විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් කෙනෙහිලි

  👤  2090 readers have read this article !
By mawbima 2019-03-06

වේයන්ගොඩ - ඉන්දික තුෂාර

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චමෝදි තරුෂිකා පෙරේරා සිසුවිය 2017 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට බී 1ක් සහ සී 2ක් ලබා ගනිමින් විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට සමත් වූවාය. එහෙත් ඇයට හිමිව ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයයි. චමෝදි පවුලේ එකම දරුවාය. පියාට ලැබෙන විශ්‍රාම වැටුපෙන් චමෝදිගේ අධ්‍යාපන කටයුතුත් සිය පවුලේ නඩත්තුවත් සිදු කෙරෙන්නේ අගහිඟකම් රැසක් මධ්‍යයේය.

උපතින්ම දෙපා පණ නැතිවීමේ රෝගාබාධයකින් පෙළෙන ඇය තම මවගේ උපකාරයෙන් පාසල් ගොස් අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපන වරම් ලැබුවත් ඇතැම් අධ්‍යාපන බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇගේ ඉදිරි අධ්‍යාපන අපේක්‍ෂාවන් අවදානමට ලක්ව ඇත.

විශේෂ විධිවිධාන පනත යටතේ කොළඹ ආසන්න විශ්වවිද්‍යාලයක් ඉල්ලා අයැදුම් කෙරුණේ තම රෝගී තත්ත්වය නිසා දෛනික කටයුතු තනිවම කර ගැනීමට නොහැකි නිසාය. ඒ අනුව කැලණිය, කොළඹ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කර තිබිණි. දිනක් හැර දිනක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුව තිබීමත් ඒ සඳහා සිය මවගේ උපකාරය අනිවාර්ය වීමත් නිසා තම රෝගී තත්ත්වය සලකා තමන්ට සහනයක් ලබා දෙන ලෙස චමෝදි ඉල්ලීම් කළාය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටද චමෝදිගේ වෛද්‍ය වාර්තා සලකා බලා ඇය කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙස දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපියක් ද යවා තිබේ. නමුත් එහි නිලධාරීන් මේ පිළිබඳව සංවේදී නොවීමෙන් චමෝදිගේ උසස් අධ්‍යාපන කටයුතු මේ වන විට නතර වී තිබේ. දෙපා පණ නැතිව මවගේ උපකාරයෙන් අනේකවිධ දුක් ගැහැට මැද උසස් අධ්‍යාපනයට පිවිසි චමෝදි තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබ¼ද මෙසේ පැවැසුවාය.

"මම උපතින්ම ආබාධිතයි. මට පෙර පාසල් කාලේ ඉඳලම අම්ම නැතිව කිසිම දෙයක් කරගන්න බැහැ. පාසලෙන් කියපු නිසා මම විශේෂ විධි විධාන පනත යටතේ කොළඹ, කැලණිය සහ ජයවර්ධනපුර කැම්පස් ඉල්ලුවා. නමුත් මට ඒ තුනම ලැබුණේ නැහැ. මට ලැබුණේ යාපනේ. මට යාපනේ ගිහින් අම්මා නැතිව කිසිම දෙයක් කර ගන්න බෑ. මම මාස ගණනක් තිස්සේ විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගිහින් ඒ අයගෙන් ඉල්ලුවා. මගේ අසනීප තත්ත්වය නිසා මට යාපනේ යන්න විදියක් නැහැ කැලණිය දෙන්න කියලා. නමුත් ඒ අය කිසිම තැකීමක් කළේ නෑ. ඒ අය කියන්නේ දෙන්නම බෑ කියලයි.
මම දැන් සිංහල වෙදකම් කරන්නේ. දවසක් ඇර දවසක් බෙහෙත් කරන්න ඕනේ."
චමෝදිගේ මව වජිරා රූපසිංහ,

"මගේ දුව මාස 7න් ඉපදුණේ. එයාගේ බර කිලෝ 1යි. ඩොක්ටස්ලා කිව්වේ එයා (ඛ්ර්ථී බබෙක් කියලා) සෙලිබ්රෝ පුරෝල්ස් රෝගයෙන් පෙළෙනවා කියලයි. අපි ගොඩක් දුක් විඳලා තමා එයාව මේ තත්ත්වෙට ගෙනාවේ.
මෙයාට ලැබිලා තියෙන්නේ යාපනේ කැම්පස් එක. අපි බලාපොරොත්තු වුණේ කොළඹ අවට කැම්පස් එකක් ලැබෙයි කියලා. නමුත් ඒ එකක්වත් ලැබුණේ නෑ.

ඒ නිසා මම මේ දරුවත් අරගෙන බස් එකේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට දින කිහිපයක්ම ගියා. ගිහින් සභාපතිතුමාට වැඳලා කිව්වා මෙයාට ළඟ කැම්පස් එකක් දෙන්න කියා. ඒත් එයාලා කිසිම අනුකම්පාවක් දැක්වූවේ නෑ. මම ඉල්ලන්නේ කොහොම හරි කැලණිය විශ්වවිද්‍යාලෙට යන්න අවස්ථාව ලබා දෙන්න කියලා. නැත්නම් දුවගේ අධ්‍යාපනය මෙතැනින් නවතින්නත් පුළුවන්. ඒත් සමහරු මේ විදියට අහක බලන එක වාවගන්න බෑ. යාපනේ විශ්වවිද්‍යාලයෙන් මෙයාව ඉවත් කරන්නත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් මෙයාව ඇතුළත් කර ගන්නත් කැමැති වෙලා තියෙනවා. නමුත් කොමිෂන් සභාවේ අනුමැතිය දෙන්නැති එක තමා තියෙන ප්‍රශ්නේ. මම දන්න කියන හැම කෙනෙක් ළඟටම ගිහින් කිව්වා. මේ ගැන උසස් අධ්‍යාපන ඇමැතිතුමාගේ පෞද්ගලික ලේකම් ළඟටත් ගියා. එයාලත් දුවගේ වෛද්‍ය වාර්තා බලලා කිව්වා මෙයාට ළඟ තියෙන කැම්පස් එකක් දෙන්න කියලා. විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට ලිපියකුත් යවලා තියෙනවා. නමුත් අද වන තුරුත් කිසිම පිහිටක් නෑ. මගේ මහත්තයාත් දවස් දෙක තුනක්ම විශ්වවිද්‍යාල

කොමිෂන් සභාවට ගියා. ඒ වෙලාවල්වලදී එයාලා අහල තියෙනවා ඇයි ඔයාලා මේ තවත් එන්නේ කියලා. දැන් කැලණිය කැම්පස් එක පටන් අරගෙනත් ඉවරයි. ඒත් තවමත් දුව බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි එයාට ලිපියක් එයි කියලා" යැයි පවසමින් චමෝදිගේ මව හඬා වැටුණේ මවක් ලෙස තමන්ට මින් ඉදිරියට තම දරුවා වෙනුවෙන් කළ හැකි දෙයක් නැතුවාක් මෙනි.

දෙපා පණ නැතිව මෙලොව එළිය දුටු දවසේ පටන් ජීවිතේ දහසකුත් බාධක මැද මවගේ උපකාරයෙන් පාසල් ගොස් ලබාගත් සිප් සතරේ ජය මාවත එළිය කර ගැනීමට වෙර දරන චමෝදිලාට සංවේදී හදවත් නැත්තවුන්ගෙන් මෙවන් ඉරණමක් උරුම විය යුතුද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon