අය-වැය 2019 ජනතා අපේක්ෂා සාක්ෂාත් කර තිබේද?

  👤  2218 readers have read this article !
2019-03-06

2019 වසර සඳහා අය - වැය යෝජනා ඉදිරිපත් කර තිබේ. මූල්‍ය

වර්ෂය ආරම්භ කිරීමෙන් පසු ජනතාව හමුවේ තැබීම විශේෂත්වයකි.

දින පනස් එකකට සීමා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව අය - වැය ඉදිරිපත් කරන සාම්ප්‍රදායික රාමුවට බාධා කළේය. එවකට සන්ධාන ආණ්ඩුව උග්‍ර ණය අර්බුදයක පසුවිය. අය - වැය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඕනෑ කර තිබිණි. ගැටුම වෙස්වළාගත් ආශීර්වාදයක් වූ බව සඳහන් කළ යුතුය. නැවත බලය අත්පත් කරගත් ආණ්ඩුව සිය වියදම අතුරු සම්මත පිරිමසා ගත් අතර පසුව මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ඇරැඹීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තාවකාලික ණය සංචිතය තවත් වසරකින් දීර්ඝ කර ගත හැකි වූ අතර අවසාන වාරිකය වශයෙන් හිමි ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමට පුළුවන්කමක් ලැබිණි. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණ ආණ්ඩුව මුහුණ දුන් තත්ත්වය වටහා ගත් අතර ගිවිසගත් පරිදි බදු වැඩි කිරීම ඔවුන්ගේ ඇගැයීමට ලක් වූ බව අනාවරණය වෙයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු මූල්‍ය අරමුදලේ යෝජනා ඩබබනඵ://ඡඪබ.තර/2ඊනඛච්ථඩ මඟින් සවිස්තරාත්මකව කියැවිය හැකිය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ඉදිරිපත් කළ අය - වැය සර්ව සුබසාධන එකකි. ජාත්‍යන්තර අරමුදලේ රාමුවට යටත්ව මැති ඇමැතිවරුන්ට මැතිවරණ කොට්ඨාසයට යන්නට හැකි වන පරිදි සකස් කළ අය - වැයකි. ඉදිරි මාස විසි හතර තුළ ප්‍රධාන ඡන්ද තුනක් පැවැත්වෙතැයි අනුමාන කළ හැකිය. එම ඡන්ද දිනන්නට ජනතා ප්‍රසාදය අවශ්‍යය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර තිබේ. ජූලි 1 දින සිට රු. 2500ක අන්තර් දීමනාවකි. විශ්‍රාමිකයන් හා ආරක්ෂක අංශවලට විශේෂ සහන ප්‍රකාශයට පත් කර ඇත. විශ්‍රාමික ලක්ෂ පහකට ලැබෙන දීමනාව වැඩිවනු ඇත. ආරක්ෂක අංශවල කොමාන්ඩෝ දීමනාව, ගෙවල් කුලී හා නිල ඇඳුම් දීමනා නංවා ඇත. දුප්පත් ජනතාව අතින් තවත් ලක්ෂ හයකට සමෘද්ධි සහන සැපයේ. කලාකරුවන්ට ගෙවන දීමනාවල බදු සහන සපයයි. තෝරාගත් ආගමික ස්ථානවලට රුපියල් ලක්ෂ දහය බැගින් හිමිවෙයි. සූර්ය විදුලිය සැපයීම සඳහා ලක්ෂ තුන බැගින් ආගමික ස්ථානවලට ලැබේ. සිසුන්ට ඉගෙන ගැනීමට බදු සහන ණය ලැබේ. බස් කර්මාන්තයේ වර්ධනයට පොලී රහිත ණය දෙයි. වැසිකිළි පහසුකම් නැති දස ලක්ෂයක් දෙනාට අලුත් පහසුකම් ඇති කරගත හැකි වනු ඇත. විවාහ වන යුවතිපතින්ට ගෙයක් ගැනීමට අඩු පොලී ණයක් ලැබේ. විදේශගතව රැකියා කළ ශ්‍රී ලාංකිකයන්ට සිහින නිවෙසක් තනා ගැනීමට අඩු පොලී ණය ලැබේ. තවත් අවශ්‍ය කරන දෙයක් නැත.

2019 වසර වෙනුවෙන් එකපැත්තකින් සෑම අංශයකටම සහන දෙන අතරවාරයේ රුපියල් මිලියන 2,160ක හිඟයක් පියවා ගැනීමට සිදුවී තිබේ. මෙරට ඉතිහාසයේ පළමු වතාවට රජයේ ආදායම ඉක්මවා ණය වාරික හා පොලිය ගෙවන්නට සිදුවී ඇත. රජයේ ආදායම රුපියල් මිලියන 2,390ක් වන විට ණය වාරික වියදම පමණක් රු. මිලියන 2,400කි. අනෙක් අතට ආරක්ෂක වියදම අති විශාල එකකි. රටට ආදායම ලැබෙන කිසිම මාර්ගයක් අලුතින් විවෘත වී නැත. එසේ තිබියදී ජනතා සහන රටට අනාගතයේදී විශාල වන්දියක් ගෙවන්නට සිදුවන අනිවාර්ය සාධකයකි.

වාර්ෂිකව ඉදිරිපත් කරන අය - වැය රටකට දර්ශනය සපයයි. පසුගිය වසරේදී නීල හරිත ආර්ථිකයක් ඉලක්ක කළේය. 2019 අය - වැය එය අමතක කර තිබේ. අහසින්, මුහුදෙන් හා ගොඩබිමින් නවෝත්පාදනය වෙනුවෙන් කලින් වසරේ අරමුණු කරන ලද කිසිවක් සාර්ථක කරගත නොහැකි අවස්ථාවක ඉදිරියේදීද සැලැස්මක් රහිත බව පෙන්වා තිබේ. එය බරපතළ තත්ත්වයකි. ආබාධිත අයවලුන්, කාන්තාවන්, ගැබිනි මවුවරු හා පොදු ස්ථානවල වැසිකිළි යනාදී වශයෙන් යම් ඉදිරි දැක්මක් දක්වන මෙවර අය - වැය හුදෙක් අමාත්‍යාංශවල වැය ශීර්ෂ කියැවීමක් බඳු විය. එක් එක් අමාත්‍යාංශ යටතේ ගෙන්වා ගත් අදහස් ලේඛනයට ඇතුළත් කර තිබේ. අය - වැයට කලින් ජනතාවගෙන් ගත් යෝජනාවලට සිදුවූයේ කුමක්ද? සෑම අමාත්‍යාංශයකම කරන කටයුතු අය - වැයට නැවතත් ඇතුළත් කිරීමේ වැදගත්කම කුමක්ද? ප්‍රතිපත්ති තීරණ හා ඉදිරි සැලැසුම් ඉදිරිපත් කිරීම ගැන ප්‍රමාණාත්මක අවධානයක් යොමු නොකිරීම දුබලතාවකි.

පසුගිය වසරේ අය - වැය පියැවීම සඳහා විශාල බදු පැනවිය. පුද්ගල බදු හා ආදායම් බදු සංශෝධනය කළේය. එයින් පසු අය - වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කරගත හැකි වූ බවට ප්‍රකාශ කළේය. නමුත් 2019 වසරේ අය - වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 4.5ක් දක්වා ඉහළ නැඟ ඇත. යෝජනා කර ඇති ආකර්ෂණීය අදහස් ක්‍රියාවට නැඟීමට ආදායම ලැබෙන්නේ කොතැනින්ද? අවුරුද්ද අවසානයේ අය - වැය හැබෑවටම සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත. 2018 වසරේ නීල හරිත ආර්ථිකයක් බව කියා රට ප්‍රබෝධයට පත් කළ වත්මන් පාලකයෝ ඉදිරි කාලය තුළ අනුගමනය කරන ක්‍රියාපටිපාටිය සහමුලින්ම වෙනස් හැඩයක් ගැනීමට ඉඩ ඇත.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා - ජනතාවට ශක්තියක් දුප්පතුන්ට රැකවරණයක් තේමාව යටතේ පොහොසත් සමාජයක් ගොඩනැඟීම අරමුණු කර තිබේ. ගම්පෙරළිය වේගවත් කෙරේ. ස්වයං රැකියාවලට සහාය සැලැසේ. ඇප සුරැකුම් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ මිලියන 500ක අරමුදලක් සියලු රාජ්‍ය ආයතනවල ව්‍යවසායකත්වය නංවනු සඳහා යොමු කෙරේ. මේවා මඟින් බෙදාදෙන ධනයෙන් අපේක්ෂිත ප්‍රතිලාභ කොපමණද? හතළිස් දහසක උපාධිධාරීන් පිරිසක් රැකියා අපේක්ෂාවෙන් සිටී. අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ නොවීම හේතුවෙන් විරැකියාව වර්ධනය වෙමින් තිබේ. ව්‍යවසායකත්වය එකම උත්තරය නොවේ.

කෘෂි අංශයේ ඵලදායිතාව හා වටිනාකම එකතු කරන සැලැසුම් වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ. ගබඩා කිරීම පසු අස්වනු තාක්ෂණ සඳහා පෞද්ගලික අංශයට විවෘත කරනු ඇත. එම අංශ දියුණු කිරීමට අවශ්‍ය සහන සැලසේ. රබර් අලුත් වගාව හා නැවත වගාව දියුණු කෙරේ. මිලියන 800ක් සහන. පොල් වගාව වියළන පොල්, අඟුරු හා පොල් මද වෙනුවෙන් ඇති බලපත්‍ර අලුත් කෙරේ. වතු කම්කරු වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව කියා සිටියේය. ධීවර කටයුතු නැංවීමට මිලියන 1,ක් වෙන් කෙරේ. බහුදින යාත්‍රාවල ශීතාගාර ස්ථාපිත කිරීම, මසුන් ඇල්ලීමේ ක්‍රමවේද දියුණු කිරීමට පියවර ගැනේ. එයට රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ සහන සැපයේ. අය _ වැයෙන් ප්‍රකාශ කරන පැති ජනතාවගේ අතට ලැබෙන වැඩපිළිවෙළ කුමක්ද? ඒවා රජයේ කාර්යක්ෂමතාවට සම්බන්ධ ප්‍රශ්නයකි.

සෑම දරුවකුටම වසර දහතුනක අධ්‍යාපනයක් සහතික කරන ආණ්ඩුව ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සඳහා රු. මිලියන 32,000ක් වෙන් කිරීමට තීරණය කරන ලදී. ග්‍රාමීය පාසල් ළමයින්ට කිරි වීදුරුවක් නොමිලේ ලබාදීමට යෝජනා කර තිබේ. උසස් පෙළ සමත්වන සිසුන්ට ඉගෙන ගැනීමට අරමුදලක් පිහිටුවන අතර තෝරාගත් පිරිසකට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන්නට අවකාශය ඇති කෙරේ. පෞද්ගලික අංශයේ ආධාර එයට භාර ගැනේ. පෙරපාසල් නියාමනය කරනු සඳහා නෛතික රාමුවක් හා විෂය හඳුන්වා දෙනු ඇත. එය මෙතෙක් නිදහසේ පැවැති පෙරපාසල් රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළට ඇතුළත් කරගැනීමකි.

විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පොදු පහසුකම් දියුණු කෙරේ. පිළිකා, දියවැඩියා හා අසාත්මික රෝග වෙනුවෙන්, පර්යේෂණ කිරීම වෙනුවෙන් ඒකකයක් ඇති කෙරේ. උසස් පෙළ සමත්වන විශ්වවිද්‍යාලවල ඉඩ නැති පිරිස වෙනුවෙන් ණය ක්‍රමයක් හඳුන්වා දෙන අතර පොලී රහිත මිලියන 1.1ක මුදලක් දෙනු ඇත. ආධුනිකත්ව පුහුණුව වෙනුවෙන් දීමනා ගෙවීමක් යෝජනා කරයි. බර යන්තේ‍රා්පකරණ, ඉදිකිරීම් හා හෝටල් වැනි පුහුණු අංශ ඇති කරන අතර එමඟින් රට තුළ ඇති වෘත්තීය අංශවල හිඟය පාලනය කරනු හැකි වෙතැයි සැලකේ.

කාන්තාවන් ශ්‍රම බළකායට ඇතුළු කරගැනීමේදී මතුවන ගැටලු ගැන සිතා යෝජනා කරන ලද ළමා සුරැකුම් මධ්‍යස්ථාන, අනිවාර්ය ප්‍රසූත නිවාඩුවල සමාගම්වලට බදු යන මේවා සුළු අදහස් නමුත් යම් ඉදිරිගාමී වැදගත් සංකේත බවද අය _ වැය ගැන සඳහන් කරන විට දැක්විය කළ යුතුය. කාන්තාවන්ගේ වැඩ කරන වේලාව නම්‍යශීලී කරන යෝජනා ඉදිරිපත් කර තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් නියාමන ව්‍යාපෘතියක් වශයෙන් බන්ධනාගාරය හා එකතු වී වෙනම පුහුණු ස්ථාන දෙකක් ඇති කරන අතර කාන්තා රැඳවියන් වෙනුවෙන්ද හස්ත කර්මාන්ත අංශ පුරුදු කරන ස්ථානයක්ද ඇති කෙරේ. ඒවාද වැදගත් අදහස්ය.

අවසානයේදී ආණ්ඩුව මේවාට ධනය සොයා ගන්නේ කෙසේද? ආදායම් එකතු කිරීමේ විශේෂ ඒකකයක් භාණ්ඩාගාරය අනුබද්ධව පිහිටුවන අතර එයට රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එකතු වනු ඇත. මෙයින් ධනය උපයන්නට මහන්සිවෙන පිරිස අධෛර්යයට පත් වෙයි. පෙරපාසල් සේම අන්තර්ජාලය යටතේ වෙන් කරන ලැගුම් හල් කාමර පහකට වඩා ඇත්නම් ලියාපදිංචි කළ යුතුය. මේවා ඉදිරියේදී ආණ්ඩුවේ අලුත් ආදායම් මාර්ග විය හැකිය. එය ලෝකයේ අභියෝගයක් වූ අලුත් ව්‍යවසායකට ශ්‍රී ලංකාව දුන් උත්තරයකි. එයාර් බී. ඇන්ඩ් බී. යනුවෙන් නිදහසේ වර්ධනය වූ ඉඩකඩ වෙන් කිරීමේ ව්‍යාපාරය මේ අනුව මෙරටදී ලියාපදිංචියට යටත්ය. මෙරට ඉදිකිරීම්වල නිරත සමාගම් දේශීය වශයෙන් ලියාපදිංචි විය යුතුය. පෞද්ගලික අංශයට දුම්රිය පැවරෙන යෝජනාවක් තිබේ. එය මෙතෙක් රජය පමණක් කරගෙන යන අසාර්ථක සේවාව ඵලදායි කරන එකක් විය යුතුය. පරිසර හිතකාමී බඳුන් හා ප්ලාස්ටික් ආනයනය කරන්නන් ලියාපදිංචි කෙරේ.

මුදල් උපයා ගැනීම අරමුණු කරගෙන බදු ආදායම් යෝජනා 2019 මාර්තු 06 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙයි. සාම්ප්‍රදායික දුම්කොළ හා මත්පැන් බද්ද ඉදිරියට පැමිණ ඇත. දුම්වැටි නිෂ්පාදන බද්දට ජාතිය ගොඩනැඟීමේ බද්ද පැනවේ. එක දුම්වැටියක් රු. පහකින් වැඩිවෙයි. මෑත කාලය තුළ නීත්‍යනුකූල සිගරැට් පානය පහත වැටුණු බව දුම්කොළ සංස්ථාව පෙන්වා දී ඇත. නීති විරෝධීව ගෙන්වන අවස්ථා බහුලව වාර්තා වෙයි. බීඩි පානය ඉහළ නැඟ ඇත. එය අයහපත් සෞඛ්‍ය ගැටලු ඇති කරන තත්ත්වයකි. බීඩි කොළ බද්ද වැඩි කිරීමෙන් එය මඟ හැරගත හැකි යැයි උපකල්පනය කිරීම වරදකි.

මෝටර් රථ වාහන බදු සම්බන්ධව සංශෝධන ගෙනැවිත් ඇත. මගීන්ගේ ගුවන් ගතවීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 10ක් තෙක් වැඩි කර ඇත. ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේ එක්දින ගාස්තුව 5000කින් වැඩිවෙයි. සාමාන්‍ය සේවා 3000කින් ඉහළට නැඟේ. රටේ ජනගහනයෙන් සෑහෙන පිරිසකට ගමන් බලපත්‍ර හිමිය. මිලියන දෙකක් විදේශගතව සේවය කරයි. සිහින නිවෙසකට ණයක් දෙන විදේශ රැකියා කරන පිරිසගෙන් ප්‍රවේශ පත්‍රයෙන් හා ගුවන් ගතවීමේ ගාස්තුවෙන් එය පියවාගෙන ඇත. මෝටර් රථ විශේෂ අංක තහඩුවල ගාස්තු අඩු කරන අතර මිලියනයක් ගෙවා තමන්ගේ නමට අංකයක් ගැනීමට හැකි විකෘති ක්‍රමයක් හඳුන්වා දී ඇත. අනතුරක් සිදුවූ පසු වාහන අංකයක් මතක තබාගත නොහැකි තරමට නොම්මර තහඩුව සංකීර්ණ කිරීම නව ලිබරල් අදහසක් දැයි ප්‍රශ්න කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයනයට සහන දෙන ආණ්ඩුව ඒ වෙනුවෙන් විශේෂ ඒකක ඇති කරන්නට යෝජනා කරයි. නමුත් ආනයනික රෙදි පිළි මත බද්ද සියයට විසිපහකින් ඉහළට නංවා තිබේ. එය දේශීය නිෂ්පාදනය වැඩි කරන්නට ගත් ක්‍රියාමාර්ගයක් යැයි කියන්නට හැකියාවක් නැත. රෙදි පිළි සම්බන්ධ වෙනත් සියලුම බදු සියයට 15කින් වැඩි කිරීම ඇඟලුම් අපනයනයට ගැටලු ඇති කරනු ඇත. අධික වාහන තදබදයකින් මිදී ගමන් යන්නට අධිවේගී මාර්ග වෙත ඇඟිල්ල දිගු කර පෙන්වන ආණ්ඩුව අධිවේගී මාර්ග ගාස්තුව කාර්ය බහුල අවස්ථාවලදී රු. 100කින් ඉහළට වැඩි කර තිබේ. ඉදිරියේදී සැහැල්ලු දුම්රිය එන බව කියයි. එහි ආරම්භක ගාස්තුව පවා පොදු ජනතාවට දරාගත නොහැකි එකක් බව වාර්තාවල දැක්වෙයි. මෙයින් පෙන්වන්නේ සාමාන්‍ය ජනතාවගේ ගමන බිමන ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් බවට හරවා ගැනීමේ නරක ප්‍රයත්නයයි.

අය _ වැය ගැන හොඳ _ නරක දකින්නට විවිධ මිනුම්දඬු තිබේ. අද පැවැත්මට වඩා අනාගතය ගැන අවධානය යොමු කළ යුතුය. අතට ලැබෙන ආදායම බෙදා වෙන්කරගෙන අමාත්‍යාංශ ක්‍රියාවට නඟන ව්‍යාපෘති කියැවීමට වඩා එපිටට ගිය යමක් අවශ්‍යය. සමහර තැන්වල ඉදිරි දැක්මක් තිබුණු නමුත් එය සමස්තයක් වශයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. ඡන්දවල පෙර නිමිති පෙනෙන අවස්ථාවක රටට තිබිය යුතු දර්ශනය අමතක වීම පුදුමයක් නොවේ.

ශාමින්ද වත්තේගෙදර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon