මතුපිටින් චොකලට් තැවැරූ අයවැයේ යටින් ඇත්තේ තිත්ත බෙහෙතක්

  👤  2132 readers have read this article !
By mawbima 2019-03-06

ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 5.9ක ණය ගෙවීමට තිබෙන බැවින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබේදැයි සැකයක් මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පැවැසීය.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ආණ්ඩුවට බදු වැඩි කිරීමට සිදුවන බවත් එසේ නැතහොත් ලාභ ලබන ආයතන දෙක තුනක් විකුණන්නට සිදුවන බවත් පෙන්වා දුන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එසේ සිදු නොකර අය වැය හිඟය පියවාගැනීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.

ඊයේ (05දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මෙසේද කීය.

ලංකාවේ සමස්ත වියදම රුපියල් බිලියන 6550යි. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් කියලා වාර්තා වෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව මේ වසරේ ඩොලර් බිලියන 5.9ක් ණය විදියට ගෙවන්න තියෙනවා. රුපියලේ වැඩිවීම නිසා මේ වසරේ රුපියල් බිලියන 1008ක් අය වැය තුළින් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නිසා ආණ්ඩුව කියන දේවල් කරන්න පුළුවන්ද කියලා අපිට සැකයි. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම ආණ්ඩුවට සිද්ධ වෙනවා බදු වැඩි කරන්න. නැත්තම් ලාභ ලබන ආයතන දෙක තුනක් විකුණන්න වෙනවා. නැතිව අය වැය හිඟය පියවා ගන්න බැහැ.

මේ ආණ්ඩුව ලංකාවේ කෙටි කාලයක් තුළ ණය ලබාගත්ත ආණ්ඩුව වගේම ලංකාවේ ජනතාවට වැඩියෙන්ම හානිකර බදු පනවපු ආණ්ඩුව.

මේ නිසා ආර්ථිකය අතින් අපි ඉන්නේ වඩා භයානක තැනක. අපි ඉන්නේ මීට වසර කිහිපයකට කලින් ගී්‍රසිය හිටිය තැනටත් වඩා පහළ තැනක. මතුපිටින් චොකලට් තවරලා මේ අයවැය දුන්නාට ඒකේ යටින් තියෙන්නේ තිත්ත බෙහෙතක්.

මේ අස්සේ එජාපය සන්දර්ශනයක් කරනවා ඒ අය නිදහස් වෙළෙඳ කලාප හදන බව පෙන්වමින්. කුරුණෑගල බිංගිරියේ වෙළෙඳ කලාපය හදන්න හොඳ පලදාවක් සහිත පොල් අක්කර 1200ක් යොදාගෙන අටුව කඩලා පුටුව හදනවා වගේ මෙවැනි දේ කිරීම සුදුසු නැහැ. ඉඩම් වෙන් කරන්න පුළුවන්. ආයෝජන එනවාද. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් ඒ වගේ. දේශීය ආර්ථිකය පරදුවට තබලා මේ වගේ රැවටීම් කරන්න හොඳ නැහැ. පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමයේ හොඳම වී ඇස්වැන්න වාර්තා වෙලා කියලාත් ජනතාවට බොරු කියනවා. වී අතිරික්තයට හේතුව ජනතාව දන්නවා. වියළි කාලයෙන් පස්සේ අපිට හොඳ වැස්සක් ලැබුණා. අපේ කෙටි කාලීන ආණ්ඩුවෙන් පොහොර ටික කලට දුන්නා. ඒ අනුව ගොවියෝ වැඩ කළා.

වීවලට මිලකුත් නැහැ. වී මිලදී ගැනීමේ ක්‍රමවේදයකුත් හදලා නැතුව පරාක්‍රමබාහු යුගයක් ගැන කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. දෙවියන්ට කොටසක් වෙන්කරලා වැඳුම් පිදුම් කරලයි ගොවියෝ අස්වැන්න ගෙට ගන්නේ. එවැනි ගරු බුහුමන් කරන අස්වැන්න පසුගිය කාලයේ මත්තල ගුවන්තොටුපළේ ගෙනත් දැම්මා. තමන්ට අදාළ නැති ප්‍රකාශයක් කරලා රට රවට්ටන ප්‍රකාශයක් කිරීම ගැන අපි කනගාටු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මේ අයවැයෙන් බදු පැනවූයේ නැති වුණත් ඉදිරියේදී ගැසට් මඟින් බදු පනවනවා. විනිමය අනුපාතය නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නෙත්, ඩොලර් බිලියන 150 ආදායමක් හොයාගන්න, අකාර්යක්ෂම ආයතන විකිණීම හා පෞද්ගලීකරණය ක්‍රියාත්මක කිරීම අයවැය හිඟය 3.5 කින් පවත්වා ගෙන යෑම කියන කොන්දේසි අරමුදලින් දාලා තියෙනවා. අයවැය හිඟය 3.5 ක්ව තියාගන්න නම් බදු වැඩි කරන්න වෙනවා.

අගමැතිතුමා උතුරට ගිහින් ප්‍රකාශයක් කරලා තියෙනවා පරණ අතීතය අමතක කරලා කටයුතු කරන්න කියලා. යුද්ධයේදී වුණු දේවල් අමතක කරලා අතීතයට සමාව දෙන්න කියපු ඒ ප්‍රකාශය හොඳයි. නමුත් අතීතයේ හමුදාවක් ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම ආරක්ෂා කරන්න දෙමළ ජනතාව පලිහක් කරගෙන ඉන්න වෙලාවේ ඔවුන්ව නිදහස් කරගෙන සමස්ත රට වැසියාටම නිදහස ලබාදී විනයගරුකව කටයුතු කළ බව මතක තබා ගෙන රණවිරුවන්ට පීඩාවක් නොවන විදියට අතීතය අමතක කරන්න ඕනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා
වික්‍රමසිංහ රජු ඉතිහාසයට එකතු වෙනවා. ඇඟලුම් කර්මාන්තය අතින් කාන්තා යට ඇඳුම් එතුමාගේ කාලයේ නිෂ්පාදනය කළාලු. එහෙමනම් ජාත්‍යන්තර ප්‍රමිතියේ කාන්තා යට ඇඳුම් නිර්මාණයේ සන්නාමය විදියට වික්‍රමසිංහ රජු ඉතිහාසගත වෙනවා. මේ විදියට ජනතාව අන්දවන්නයි ඔහු උත්සාහ කරන්නේ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon