළදරු පාසලේ කුඩා සිසු සිසුවියන් වරෙක සිංහලෙන්ද තවත් වරෙක දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින්ද කතා කළහ.

දේශීය සංස්කෘතිකව නැටුම්, ගැයුම් ඉදිරිපත් කළා වගේ තව දරු දැරියන් පිරිසක් බටහිර සංගීතයද එම භාණ්ඩවලින් නැටුම් ගැයුම් සහිත ඉදිරිපත් කිරීම පැමිණ සිටි අමුත්තන්ගේ අවධානයට යොමු විය.

පුබුදු කවීෂා දියණිය ඉතාමත් මනරම් ලෙස නැටුම් සන්දර්ශනයක් තනිවම ඉදිරිපත් කිරීම පැමිණ සිටි ජපන් ඉන්දීය හා දේශීය අමුත්තන් අතරේ ගෞරවයට පාත්‍ර විය.

ඡායාරූප - උදේෂ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon