ලංකා ආර්ථිකය දණ ගැස්වූ සුදු කරපටි හොරකම

  👤  2574 readers have read this article !
2019-03-05

2014 වන විට 7%කට ඉහළ වර්ධන වේගයක් සහිතව ආසියාවේ 2 වැනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබුණු රට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද ආසියාවේ දුර්වලම ආර්ථිකයක් බවට පත්වී ඇති ආකාරය ඉතා කනගාටුදායකය. 2018 වසරේ 3.3%ක් පමණ වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ බංග්ලාදේශය (7.4%), නේපාලය (7.9%), භූතානය (7.4%), ලාඕසය (6.9%), ඉන්දියාව (6.7%), පාකිස්තානය (5.4%), මාලදිවයින (4.8%) යන සියලු රටවලට පිටුපසිනි. ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්‍රස්තවාදයෙන් බැටකන ඇෆ්ගනිස්තානය සමඟ දකුණු ආසියාව තුළ අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය. බැඳුම්කර කොල්ලය මේ හානියට ප්‍රධානතම හේතුවක් විය.

2014 වන විට 30 අවුරුදු බැඳුම්කරවල පොලී අනුපාතය තිබුණේ 10%ට අඩු අගයකය. 2015 පෙබරවාරි මාසයේ බැඳුම්කර කොල්ලයේදී සිදු වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය 12.5%ක පමණ ඉහළ අගයකට බැඳුම්කර නිකුත් කිරීම නිසා රටේ සමස්ත පොලී අනුපාතය 3%කින් පමණ ඉහළ යෑමයි. මේ වන විට දේශීය රාජ්‍ය ණය රුපියල් ටි්‍රලියන 3 1/2 ට වඩා තිබෙණ අතර මේ සියල්ලටම ඉහළ පොලී අනුපාතය බලපාන ලදී.
රට පුරා බැංකුවල පොලී අනුපාතය වැඩිවීම නිසා ජනතාවට බැංකුවකින්, මූල්‍ය ආයතනයකින් හෝ ලීසින් ආයතනයකින් ණයක් ගැනීමට වැඩි පොලියක් ගෙවන්නට සිදු විය. වාහන ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සියල්ල වැඩි විය. මෙහි ප්‍රතිඵලය වූයේ ව්‍යාපාරිකයන්ට ඔවුන්ට තමන් සපයන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට සිදු වීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ ජනතාවට මුදල් හිඟ වීමයි. ඒ අනුව රටේ මුදල් සංසරණය අඩු විය. ඒ ආපසු ව්‍යාපාරවලට බලපෑ අතර ඔවුන්ගේ ආදායම හා ලාභ අඩු විය. ව්‍යාපාර දුර්වල වන විට වැඩි පොලියට ණය ගෙවීම ඔවුන්ට අපහසු වූ නිසා බැංකු හා මූල්‍ය ආයතන ඔවුන්ට ණය දීම සීමා කරනු දක්නට ලැබිණි. අද රටේ බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට බැංකුවකින් ණයක් ලබා ගන්නට බැරි මේ නිසයි.

බැඳුම්කර වංචාව හා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය නිසා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටිණි. ඔවුහු කොටස් වෙළෙඳපොළෙන් හා මූල්‍ය වෙළෙඳපොළෙන් ඔවුන්ගේ ආයෝජන ඉවත් කරගන්නට පටන් ගත්හ. ඩොලර් බිලියන් ගණන් මේ අනුව රටින් පිට විය. එය බලපෑවේ රුපියලේ අගයටයි. ලංකාවේ රුපියල කඩා වැටෙන්නට පටන් ගත්තේ මේ සමඟය. 2015 වන විට ආසියාවේ තිබූ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන රුපියල ද ආසියාවේ පමණක් නොවේ ලෝකයේම දුර්වල මුදල් ඒකකයකි.

මහ බැඳුම්කර කොල්ලය පළමු වරට සිදු වූ දා සිට මේ වන විට රුපියල 30% කින් පමණ කඩා වැටී ඇත. මේ නිසා රජයේ විදේශ ණයවල දේශීය අගය විශාල වශයෙන් වැඩි වී ඇත. මේ වැඩිවීම රාජපක්ෂ යුගයේ කළ සියලු සංවර්ධන කටයුතුවලට වැය කළ මුදලට වඩා විශාල පාඩුවකි. රුපියල කඩා වැටීම මහජනතාවටත් දැඩි ලෙස බලපෑවේ ජනතාව පරිභෝජනය කරන බොහෝ භාණ්ඩ ආනයන කළ ඒවා නිසායි. එසේම බොහෝ සේවාවන් සඳහා ජනතාව විසින් පිටරටට මුදල් ගෙවනු ලැබේ. උදාහරණයක් ලෙස අපේ රටේ බොහෝ අධ්‍යාපන පාඨමාලා සඳහා පිටරටට මුදල් ගෙවිය යුතුයි. රුපියලේ කඩා වැටීම නිසා මේ සියල්ලේ මිල ඉහළ ගියේය. රුපියල කඩා වැටෙන එක වළක්වන්න රජය ආනයන සීමාවන් දමන්නට යෑම නිසා ආනයන ව්‍යාපාර කඩා වැටිණි. ඒ අනුව රේගුව හරහා රජයට ලැබෙමින් තිබූ විශාල ආදායමක් රටට අහිමි විය.

ආදායම අඩුවන විට අණ්ඩුව කළේ වැඩිපුර ණය ගැනීම හා ජනතාව මත බදු වැඩි කිරීමයි. 2015 - 2018 කාලය තුළ රටේ ණය බර රුපියල් ටි්‍රලියන 7.4 සිට 12 දක්වා 60%කින් වැඩිවිය. රාජ්‍ය බදු 100%කින් වැඩි විය. 2014 රජය බදු වශයෙන් අය කළේ රුපියල් ටි්‍රලියන 1කි. 2018 අය-වැයෙන් එය රුපියල් ටි්‍රලියන 2 දක්වා රජය විසින් වැඩි කරන ලදී. මෙයත් බලපෑවේ ජනතාවගේ සාක්කුවටය.

අද මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇත. ජනතාව ජීවන බරින් මිරිකී සිටිති. දේශීය ව්‍යාපාර කඩා වැටී ඇත. ආයෝජන අඩු වී ඇත. විරැකියාව වැඩි වී ඇත.

2015 හා 2016 සිදුවූ මහබැංකු බැඳුම්කර කොල්ලය සැලසුම් කිරීමේත්, ක්‍රියාත්මක කිරීමේත් එය යට ගැසීමට කළ උත්සාහයේත් වත්මත් අගමැතිවරයාගේ ඍජු හා වක්‍ර සම්බන්ධතාව ගැන සාක්‍ෂි අපමණය. මේ ඉන් කිහිපයකි.
1. මහජනතාවගේ පමණක් නොව තම කැබිනට් මණ්ඩලයේම සමහරක් සාමාජිකයන්ගේ විරෝධතා පවා සම්පූර්ණයෙන් නොසලකා අර්ජුන මහේන්ද්‍රන් මහතාව මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට මූලිකත්වය ගැනීම.
2. නිදහසින් පසු ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කොට එය තමන් භාරව සිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට ගැනීම.

3. බැඳුම්කර කොල්ලය ජනගත වූවාට පසු අර්ජුන මහේන්ද්‍රන් රැක ගැනීම සඳහා පෞද්ගලිකව විශාල උත්සාහයක් දැරීම මෙන්ම විවිධ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඒ සඳහා යොදා ගැනීම.

4. මහ බැංකුව විසින් බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කරනා ලෙස අර්ජුන මහේන්ද්‍රන්ට කීවේ තමා යැයි ප්‍රසිද්ධියේ පිළිගැනීම. මේ සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුමක් නොමැති අගමැතිවරයා එසේ නම් කර ඇත්තේ පැහැදිලිවම බලය අයුතු ලෙස භාවිත කිරීමකි.

5. නැඟී එන ජනතා විරෝධය සමනය කිරීම සඳහා බැඳුම්කර සිද්ධිය ගැන සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයන් 3 දෙනකු පත් කිරීම.

6. අනෙක් බොහෝ දෙනකුට අපහාස කරනා ගමන් 2015 මාර්තු 17දා අර්ජුන මහේන්ද්‍රන්ට පූර්ණ සහාය දක්වමින් පාර්ලිමේන්තුවේ කතාවක් කිරීම.

7. කෝප් කමිටුව මහ බැංකු කොල්ලය ගැන සොයා බලන්නට තීරණය කර ඇති බව වාර්තා වූ විට එහි එක් සාමාජිකයකුට ඉල්ලා අස්වන්නට කියා කට සැර නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහව කෝප් කමිටුවට පත් කිරිම.
8. සුජීව සේනසිංහ ලවා බැඳුම්කර වංචාවක් වූවේ නැතැයි පොතක් ලියවා ගැනීම මඟින් අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියා කලාපය සාධාරණීකරණය කිරීම.

9. කෝප් කමිටුව තුළ සිටි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලවා ඩිව් ගුණසේකර කෝප් කමිටුව තුළ සාකච්ඡාවලදී අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරවීම.

10. ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.

11. පාර්ලිමේන්තුව විසිරවූවාට පසු ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව මහජනතාවට නිකුත් කිරීම වැළැක්වීමට සුජීව සේනසිංහ ලවා අධිකරණ තීන්දුවක් ලබා ගැනීම හා එම තීන්දුව ප්‍රසිද්ධියේ වර්ණනා කිරීම.

12. ඊළඟ පාර්ලිමේන්තුවේ සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු වාර්තාව දුර්වල කිරීමට තම පාක්‍ෂිකයන් ලවා ෆුට් නෝට් දැම්මවීම, කෝප් කමිටුව තුළ සිටි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ෆුට් නෝට් කල්ලිය ලෙස ප්‍රසිද්ධ වූයේ ඒ අනුවය.

13. මහ බැංකු නිලධාරීන් විසින් ෆුට් නෝට්වලට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාවන් ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉහළ නිලධාරීන් හරහා බලපෑම් කරවීම.

14. රටපුරා මාධ්‍ය හරහා ගොඩනැඟෙමින් තිබූ විරෝධතාවන් නොසලකා යළිත් වරක් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කර ගැනීමට දැඩි උත්සාහයක නියැළීම.

15. එසේ කළ නොහැකි වූ විට අර්ජුන මහේන්ද්‍රන් තම අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස පත්කිරීම.

16. මහ බැංකු බැඳුම්කර කොල්ලයට අදාළ කරුණ සැඟවීම සඳහා විශේෂ උපකාර රැසක් කළා යැයි සැක කළ හැකි හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු මුදල් අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ උපදේශක තනතුරකින් 2017 අගෝස්තු මස විශ්‍රාම ගිය විට ඒ තනතුරට අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට උත්සාහ කිරීම.

ඉහත කී කරුණු හා හැසිරීම් අනුව මහ බැංකු කොල්ලයට අගමැතිවරයාගේ සම්බන්ධයක් ඇති බවට සැක කළ හැකි ඉතා පැහැදිලි සාක්‍ෂි තිබුණද මේ මහා හොරකම සිදු වී වසර 4කට පසුව හෝ හොරකමට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ ඔහුව නීතිය ඉදිරියට කැඳවා නොතිබීම විමතියට කරුණකි.

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon