මෙතෙක් සිටි පාලකයන් පිටරටින් ණයට කන රටක් බවට මේ රට පත් කළා

  👤  2128 readers have read this article !
By mawbima 2019-03-06

මේ වන විට රටේ ජනතාව මෙන්ම ජනාධිපතිවරයාත් විශාල ප්‍රශ්න කන්දකට මුහුණ පා තිබෙනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුවත් එහි පිට පොත්ත එතුමා ළඟ තිබියදී මහින්ද රාජපක්ෂ මහතා මැද කෑල්ල රැගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදාගෙන තිබෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි බලය තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ළඟ යැයිද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

පසුගියදා බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැති ජ.වි.පෙ. බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවැසීය.

'පසුගිය කාලය තුළ අපේ රට පාලනය කළ පාලකයන්, අපේ රට කිසිදු දෙයත් නිෂ්පාදනය නොකරන' පිටරටින් ණයට කන ජාතියක් වෙසෙන රටක් බවට පත් කර අවසන්. රට ගෙනයන්න නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා වෙනුවට මුදල් හොයන්න ණය ගෙවන්න රටේ සියලු සම්පත් පිටරටවලට විකුණා තිබෙනවා. ඒ නිසා මේ දේශපාලකයන් ලෝකයේ රටවල් අතර අපේ රට පරාජිත රටක් බවට පත් කර තිබෙනවා.

අපි විතරක් නොවේ. රටේ ලොකු ලොකු අයටත් ප්‍රශ්න. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කල්පනා කරන්නේ දෙවැනි වතාවට ජනාධිපති වෙන්නේ කොහොමද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන්නේ කවදද ජනාධිපති වෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයෙ ජනාධිපති වෙන්න බැරි නිසා එයා කල්පනා කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට දාන්නේ මොන රාජපක්ෂද කියන එක. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තිබුණට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි බලය තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ. මේ වගේ හැමෝටම ප්‍රශ්න තියෙනවා.

හිටපු ජනාධිපතිවරු කීප දෙනෙක් පොරොන්දු වුණා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. ඒත් බලය ගත්තට පස්සේ කවුරුත් ඒක අහෝසි කරන්න කැමැති නෑ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කියන්නේ මේ ගැන ජනමත විචාරණයකට අවස්ථාව දෙන්න. ජනතාවගේ අයිතිය ඔබ පැහැරගන්න එපා. විධායක ජනාධිපති ක්‍රමය අත්හරින තුරු අපි සටන අත්හරින්නේ නෑ.

අපේ රටේ ජනතාව දුක් විඳින්නේ කිසිදු උත්පාදන ක්‍රමවේදයක් නැති වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසයි. අපේ් රටට වියදම් තිබුණට උත්පාදන ආදායම් මාර්ග නෑ. සියලු දේ පිටරටින් ගෙනාවට රටට මුදල් උපයන ක්‍රම නෑ. රටට ආදායම් උපදවන ක්‍රමවේදයක් හදන්න පසුගිය අවුරුදු හැත්තෑ එකක් රට ගෙන ගිය පාලකයන්ට බැරි වුණා.

දැන් ලංකාව රුපියල් කෝටි දසලක්ෂයක් ඉක්මවූ ණයකාරයෙක්. මේ ණය ගත්තේ රට සංවර්ධනය කරන්න කියලයි පාලකයන් කියන්නේ. රට සංවර්ධනය වුණා නම් ණය ගැනීම අඩු විය යුතුයි. රටේ වත්කම් වැඩි විය යුතුයි. ඒත් ණය අඩුවීමක් හෝ වත්කම් වැඩිවීමක් සිදුවී නෑ.

මේ තත්ත්වය නැති කරන්න පසුගිය අවුරුදු හැත්තෑ එකක් මේ රට කළ පක්ෂවලට බෑ. හොරකම් නොකරන රටේ ජනතාවට වංචා නොකරන පක්ෂයකට විතරයි ඒක කරන්න පුළුවන්. එවන් පක්ෂයක් රටේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. මේ රට ගොඩනැඟීමේ සමාජ වගකීමට එකතු වෙන්න ඔබටත් ආරාධනා කරනවා.

ඇටම්පිටිය - රත්්න වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon