මත් ජාවාරම ම¾ඩින ජනපති සටන

  👤  2181 readers have read this article !
By mawbima 2019-03-06

දිනෙන් දින මත්ද්‍රව්‍ය වැටලීම් වාර්තා අලුත් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තරු විසික්කරවමිනි. මේ තත්ත්වය උදාවී ඇත්තේ වර්තමානය වන විට දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය වැටලීම් ලහි ලහියේ සිදුවන නිසාය. රටේ ප්‍රධානියා වන ජනාධිපතිව මෛත්‍රිපාල සිරිසේන මහතා ඍජුවම නීති විරෝධී මත්ද්‍රව්‍යවලට වැට බැඳීමේ කාර්යය ආරම්භ කරනු ලැබුවේ ඔහුගේ පදවි ප්‍රාප්තියත් සමඟය.

"මතින් නිදහස් රටක්" යන සංකල්පය යටතේ මත්ද්‍රව්‍ය මැඬලීමේ මෙහෙයුම් අඛණ්ඩව සහ නොබියව සිදු කිරීමට නායකත්වය දුන්නේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායක් ආරම්භ කරමින් අනාගත පරපුරට මතින් තොර රටක් දායාද කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරයා ක්‍රියා කරමින් සිටී.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය තවත් ශක්තිමත්ව සිදු කිරීමට ජනාධිපතිවරයාට හැකි වූයේ පොලිසිය භාර ඇමැතිවරයා වීමත් සමඟය.

වෙනම පැවතුණු නීතිය හා සාමය අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමා වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේ ඉකුත් ඔක්තෝබර් මස 26 වැනි දිනය.

මෙම ආගමනයත් සමඟ විස මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමේ පොලිස් විශේෂ කාර්ය බළකාය,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු දිවයිනේ සියලු පොලිස් ස්ථාන විසින් වැඩි කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මතය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාධිනායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා හට මෙම භාරදූර කටයුත්තේ ප්‍රධානතම වගකීමක් භාරවූයේ ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ සහ සංවිධානාත්මක අපරාධ භාර ප්‍රධානියා වූ නිසාය.

කාසියක දෙපැත්ත මෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම එකිනෙකට බැඳී පවතී.

එම නිසාම මෙම මෙහෙයුම්වලදී හාල්මැස්සන්, පොකිරිස්සන් පමණක් නොව අපරාධ ලෝකයේ තෝරු, මෝරුන්ටද දැල එළීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.

මතින් නිදහස් රටක් අපේක්ෂාවෙන් සිදුවන මෙහෙයුම් අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අති දක්ෂ පොලිස් පරීක්ෂකවරයකු හට තොරතුරු ලැබුණේ බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් විසින් මෙරට මහා පරිමාණ හෙරොයින් ජාවාරම ක්‍රියාත්මක කරන බවටය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී රත්මලාන ප්‍රදේශයේදී කුලී නිවෙසක පවත්වාගෙන ගිය හෙරොයින් තොගයක් සමඟ බංග්ලාදේශ ජාතික තරුණියක අත්අඩංගුවට ගනු ලැබීය.

එම විමර්ශනවල ප්‍රතිඵල ලෙස මෙරට ඉතිහාසයේ සොයාගත් විශාලතම හෙරොයින් තොගය වන හෙරොයින් කිලෝ ග්‍රෑම් 278ක තොගය දෙහිවල - කවුඩාන ප්‍රදේශයේ සුවිසල් නිවෙසක සඟවා තිබියදී ඉකුත් දෙසැම්බර් 31 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ සහ පොලිස් විශේෂ කාර්ය බළකා ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඊට අදාළව 35 සහ 38 හැවිරිදි බංග්ලාදේශ් ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වාර්තාවට මීට ප්‍රථමව හිමිකම් කියනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව කළ ඒකාබද්ධ වැටලීමකි.

වර්ෂ 2013 අගෝස්තු මස 30 වැනි දින ඔරුගොඩවත්ත රේගු අංගණයේදී හෙරොයින් කිලෝ 261කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
දෙහිවල අත්අඩංගුවට ගැනීමට ප්‍රථම මෙම හෙරොයින් කිලෝ 261ක ප්‍රමාණය මෙරට ඉතිහාසයේ සොයා ගත් විශාලතම හෙරොයින් තොගය විය. නමුත් දෙහිවලින් සොයා ගත් හෙරොයින් කිලෝ 278ක මෙම වාර්තාව බිඳ හෙළා දැමූ අතර නැවත එම වාර්තාව බිඳ හෙළා දැමුවේ මේ වසරේ පෙබරවාරි මස 23දාය.

කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලක ගාල්කර තිබූ වාහන දෙකක් තුළ සඟවා තිබූ හෙරොයින් කිලෝ 294යි ග්‍රෑම් 490ක තොගයක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය.

වාර්තා පොත් අලුත් කළ එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945කට අධික විය.

මෙම හෙරොයින් තොගය මෙරටට එවා ඇති බවට සැක පළ කරන්නේ මාකඳුරේ මධුෂ් විසින් බවටය.

මුළු සමාජයටම වින කරන ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් ප්‍රමුඛ ඔහුගේ සගයන් අත්අඩංගුවට පත් වූයේද ඉකුත් පෙබරවාරි මස 5 වැනි දිනය. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

මෙම නඩය අත්අඩංගුවට පත් වූයේද මෙරට පාතාල මර්දන ඒකක සහ එරට පොලිසිය සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුකින් බවද සඳහන් වේ.

වසර ගණනාවක සිට සොයමින් සිටි මධුෂ් කොටුවීමත් සමඟ ඔහු ප්‍රමුඛ ඔහුගේ සගයන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතුවලට ජනාධිපතිවරයා පූර්ණ දායකත්වය ලබාදී ඇත.

වර්ෂ 2017 මැයි මස 11 වැනි දින පුත්තලම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 211කට අධික තොගයක් සොයා ගනු ලැබීය. එම තොගයද මෙරටට එවා තිබුණේ මධුෂ් විසිනි.

මෙරට විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කණ්ඩායමට සුබපැතුම් සහ ගෞරව පිරිනැමීමටද ජනාධිපතිවරයා අමතක නොකළේය. සිය නිල ට්විටර් ගිණුම හරහා එම සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැනි වැටලීම් සඳහා තමා පූර්ණ සහාය ලබා දෙන බවයි.

මෙවැනි වැටලීම් මතු අනාගතයේ දූ දරුවන් වෙනුවෙන් කරන උදාර සේවයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එපමණක් නොව වැටලීම සිදුකළ දිනට පසු දිනම ජනාධිපතිවරයා හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණියේය. එදින පොලිස් නිලධාරීන් හට පවසා සිටියේ මෙවැනි වැටලීම් තව සිදුකරන ලෙසත් තරාතිරම නොබලා එම මෙහෙයුම් සිදු කරන ලෙසත්ය. එසේම ඒවාට කවුරුන් හෝ බලපෑම් කළහොත් තමාව දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා දන්වා සිටියේය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම්වල ආසන්තම වැටලීම වාර්තා වූයේ ඉකුත් 27 වැනිදාය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වයඹ පළාතට හෙරොයින් බෙදාහරින ප්‍රධානියා අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් කිලෝ 10කට අධික තොගයක් සමඟය.

මේ වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝ 521 ග්‍රෑම් 980 මිලිග්‍රෑම් 90ක තොගයක් සමඟ සැකකරුවන් 6857 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් හෙරොයින් කිලෝ 390කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින්ය.

මේ වසරේ ගතවූ කාලසීමාව තුළදී ගංජා කිලෝ 1261 ග්‍රෑම් 335 මිලිග්‍රෑම් 453ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අදාළව සැකකරුවන් 6833ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර ගංජා කිලෝ 409ක තොගයක් අත්අංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟිනි.

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ කොකේන් කිලෝ 1 ග්‍රෑම් 114 මිලිග්‍රෑම් 854ක් සමඟ සැකකරුවන් 17දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වසරේ ගතවූ කාල සීමාව තුළ හෂීස් කිලෝ 4කට අධික තොගයක් සැකකරුවන් 23 දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

එසේම හෙරොයින් ඇතුළු විස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා නිලධාරීන් ඇගයීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති අතර ජනාධිපති ප්‍රශංසා ඇතුළු සම්මාන තුළින් එම නිලධාරීන් මෙහිදී ඇගැයීමට ලක් කරනු ඇත.
මීට සති කිහිපයකට ඉහතදී මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළ පොලිස් නිලධාරීන් 1000කට ජනාධිපතිවරයා විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සම්මාන පිරිනැමූයේ එම නිලධාරීන් තව තවත් දිරිමත් කරමිනි. මෙම කටයුතු මෙසේ ක්‍රියාත්මක වෙද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (05දා) පැවසුවේ මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය පිළිබඳ නව වැඩසටහන අද (06දා) දින රටට හඳුන්වා දෙන බවය.

සියලු ආරක්ෂක අංශ මේ වනවිට මතින් නිදහස් රටක් උදා කර ගැනීම අපේක්ෂාවෙන් අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටියි. එම කටයුතු අති සාර්ථක වේවා යැයි අපේ ප්‍රාර්ථනයයි.

චාමර අමරසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon