වක්‍ර බදු තවත් ඉහළට

  👤  2164 readers have read this article !
2019-03-06

යහපාලන ආණ්ඩුවේ සිවු වැනි අය - වැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර පැය දෙකකුත් මිනින්තු පහළොවකින් කියවා අවසන් කළේය. පැය ගණනක් එක දිගට කියවන යාන් හෑල්ලකට සවන් දීමේ පීඩනයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුමෙන්ම අසන්නන්ද මිදුණි. එය සුබවාදී ලක්‍ෂණයක් වූයේ ආරම්භයේදී මිනිත්තු දහයකට විස්සකට සීමා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අය - වැය කතා, පසුකාලීනව පැය තුන හතර එක දිගට කියවන අසන්නන්ට නොතේරෙන හුදු වාර්තා වීම නිසාය.

මෙවරත් මුදල් ඇමැතිවරයාට ඉදිරිපත් කරන්නට සිදුවූයේ අය - වැයක් නොව ණය වැයකි. 2019 අය - වැය සමස්ත වියදම රුපියල් බිලියන 4,550ක් වූ අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,400කි. ඒ අනුව අය - වැය හිඟය රුපියල් බිලියන 2,110කි. අය - වැය පරතරය දළ දේශීය

නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 4.5%ක් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි. ඒ අනුව මුදල් ඇමැතිවරයාට ප්‍රාතිහාර්ය පාන්නට හැකියාවක් තිබුණේ නැත. එහෙත් දහසකුත් එකක් පාරිභෝගික භාණ්ඩවලින් පොඩි මිනිහාගේ බඩට වදින බදු අඩු කර ධනපති පන්තියේ ප්‍රාග්ධන හිමියන්ගෙන් අය කර ගන්නා සෘජු බදු වැඩි කිරීමෙන් ජනතාවට සහන අත් කර දීමට අවස්ථාව තිබිණි. එහෙත් මෙවර අය - වැය ඒ සඳහා දැඩි උනන්දුවක් පළ කළ අය - වැයක් නොවේ. දුප්පතා ගැන කතා කළ සෑම ආණ්ඩුවක්ම යොමු වූයේ වක්‍ර බදු වෙතය.

ලෝකයේම සෘජු බදු සඳහා අවම ප්‍රතිශතයක් පවත්වා ගන්නා රට ලංකාවය. ලංකාවේ සෘජු බදු අනුපාතය 24%ක මට්ටමේ පැවැතිණි. දැන් සෘජු බදු අනුපාතය 15%ක් වී ඇති අතර වක්‍ර බදු අනුපාතය 85%කි. එයින් පෙනී යන්නේ රටේ බදු බරට කර ගසන්නේ ශ්‍රම බළකායේ වැඩි පංගුව වූ දිළිඳු ජනතාව බවය.

මුදල් ඇමැති මංගල සිය මංගල අය - වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ වසර තුනක් තුළ සෘජු බදු 65%ක් දක්වා ඉහළ දමන අතර වක්‍ර බදු 35% දක්වා පහළ දමා ජනතාව බදු බරින් මුදා ගන්නා බවය. එහෙත් මෙවරද එය සිදුවී නැත. අය - වැය කතාව කොපමණ සුන්දර වුවද සෑම පාරිභෝගික සේවාවක් හා භාණ්ඩයක් හරහාම ජනතාව මත බදු බර පතිත වනු ඇත.

මෙවර අය - වැය ලේඛනයට අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 40ක් වෙන් කර ඇත. එළැඹෙන ජුනි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් රුපියල් 2,500කින් ඉහළ දමන බව සඳහන් කර ඇත. සමෘද්ධි අරමුදල සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 10,000කි. පහත්ම ආර්ථික මට්ටමේ ජනයාගේ සුබසාධනය සඳහා එම මුදල වෙන් කළ බව අවධාරණය කෙරිණි. එය එසේ වූවාට වඩා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දැම්මා නම් දිළින්දාගේ ජීවන තත්ත්වය යහපත් වීමට එය සෘජුවම බලපානු නිසැකය.

අය - වැයෙන් ග්‍රාමීය පාසල් සිසුන් සඳහා රජයෙන් නොමිලේ කිරි වීදුරුවක් දීමට කටයුතු කරන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය. එය අගය කළ යුතුය. ග්‍රාමීය පාසල් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් විශේෂයෙන් උතුර - නැඟෙනහිර හා මධ්‍යම පළාතේ මේ තත්ත්වය ඉතා බරපතළ බවත් පසුගියදා සෞඛ්‍ය අංශ හෙළි කළේය.

ලංකා පාර්ලිමේන්තුවේ අය - වැය ඉදිරිපත් කිරීම හා ජාතික මූල්‍ය තත්ත්වයන් හැසිර වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය හා බැඳුණු ආයතන රාශියක් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඉන් ප්‍රධානය. එහෙත් වාර්ෂික අය - වැය යෝජනා ඉටු නොවීම සම්බන්ධයෙන් පසු විපරම් කරන රාජ්‍ය ආයතන නැතිවාක් මෙන්ම අය - වැයෙන් ජනතාව ඉදිරියේ තබන ලද යෝජනා ඉටු නොකිරීම සම්බන්ධයෙන් ජනතාවට වගකියන මුදල් ඇමැතිවරුන්ද නැත. අය - වැය යෝජනාවලට විරුද්ධ වීම හෝ පක්‍ෂ වීම එකකි. ආණ්ඩුව ජනතාව හමුවේ තැබූ යෝජනා ඉටු වෙනවාද නැද්ද යන්න ගැන සොයා බැලීමට විශාල වගකීමක් විපක්‍ෂයට තිබේ. එසේ නොවන්නේ නම් හැමදාමත් සිදුවන්නේ ආණ්ඩු ආකර්ෂණීය කැරට් අල පෙන්වා ජනතාව ඇන්දවීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon