නාඩු වීවලට 50ක් සම්බාවලට 55ක් ඉල්ලා අද රට පුරා විරෝධතා

  👤  2153 readers have read this article !
By mawbima 2019-03-06

දඹුල්ල - කේ.කේ. ආරියදාස

රජයේ අය _ වැය යෝජනාව හරහා වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන ලෙසත් නාඩු කිලෝවක් සඳහා රුපියල් 50ක් සහ සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් නීතිගත කරන ලෙසත් රජයට බල කරමින් දිවයින පුරා කෘෂිකාර්මික දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විරෝධතා ව්‍යාපාරයක් අද (06දා) ආරම්භ කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කොට තිබේ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ඊයේ (05දා) පෙරවරුවේ දඹුල්ල _ අතුපාරයාය ප්‍රදේශයේ අස්වනු නෙළීමට ආසන්න කුඹුරු යායක් මැද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව අවධාරණය කළහ.

මේ වනවිට දේශීය වී අස්වැන්න නෙළීම ආරම්භ කොට ඇතත් රජය මඟින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක නොවීම, වී මිල විශාල වශයෙන් පහත වැටීම, අඩු මුදලට පෞද්ගලික ව්‍යාපාරිකයන් මිලදී ගැනීම සිදුකෙරෙන බවත් කුඹුරු වගාව විශාල වශයෙන් කීඩෑ උවදුර ලක්ව විනාශ වී ඒවාට වන්දි ලබාගැනීම එමෙන්ම රජයේ සම්මත මිලට වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ගැනුම්කරුවන්ට රාජ්‍ය මුදල් ණය ආධාර ලබාදීම ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය රට පුරා ක්‍රියාත්මක කරන බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බී. සරත් මහතා කියා සිටියේ මේ වනවිට රටපුරා ගොවීන්, වී ගොවීන් දැඩි දුෂ්කරතාවන් රැසකට මුහුණපා ඇති බවය.

එමෙන්ම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතාද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ උද්ඝෝෂණ රැල්ල කිසිසේත් නොනවත්වා ඉදිරියට ගෙන යන බවයි. ගොවි ව්‍යාපාර කිහිපයක සභාපතිවරුද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් 6 වැනි දින ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයට තම සංගම්වල සහයෝගය ලබාදෙන බවද මාධ්‍ය හමුවේදී අවධාරණය කළහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් බර කිරනු වෙනුවට වී ටික මිලදී ගන්නැයිද ගොවි සම්මේලනයේ නාමල් කරුණාරත්න මහතා ඉල්ලීමක්ද කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon