අය-වැයේ මංගලගේ වැසිකිළි කතාවට විපක්ෂයේ විරෝධය

  👤  2127 readers have read this article !
By mawbima 2019-03-06

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

වර්තමාන ආණ්ඩුවේ 5 වැනි අය - වැය 2019 වසර වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (5දා) දින සවස 2.05ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


වර්තමාන ආණ්ඩුවේ 5 වැනි අය - වැය වශයෙන් මෙය හැඳින්වුවද පසුගිය වසර අගදී ජාතික ආණ්ඩුව බිඳවැටීමෙන් පසුව ගොඩනැඟූ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ පළමු අය - වැය වශයෙන්ද මෙය හැඳින්විය හැකිය.

මංගල සුපුරුදු පරිදි අය - වැය යෝජනා ඇතුළත් ලේඛන රැගෙන ආවේ කළු පාටින් ආවරණය කරන ලද ෆයිල් කවරයක් තුළ දමාගෙනය.

මීට වසර 40,50කට පමණ ඉහත අය - වැය යෝජනා ඉතා සුරක්ෂිත ආකාරයෙන් රැගෙන ආවේ සූට්කේස් එකක දමාගෙනය.

සූට්කේස් එකක අය - වැය යෝජනා ගෙන එන නිසා එය හැඳින්වූයේ අය - වැය රහස් පෙට්ටිය වශයෙනි.

මෙම සූට්කේස් එක රැගෙන පැමිණෙන මුදල් අමාත්‍යවරයා මෙම සූට් කේස් එක යතුර දමා විවෘත කිරීමෙන් පසුව රහස් පෙට්ටියෙන් ගන්නා ලේඛන අය - වැය යෝජනා ලෙස ඉදිරිපත් කරයි.

මේ ආකාරයෙන් අය - වැය ඉදිරිපත් කළේ 1970 - 77 කාලය තුළ පැවැති සමඟි පෙරමුණු ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරායි.

1977 - 1989 කාලය දක්වා පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රොනී ද මැල් විසින්ද මේ ආකාරයෙන් අය - වැය ඉදිරිපත් කරන ලදී.

නමුත් මංගල ඉතා සැහැල්ලුවෙන් රැගෙන පැමිණි අය - වැය ලිපි ගොනුව විපක්ෂය දෙසට ඔසවා පෙන්වූයේ සිනහ සෙමින්ය.

ඉන් අනතුරුව මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අය - වැය ඉදිරිපත් කිරීම ආරම්භ කරන ලදී.

මංගල සමරවීර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් කරන විට අනෙක් පාර්ශ්වයන් සමඟ තරමක් පැටලෙන්නේය. එය මංගලගේ හැටිය. අය - වැය යෝජනා ඉදිරිපත් කරන විට පසුගිය ආණ්ඩුවලට, විපක්ෂයට සහ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ට පොඩි පොඩි හින්ට් පාස් කිරීමට මංගල හුඟක් දක්ෂය.

අය - වැය ඉදිරිපත් කිරීමේදී මෙවර මංගල මුලින්ම විපක්ෂය සමඟ පැටලෙන්නේ වැසිකිළි ප්‍රශ්නයක් මුල්කරගෙනය.

රටේ ලක්ෂ 10කට පමණ වැසිකිළි පහසුකම් නොමැත යනුවෙන් මංගල කීවේය.

'හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂයකට වැකිසිළි පහසුකම් නැහැ' යනුවෙන් මංගල ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක දෙස බලමින්ය.' මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගේත්, චමල් රාජපක්ෂ හිටපු කථානායකවරයාගේත් මහින්ද අමරවීර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේත් දැඩි අවධානය මේ දෙස යොමු වී තිබිණි.

මංගල කියන කතාව ගැන අය - වැය ලේඛනය දෙස මහත් ඕනෑකමකින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා බැලුවේය.

මංගලගේ මෙම වැසිකිළි කතාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැඩි විරෝධය ප්‍රකාශ කළ නිසා මැතිසබය තුළ ඝෝෂාව වැඩි විය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා නැඟීසිටිමින් ප්‍රකාශ කළේ මෙම දත්ත නිවැරැදි නොවන බවයි.

'නිවාස නොමැති පවුල් 15,000ක් බව තමයි සංඛ්‍යා ලේඛනවල තියෙන්නේ. එතකොට පවුල් ලක්ෂයකට වැසිකිළි නැහැ කියන්නේ කොහොමද?' මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. 'පවුලක ඉන්නවානේ 4ක් 5ක්. එතකොට ලක්ෂයකට වැසිකිළි පහසුකම් නැහැ' මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

'ඒක හරිෂෝක් සංඛ්‍යා ලේඛනයක්. ඒකෙන්ම පේනවා. වැරැදි තොරතුරු තමයි මේ අය-වැයට එකතු කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

"වැසිකිළි නොමැති දෙලක්ෂ පනස් දහසක් පමණ අපේ රටේ ඉන්නවා. ඔවුන්ගේ මෙම සනීපාරක්‍ෂක කටයුතුවල ගැටලු විසඳීමට පියවර ගන්නවා. ඒ සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වෙන්කරනවා" යනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

"මෙතන වැසිකිළියක් කරන්න එපා" පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා කෑගසමින් ප්‍රකාශ කළේය.

"මුළු ආණ්ඩුවම වැසිකිළියක් වෙලා" යනුවෙන් කෑගසමින් ප්‍රකාශ කළේ විපක්‍ෂයේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයාය.

එම කතා අවසන් වීමෙන් අනතුරුව මැති සබය සන්සුන් වූ අතර මංගල සමරවීර අමාත්‍යවරයා දිගටම අය-වැය යෝජනා ඉදිරිපත් කළේය.

මංගල ඇමැතිවරයා ඇතැම් යෝජනා ඉදිරිපත් කරන විට විපක්‍ෂයේ සමහර මන්ත්‍රිවරුන් යම් යම් දේවල් ප්‍රකාශ කෙරුණු අවස්ථාවලදී මැතිසබය රසවත් විය.

මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීම සඳහා ගොවිපොළවල් දෙකක් අඹේපුස්ස හා වීරවිල ප්‍රදේශවල ගොඩනැඟීමට යෝජනා කරන බව මංගල අමාත්‍යවරයා කීවේය.
"ආණ්ඩුවේ කොකේන් ගහන 24ත් යවන්නේ ඒවාටද? යනුවෙන් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා කෑගසමින් විමසා සිටීමත් සමඟම සියල්ලෝම සිනාසුණහ.

අලුත බැඳපු තරුණ ජෝඩුවලට "හොම් ස්වීට් හෝම්' යනුවෙන් සහන ණය යෝජනා ක්‍රමයක්ද යෝජනා කර තිබෙන බව මංගල කීවේය.

මේ යෝජනාවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා යමක් ප්‍රකාශ කළේය.

එය දුටු මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "හෝම් ස්වීට් හෝම් ණය එකට වඩා මහින්දානන්දට නම් ගන්න වේවි" කියාය. ඒ කතාවටද සියල්ලෝම සිනහසුණහ.

අය-වැය කතාවට සවන්දීම සඳහා ආරාධිත අමුත්තන්ගේ ගැලරියට විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත අමුත්තන් කීපදෙනෙක්ම පැමිණ සිටියහ.

මෙම විශේෂ ආරාධිත අමුත්තන්ගේ ගැලරියට අය-වැය කතාව අතරතුර පැමිණි අමුත්තියක් ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබිණි.

මෙම අමුත්තිය ගැන අවධානයට ලක්වීමට තවත් සිද්ධියක් බලපෑවේය.

මෙම අමුත්තිය පැමිණියේ සාරියකින් සැරසිලාය. පුටු පේළි අතරින් ඇය පැමිණෙන විට සාරිය පුටුවක පැටළුණේය. ඇයට ඉදිරියට යෑමට තරමක් අපහසු වූ නිසා නැවත හැරුණු ඇය තරමක් වැරෙන් පුටුවේ පැටලී තිබුණු සාරිපොට ඇද්දාය. මෙම සිද්ධිය නිසා බොහෝ දෙනකුගේ අවධානය පැමිණෙනවිටම ඇය දෙසට යොමුවිය. එසේ පැමිණියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියයි. ඇය පැමිණ අසුන් ගත්තේ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය අසලිනි.

මේ අතර - මීට පෙර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිසබයට පැමිණියේ අය-වැය කතාව ආරම්භ වී පැය එකහමාරකට පමණ පසුවය.

අය-වැය කතාවට සහාය නොදීමට රවි මුල සිට මැතිසබය තුළ නොසිටීම බොහෝ දෙනකුගේ කුතුහලයකට හේතුවිය.

අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසුව පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය මැති ඇමැතිවරුන්ගේ භෝජනාගාරයේදී පැවැත්විණි.

ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් ජනතා නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු, විශේෂ ආරාධිතයෝ, මාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් මෙම තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමට පැමිණ සිටියහ.

එම තේ පැන් සංග්‍රහයට සහභාගි නොවූයේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හයදෙනා පමණි.

කරු ජයසූරිය කථානායකවරයා, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා තේ පැන් සංග්‍රහයට එක්ව සිටි අතර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සිටියේ විපක්ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සමඟය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ටිකක් එහාට වී සිටිනු දුටු කථානායකවරයා හෙට්ටිගේට පණිවුඩයක් එව්වේ විපක්ෂ නායකතුමා සමඟ කථානායක සිටින ස්ථානයට පැමිණෙන ලෙසයි.

කථානායක සමඟ විපක්ෂ නායක සුහද සාකච්ඡාවක නිරත වෙමින් සිටි අතර එම ස්ථානයට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකද පැමිණියහ.

"ආණ්ඩුවේ ඉන්න හොඳ ඇමැති කෙනෙක් තමයි ගයන්ත ඇමැතිතුමා" හෙට්ටිගේ කීවේය.

"ගයන්ත ඉතිං මොන පැත්තේ හිටියත් හැමෝම එක්කම හොඳයි" මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පැවසුවේය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා එනු දුටු මන්ත්‍රිවරයෙක් පැවසුවේ "කොකේන් කමිටුවේ සභාපතිතුමා මේ පැත්තට එන බවයි."

ඒ කතාවට සියල්ලෝම සිනහසූණා.

මෑතකදී ආණ්ඩුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජිතමුනි සොයිසා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සමඟ කතාබස් කළේය.
ඉන් අනතුරුව ඔහු තම දුක් ගැනවිල්ලක් හෙට්ටිගේ සමඟ පැවසුවේය.

"යූ.ඇන්.පී. කාරයෝ පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනිනවාට වඩා හොඳයි මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් වෙඩි කන එක" යනුවෙන් විජිත් විජිතමුනි සොයිසා හෙට්ටිගේ සමඟ යම් දුක්ගැනවිල්ලක් ප්‍රකාශ කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තේ පැන් සංග්‍රහයට පැමිණියේ තරමක් ප්‍රමාද වෙලාය. අගමැතිතුමා එනවිට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සමඟ කතාබස් කරමින් සිටියේ එක්සත් ජාතික පක්ෂයේ
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක ප්‍රසාද් කොළොන්නේය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අතර සුහද මට්ටමින් සිදුවූ කෙටි කතාබහේදී අවධානය යොමුවූයේ අය-වැයේ ඇතැම් යෝජනා පිළිබඳවයි.

අය-වැය මඟින් කාබන් බද්ද ඉවත් නොකිරීම ගැන තම විරෝධය පළකරන බව අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා අය-වැයෙන් පසුව කිහිපදෙනකු සමඟ ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon