සර්ව ආගමික කියන සංකල්පය ආවේ ඡන්දදායකයා රවට්ටන්නයි

  👤  2108 readers have read this article !
By mawbima 2019-03-06

බහු ආගමිකත්වය සහ ආගමික බහුත්වය යන කාරණා දෙක කලවම් කරගෙන සිටින නිසා මේ සංකල්ප දෙක හරි හැටි තේරුම්ගෙන අපේ රටේ සංස්කෘතිය, සමාජය නිර්මාණය කළ බුදුදහම රැක ගැනීම අත්‍යවශ්‍ය බව මහාචාර්ය අසංග තිලකරත්න පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රථම ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති සාකච්ඡා සභාවක ශාස්ත්‍රීය දෙසුමක් පවත්වමිනි.

එහිදී මහාචාර්ය අසංග තිලකරත්න මෙසේද පැවැසීය.

සර්ව ආගමික කියන සංකල්පය අපට ඇවිත් තියෙන්නෙ ඡන්දදායකයා රවට්ටන්න. ඡන්දදායකයා සන්තෝෂ කරන්න. ඒක නිසා සර්වාගමික කියන සංකල්පය තුළ බරපතළ ගැටලුව තමයි අපි වෙනස් කියලා කියන එක අනෙකාට කරන අගෞරවයක් කියලා. අපි අතර තියෙන වෙනස්කම් පිළිගන්නවා. නමුත් ඒකෙන් අදහස් කරන්නෙ නෑ, අපි අතර සටනක් තිබිය යුතුයි ගහගත යුතුයි කියලා.

කිසියම් ආගමිකයෙක් හිතනව නම් ඒ අය තම තමන්ගෙ ආගමට එකතු කරගන්න. නමුත් එහෙම කරගන්න ගියොත් ප්‍රශ්න මතුවෙනවා. අද ඒ ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා. ආගම්කරණය පිළිබඳව යම් කිසි සදාචාර නීති පද්ධතියක් සකසාගත යුතුයි. බුද්ධිමය උත්සාහය තුළින් අපේ ආගම සත්‍යයි කියලා අන් අයට වටහා දිය හැකිද? ඕනෑම ආගමකට ඒ ආගමක පැවැත්ම තබාගත හැකි විය යුතුයි. සමහර දේවල් අසත්‍ය විය හැකියි. නමුත් තවත් අය එය සත්‍ය විය හැකියි කියලා හිතන්න පිළිවන්. එක ආගමක් පිළිගන්න කොට අනෙක් ආගම් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ආගම්වල හැටි එහෙම තමයි.

ආගමික බහුත්වය ලෝකයේ හැම රටකම තිබෙන ලක්ෂණය. බහු ආගමිකත්වයක් සමාජයේ තිබිය හැකිද? පුද්ගලයකුට එක ආගමකට වඩා ආගම් දෙකක් හෝ කිහිපයක් ඇදහිය හැකිද? බුද්ධාගමත් එක්ක කතරගම දෙවියන් ඇතුළු දෙවිවරු ඉන්නවා. හැබැයි අපි පිළිගන්නෙ නෑ විමුක්තිදායක ලෝක නිර්මාපක දෙවියෙක් ඉන්නවා කියලා. එහෙම පිළිගන්නවා නම් චතුරාර්ය සත්‍ය වැඩක් නෑ. චතුරාර්ය සත්‍ය පිළිගන්නවා නම් දෙවියන් ප්‍රතික්ෂේප කරනවා. බුදුහාමුදුරුවෝ වෛදික ආගම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ නෑ. බුදුහාමුදුරුවො අන්‍යාගම් බැහැර කළේ නෑ. ඒ ආගම් අතුගා දැමිය යුතු නෑ. බහු ආගමිකත්වයේ වරදක් නෑ. නමුත් ආගමික බහුත්වය කියන කාරණය බුද්ධිමත්ව තේරුම්ගත යුතුයි.

බහු ආගමිකත්වය සහ ආගමික බහුත්වය දෙක අපි කලවම් කරගෙන. බහු ආගමිකත්වය ලෝකයේ හැමතැනම තියෙනවා.

මේ සංකල්ප දෙක තේරුම්ගත යුතුයි. බෙල්ලන්විල විමලරතන හිමිපාණන් අනුස්මරණ කරන මොහොතේ උන්වහන්සේ අපට පෙන්වාදුන් දේ සිහිකළ යුතුයි. අපි එකට කාලා බීලා, එකට සිටීම ඉතා වැදගත්. පුද්ගලයෙක් එක ආගමකට වඩා ආගම් කිහිපයකට ඇතුළත් කර ගන්නවා කියන එක ඒක තමන් රවටා ගැනීමක් වගේම අනුන් රවටා ගැනීමක් හැටියටයි මම දකින්නෙ.

ශිරාන් රණසිංහ

ඡායා - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon