පරණවිතාන සූරීන්ගේ සීගිරිය නවාතැන්පොළ දෙස් - විදෙස් සංචාරකයන්ටත් විවෘත වෙයි

  👤  2067 readers have read this article !
By mawbima 2019-03-06

දඹුල්ල - කේ.කේ. ආරියදාස

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සීගිරිය

ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි ඉපැරැණි නවාතැන්පොළ දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. සංචාරක නිකේතනයක් ලෙස නම් කොට පසුගිය පළමුවැනිදා සිට මෙය දෙස් විදෙස් සංචාරකයන් හට මුදල් ගෙවා සෙනරත් පරණවිතාන සූරීන් වසර ගණනාවක් රැඳි සිටී ඉපැරැණි නිවාසයේ කාමර වෙන්කර ගත හැකිය. පරණවිතාන සූරීන් භාවිත කළ ඇඳ, පුටු, මේස ආදිය ඕනෑම සංචාරකයකුට පරිහරණය කිරීමේ මෙන්ම ඔහු නිදාගත් ඇඳේ නිදාගැනීමට පවා අවස්ථාව ද ලබාදී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සීගිරිය පව්ව ඉදිරිපිට ඉතා මනරම් ස්ථානයක පොල් අතුවලින් සෙවිලි කරන ලද කටුමැටි ගැසූ සංචාරක නිකේතනය සෙනරත් පරණවිතාන සූරීන් වසර විසිපහකට වැඩි කාලයක් මෙහි රැඳී සිටි ස්ථානය බව ඉතිහාසයේ සඳහන් වේ.

අදටද එම නවාතැන්පොළ පොල් අතු සෙවිලි කොට පැරැණි ආකාරයටම පවත්වාගෙන යනු ලබන අතර සීගිරිය ලොවට හඳුන්වා දුන් නිවහන ලෙස මේ ස්ථානය හඳුන්වයි.

සීගිරි කලාප භාර පුරාවිද්‍යා නිලධාරී ජී. නීලප්‍රේම මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ, ඕනෑම දෙස් විදෙස් සංචාරකයකුට කොළඹ පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයෙන් මෙම නිවාඩු නිකේතනය මුදල් ගෙවා වෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවය. සෙනරත් පරණවිතාන මහතා සිටි නවාතැන්පළේ තිබුණු පැරැණි භාණ්ඩ රැසක් මේ වනවිටත් කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙන බව හෙතෙම සඳහන් කළේය. ඉතිරිව ඇති මේස පුටු ඇඳන් ආදී දේ සංචාරකයන්ගේ භාවිතය සඳහා යොදාගත හැකි බව ඔහු සඳහන් කළේය.

සීගිරිය නැරැඹීම සඳහා එක් විදේශිකයකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගනියි. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟිනි. සෙනරත් පරණවිතාන සූරීන් නවාතැන්ගෙන සිටි ඉපැරැණි නිවෙසේ කාමරයක රැඳි සිටීම සඳහා රුපියල් 400ක පමණ මුදලක් දිනකට ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙන බව එහි ගිය අපට දැන ගැනීමට හැකිවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon