අවුරුදු ගානකට පස්සේ චන්ද්‍රිකා - මහින්ද කතාකළේ කුමක්ද?

  👤  3050 readers have read this article !
2019-03-03

රුචිර දිලාන් මධුසංඛ

ලංකා ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව සේ සැලකෙන මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවී පසුගිය 26 වැනිදාට වසර 4ක් සම්පූර්ණ විය. එහෙත් මේ වන තෙක් ඊට අදාළ ප්‍රධාන චූදිතයා වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කළේ නැත. ඔහු එම ගනුදෙනුව සිදු කර ඊට අදාළ පරීක්‍ෂණ සිදුවී වසර 1 1/2ක් යනතුරු ලංකාවේ කාලය ගත කළ අතර එම කාලය ඇතුළත ඔහුට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමටද ආණ්ඩුව කටයුතු කළේ නැත.

ඔහු මෙරටින් පිට වූ පසු ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර භාර දීමට ආණ්ඩුව සූක්ෂ්ම වීමද විශේෂත්වයකි. රුපියල් බිලියන 7000ක් මෙම ගනුදෙනුව නිසා රටට පාඩු වූ අතර අද වනතුරු ඊට සම්බන්ධ වූ කිසිවකුට විරුද්ධව කටයුතු කරද නැත. මෙම වංචාව නිසා රටට ආර්ථික වශයෙන්ද දැඩි බලපෑම් එල්ල විය.

මෙම ගනුදෙනු ගැන පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද යළිත් වතාවක් විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි. මේ අවස්ථාවට කථානායක කරු, කෝප් කමිටු සභාපති හඳුන්නෙත්ති, විගණකාධිපති, ගාමිණී විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

'මේ මුදල් කොල්ලය ගැන සෙවීමට පත් කළ කොමිසමෙන් එහි වැරැදිකරුවන් රටට හෙළි කළා. නමුත් ඒ වැරැදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු ඒ වරදකරුවන්ට දඬුවම් දීමට පුළුවන්කමක් නෑ. මේ කොල්ලය නිසා ජීවිත ගණනාවක් අහිමි කළ කොළොන්නාවේ කුණු කන්දටත් වැඩි කුණු කන්දක් ආණ්ඩුව කරට දා ගත්තා. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නැත්නම් ඔහු ගෙන්වන්න පුළුවන්කමක් නෑ' යැයි ද මෛත්‍රි කීවේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ එ.ජා.ප. මැති ඇමැතිවරුන් වහාම කලබලයට පත්ව ඊට උත්තර දීමට පටන් ගත්හ. එහෙත් මේ වන තෙක් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අදාළ කිසිම කටයුත්තක් ආණ්ඩුව සිදු කරන බවට හාන්කවිසියක් හෝ දැනගන්නට නොමැත.

මෛත්‍රි මුද්‍රණාලයේ
හදිසි චාරිකාවක

ජනාධිපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා දිනයේ සර්ව පාක්‍ෂික නියෝජිත හමුවක් පැවැත්විණි. අගමැති රනිල්, කිරිඇල්ල, රාජිත, බදුර්දීන්, හකීම්, මනෝ, දිගම්බරම් ඇතුළු පිරිසක්ද සම්පන්දන්, සුමන්තිරන්, නිමල් සිරිපාල, ඩිලාන්, අමුණුගම ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. සර්ව පාක්‍ෂික සමුළුව සඳහා විපක්‍ෂ නායක මහින්දට ආරාධනාවක් නොකිරීම ගැනද මෙහිදී කසුකුසුවක් ඇතිවිය.

විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී වැඩි කතාබහක් ඇති විය. මෙහිදී පක්‍ෂ නායකයන්ගේ අදහස වී ඇත්තේ එම කරුණු දෙකට අදාළව ගන්නා තීන්දු තීරණ සර්ව පාක්‍ෂික හමුවේදී ගත යුතු බවය. ඊට අමතරව බලය බෙදීම පිළිබඳව ඇතිවී තිබෙන සාකච්ඡා ඉදිරියට ගෙන යෑමටද මෙහිදී තීරණය කෙරිණි.

'බලය බෙදීම ගැන ඉල්ලීම් කරල තියෙන්නෙ උතුරේ මහ ඇමැති විතරක් නොවේ. දකුණේ මහ ඇමැතිවරුත් මෙම ඉල්ලීම් කරලා තියෙනවා' ඇමැතිවරයෙක් කීවේය.

මේ ගැන දීර්ඝ වාද විවාද පැවැති අතර ඉදිරියේදී සාකච්ඡා කර විසඳුමක් ගැනීමට තීරණය කෙරිණි.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය බදාදා හදිසියේම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ හදිසි චාරිකාවක නිරත විය. මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. ගංගානි ලියනගේ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයාව දෙපාර්තමේන්තුවේ සියලු අංශ වෙත කැඳවාගෙන යෑමද විශේෂයකි. ජනාධිපතිවරයකු මෙම දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

හදිසි මුද්‍රණ කටයුතු සිදුවන රහස්‍ය අංශයද ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය. නිරීක්‍ෂණ චාරිකාවෙන් පසුව සේවකයන්ගේ අඩුපාඩු ගැන සොයා බැලීමට කටයුතු කිරීමටද අමතක කළේ නැත.
'සර්... අපේ ගොඩනැඟිලි දැන් හුඟක් ජරාවාසයි. සමහර ඒවා නැවත පාවිච්චි කරන්න පුළුවන්කමක් නෑ. ඒ ගැන සොයා බලන්න පුළුවන්ද?' සේවකයෙක් කීවේය.

'හොඳයි. මම ඒ ගැන සොයලා බලන්නම්' ජනාධිපතිවරයා කීවේය.

'අපිට ඕන තරම් වැඩ දෙන්න සර්. අපි කැමැතියි වැඩ කරන්න' තවත් සේවකයෙක් කීවේය.

'හරි හරි. ඕන තරම් වැඩ දෙන්නම්. අපි අමාත්‍යාංශවලට කතා කරලා ඒවායේ වැඩත් ගමු' යැයි ජනාධිපතිවරයා කීවේය.

දැනට මුද්‍රණය වෙමින් පවතින පොළොන්නරුව යුගය ගැන ලියැවුණු පොතක්ද ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය.

සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා

ඇමැති මංගලගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 'සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා' නමින් විශේෂ උත්සවයක් පැවැත්විණි. ජනපති, අගමැති මෙන්ම විපක්‍ෂ නායක මහින්ද ද මේ සඳහා එක්ව සිටියහ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, සම්පන්දන් ඇතුළු පක්‍ෂ නායකයන් සියලු දෙනාම මේ සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි.

1989දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මංගල ඇමැති ධුර ගණනාවක්ම දරමින් මාතර දිස්ත්‍රික් ජනතාවට මෙන්ම රටේ ජනතාවට ඉමහත් වැඩකොටසක් කිරීමට වෙහෙස වූ කෙනෙක් ලෙස කාගේත් ප්‍රසාදයට පත්වීමද විශේෂත්වයකි. උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සමන්තා පවර් මහත්මියයි. ඇය මෙහිදී මංගල ගැන විශේෂ ඇගැයීමක් කළාය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මංගල ගැන විශේෂ හෙළිදරව්වක් කළේය.

'මංගල 89 පාර්ලිමේන්තුවට එනකොට කළු පාට මල්ලක් කිහිල්ලෙ ගහගෙන ආවා. ඒ මල්ල තිබුණට හැබැයි මංගල කාටවත් කඩේ ගියේ නෑ. ලොබියේ කතා කර කර ඉන්නකොට වෙලාවකට මංගල ඔය මල්ල තියලා යනවා. අපි ඒ වෙලාවට වටපිට බලලා මංගල එන්න කලින් මල්ල පුරවනවා. මංගලගේ ඒ බෑග් එකට දැමිය යුතු දේ වගේම නොදැමිය යුතු දේත් අපි දානවා. මංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට අපි දිහා බලලා කවුද මේ ජරා වැඩේ කළේ කියලා බනිනවා' යැයි මෛත්‍රි සිනාසෙමින් කීවේය.

උත්සවය අවසන් වී මහින්ද පිරිස සමඟ කතාබහ කරමින් ශාලාවෙන් එළියට පැමිණියහ. චන්ද්‍රිකාද ඊට පිටුපසින් පැමිණියේය. එකවරම පිටුපස හැරී චන්ද්‍රිකා දෙස බැලූ මහින්ද 'ආ... කොහොමද' යැයි විමසීය.
'හොඳයි... හොඳයි...'යැයි චන්ද්‍රිකාද මහින්ද දෙස බලා කීවේ සිනාසෙමිනි.

'අපි යන්නයි යන්නේ' මහින්ද කීවේය. චන්ද්‍රිකා ඔළුව වැනුවා මිස ඊට කිසිවක් නොකීමට වග බලා ගැනීමද කැපී පෙනිණි.

රටම හෙල්ලූ රන්ජන්ගේ කතාව සිරිකොතේදී විසිවෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් බදාදා පෙරවරුවේ සිරිකොතේදී පැවැතිවිණි. මෙහි විශේෂ අවධානය යොමු වූයේ රන්ජන් පසුගියදා සිදු කළ ප්‍රකාශයට අදාළ වාර්තාව ගැනය. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් කොකේන් භාවිත කරන බවට රන්ජන් සිදුකළ ප්‍රකාශය ගැන සොයා බැලීමට ඇමැති කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව රැස්විය. කිරිඇල්ල විසින් අදාළ වාර්තාව අගමැතිවරයාට භාරදීමට කටයුතු කළ අතර අගමැතිවරයා එම වාර්තාව මෙහිදී අවධානයට ලක් කළේය.

මේකේ වතුකරයේ ඇමැතිවරු දෙන්නෙක් ගැන තියෙනව සහ අනෙක් පක්ෂවල මන්ත්‍රිවරු සම්බන්ධයෙන් අපට ක්‍රියාමාර්ග ගන්න බෑ' යැයි රනිල් කීවේය.


මෙහිදී රන්ජන් දැඩි ආවේගශීලීව අදහස් දැක්වීය.

'මට ෆේස්බුක් එකේ ලක්ෂ 7ක සාමාජිකයෝ ඉන්නවා. ජනප්‍රිය දේශපාලකයෙක් වුණහම මම කියන දේවල් රටේ ජනතාව අහනවා. ඒ නිසා මම කියන්නේ එවැනි දෙයක් අපි කිව්වාම ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෑ.' රන්ජන් කීවේය. මෙහිදී අගමැතිවරයා පවසා ඇත්තේ අමාත්‍යවරුන් අදහස් දැක්වීමේදී වගකීමෙන් කටයුතු කළ යුතු බවය. කෙසේ වෙතත් මෙම කතාබහ අතරතුර එජාප ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම රන්ජන්ට විරුද්ධව අදහස් දැක්වූ අතර එක් අවස්ථාවක රන්ජන් ඊට ආවේගාත්මක පිළිතුරුදී පිටව යෑමට උත්සාහ කර ඇත.

අල්ලන කුඩුවලට වෙන දේ ගැන මන්ත්‍රිවරු අගමැතිගෙන් විමසයි

පසුගිය ඉරිදා පෙරවරුවේ අගමැති රනිල් මල්වතු මහ නාහිමි බැහැදැක රටේ තතත්වය පැහැදිලි කළේය. අනතුරුව ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නිවාස 150කට අධික සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණය විවෘත කිරීමට බගවන්තලාවට ගියේය. එදින රාත්‍රියේ මහනුවර නවාතැන් ගත් රනිල් පසුදා අරණායක පැමිණියේ පාසල් 2 ක නව ගොඩනැඟිලි විවෘත කිරීමටය. ඉන් එක් පාසලක උත්සවය නිමවා යළි වාහනයට නැඟීමට අගමැතිවරයා පාගමනින් පැමිණෙමින් සිටියදී "හලෝ මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්, හව් ආ යූ?" යනුවෙන් කුඩා දැරියක් මහ හ¾ඩින් අමතනු ලැබුවාය. එය ඇසුණු අගමැතිවරයා මඳක් නැවතී ඇය හා සිනාසුණා පමණක් නොව ඇය සිටි කුඩා කඳුගැටය අසලට ගොස් ඉංගී්‍රසි භාෂාවෙන්ම ඇය සමඟ කතාබහ කර සුබ පැතීමද විශේෂත්වයකි.

සඳුදා බුලත්සිංහල බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කළ අගමැති රනිල් අනතුරුව සාමාන්‍ය බස් රථයකින් ගොස් එහි ඉදිකළ නව සතිපොළද ජනතා අයිතියට පත් කළේය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මන්දිරයට පැමිණියේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උත්සව රැසකට එක්වීමට යෑමට පෙරය. එහෙත් ඊට පෙර දිනයේ අභාවප්‍රාප්ත වූ බණ්ඩාරගම එජාප හිටපු රාජ්‍ය ඇමැති නීතිඥ රාජා සමරනායකගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දාම නිම කිරීමට තීන්දු කළ බවට ලැබුණු තොරතුර මත ඔහු වහාම බණ්ඩාරගම යෑමට තීන්දු කළේය.

"77 රාජල අපි එකටයි පාර්ලිමේන්තු ආවෙ. එතුමා ජනතා මුදල් යටිමඩි ගැහීම වෙනුවට තම ධනය පවා ප්‍රදේශය හා එහි ජනතාව වෙනුවෙන් කැප කළ අවංක දේශපාලකයෙක්. බොහෝ නඩු පවා කතා කළේ නොමිලේයි" අගමැතිවරයා කීවේ තමා හමුවීමට පැමිණ සිටි මැති ඇමැතිවරුන්ටය.

"දැන් මේ 20 වැනි සංශෝධනය ක්ෂණිකව ගෙනල්ලා අගමැති හා පාර්ලිමේන්තුව බලවත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවට පළවෙන කතාව මොකක්ද? මේක අපි හරියට දන්නෙත් නෑ. මිනිස්සු ලෑස්තිවෙන්නෙ ජනපතිවරණයකටයි." නවීන් විමසුවේ අගමැතිවරයාගෙනි.

"20 වැනි සංශෝධනය දැම්මෙ අපි නෙවෙයි ජවිපෙයි. 2015 දී විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලතල දෙන්න අපි පොරොන්දු වුණා. ඒ නිසා 20ට අපි ප්‍රතිපත්තියක් ලෙස එකඟයි. ඒ සංවාදයයි මේ යන්නෙ" අගමැතිවරයා කීවේය.

"මේකට සුළු පක්ෂ පොඩ්ඩක් අදිනව වගෙයි නේද? ජනපති ධුරය අහෝසි කළොත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකිරීම අත්‍යවශ්‍ය වෙනවා." කිරිඇල්ල කීවේද අගමැති දෙස බලමිනි.

"ඔව්. 20 සම්පූර්ණ එකක් නෙවෙයි. බොහෝ පක්ෂ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හා අලුත් ඡන්ද ක්‍රමයකුත් ඉල්ලනවා. ඒ වගේම දෙමළ සන්ධානය කියන්නෙ බලය බෙදීමකුත් එක්ක මේක එන්න ඕනෙය කියලයි. ඒ නිසා 20 ගැන අවසන් තීන්දුවක් නෑ. මේක ගැන පුළුල් සංවාදයක් කරලා කාටත් එකඟ විය හැකි තැනකට ආවොත් 20 බලාත්මක වේවි." අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

"මිනිස්සුන්ට බදු පිට බදු ගහලා තියෙද්දි මේ කාබන් බද්ද ගැනත් කතාවක් යනවා. මේක ජනාධිපතිතුමාගෙ පරිසර අමාත්‍යංශය දාපු එකක්. ඒත් මිනිස්සුන්ගෙන් ‍ෙදාස් අහන්නෙ ආණ්ඩුවයි." චමින්ද විජේසිරි කතාව වෙනතකට යොමු කරමින් කීවේය.

"මේකෙ හරි නම පරිසර බද්දයි. ලෝකෙ හැම රටකම වගේ මේක තියෙනවා. ආදායම් ලැබීමට වඩා පරිසරයට එකතුවෙන කාබන් මොනොක්සයිඩ් වායුව අවම කිරීම මේකෙ අරමුණ වෙන්න ඕනෑ. නමුත් මෙතන ආණ්ඩුව අපහසුතාවට ලක්වන යම් දේශපාලන ගේමකුත් තියෙනවා දැයි සමහරු සැක කරනවා." දයා ගමගේ කීවේය.

"දැන් දිගට හරහට කුඩුයි පාතාලයොයි අල්ලනවා. ඒක ඉතා හොඳ දෙයක්. ඒත් අල්ලන කුඩුවලට මොකද කරන්නෙ කියලා මිනිස්සු අපෙන් අහනවා. අල්ලපු කුඩු හංගල තියන් ඉඳල ආපහු එළියට දාල අල්ලල පෙන්නවදැයි මිනිස්සු ෆේස්බුක් එකේ අහල තියෙනවා මම දැක්ක" හේෂා කීවේය.

"මේ කුඩුවලින් හා පාතාලයෙන් රට මුදාගන්න මාසෙන් දෙකෙන් බෑ. සිංගප්පූරුව වසර 10ක සැලසුම්ගත වැඩපිළිවෙලකිනුයි මේක කරලා තියෙන්නෙ. 2010දී සාගල මේක පටන්ගත්තා. මද්දුම බණ්ඩාර ඉදිරියට ගෙනිච්චා. මීට අදාළ ඒකක තුනක් එකතු කරලා ශක්තිමත් මධ්‍යගත කාර්යාංශයක් අපි හැදුවා. ජනාධිපතිතුමා දැන් ඒකෙන් හොඳට වැඩ ගන්නවා. අපට ලකුණු ඕන නෑ. වැඩේ සිද්ධ වුණාම ඇති" අගමැතිවරයා කීය.

"අර රන්ජන්ගෙ කොකේන් වාර්තාවෙ මොනවද තියෙන්නෙ. මේක හරියට කළමනාකරණය කරගත්තෙ නැත්නම් පාර්ලිමේන්තුවම හෑල්ලු වේවි." නවීන් කීවේ තරමක් කේන්තියෙනි.

"කමිටු වාර්තාව මට ලැබුණා. මම කෘත්‍යාධිකාරියේදි මේ ගැන කතා කළා. එජාප අයගෙ නම් තිබුණා නම් පක්ෂයක් ලෙස පියවර ගන්නවා. කඳුකරයේ දෙමළ ඇමැතිවරු දෙන්නෙකුගෙ මත්ද්‍රව්‍ය චෝදනා කතාව ඡන්ද කාලෙ වෙච්ච අපහාස නඩුවක්. අහවලා මත්ද්‍රව්‍ය ගන්නවා කියලා කවුරුහරි කිව්වට විතරක් හරියන්නෙ නෑ. රන්ජන් සීඅයිඩී එකට නම් දීල තියනව නම් රටේ නීතිය අනුව ඔවුන් ක්‍රියා කරාවි" අගමැතිවරයා පැහැදිලි කළේය.
"බැඳුම්කරය ගැන මහලොකු බණ දේශනා කරන ආචාර්ය බන්දුල තුමා ලක්ෂ 130ක උකස්කරයකට කොටුවෙලා තීන්දුවක් ලැබිලා. හොර ආණ්ඩු හදන්න දැඟලුවෙ මේව ෂේප් කරගන්න බව දැන් පැහැදිලියි" රන්ජිත් අලුවිහාරෙ කීවේය.

"බැඳුම්කරය ගැන දඬුවම් කරන්න බැරි ඒක කරපු අය ආණ්ඩුවේ ඉන්න නිසා කියලා ජනාධිපතිතුමා සීමාවෙන් ටිකක් එහා ගිහින් අමුතු කතාවක් කියලා තිබුණා" නවීන් කීවේය.

"ආණ්ඩුව ඇතුළෙ ඉන්න බැඳුම්කර හොරු කවුද කියල එහෙනම් එතුමා අඟවන්න ඕනෙ. දේශපාලන වාසි තකා ආණ්ඩුව අපහසුතාවට පත්කරන ප්‍රකාශ එහෙම නැත්නම් නොකර ඉන්න ඕනෑ." එජාප නීති නිලධාරියෙක් කීවිට එහි සිටි සියලුදෙනාම ඊට එකඟත්වය පළ කළේය.

"ක්‍රිකට්වල බලය යළිත් ක්‍රිකට් වට්ටපු අයටම ගිහිල්ලායි මිනිස්සු අපිට බනිනවා. එතනදි ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. සල්ලි වරප්‍රසාද හා වෙනත් සාධක මත ඔවුන් හැමදාම දිනනවා. ක්‍රීඩා නීතිය නිසි පරිදි නිසි විදියට සංශෝධනය නොකළොත් ක්‍රිකට්වලට අනාගතයේදි තවත් අමාරු වේවි. මහේල ළඟ තියන මීට අදාළ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මම ක්‍රීඩා ඇමැති කාලෙ පසුබිම හැදුවා. හරීන් දැන් ඉතිරි ටික කරන්න ඕනෑ." නවීන් කීවේය.

එජාපය ඇතුළේ ගැටුම් නිසා කලකිරුණු ඇමතිවරු

එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ මැති ඇමැතිවරුන්ට දේශපාලන වශයෙන් කෙනහිලි කිරීමේ ක්‍රියාදාමයක් පක්ෂය ඇතුළෙන්ම ක්‍රියාත්මක වී තිබේ. පසුගිය සතියේ එවැනි ක්‍රියා දෙකක් නිසා පක්ෂයේ අභ්‍යන්තර ගැටලු ඇතිවී තිබිණි.

දැදිගම ආසනයේ එජාප සංවිධායක චම්පිකා ප්‍රේමදාසගේ ආසනය වසන්ත සේනානායකට ලබාදීමට යන බවට ඔහුට දැනගන්නට ලැබිණි. ඔහු කෙළින්ම ගොස් ඒ ගැන අගමැතිවරයාගෙන් විමසන්නට වූහ. පසුව අගමැතිවරයා පවසා ඇත්තේ සභාපති කබීර් හෂීම් විසින් එම යෝජනාව තමන්ට සිදුකළ බවය. ඉන් දැඩි කෝපයට පත් චම්පිකා ඇමැතිවරයා ඒ මොහොතේම අගමැතිවරයාට පවසා ඇත්තේ එසේ වුවහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවය.

දයා ගමගේ ඇමැතිවරයාද පක්ෂයේ ප්‍රගමනය වෙනුවෙන් මූල්‍ය ශක්තිය පවා දෙමින් කටයුතු කළ කෙනෙකි. එ.ජා.ප.ය විපක්ෂයේ කටයුතු කරන සමයේ සිරිකොත නඩත්තුව වෙනුවෙන් වැඩි බරක් කරට ගෙන කටයුතු කළේද දයා ගමගේය. නමුත් ඔහුට ඇමැති ධුරය ගැනද පසුගිය කාලයේ විවිධ කතා මතුවිය. ඒ වැඩක් කිරීමට හැකි ඇමැතිකමක් නොලැබුණු නිසාය. පසුගිය දිනවල දයා ගමගේ මුදල් ඇමැති මංගල සමඟ ගැටුමක් ඇතිකර ගත්තේය. ඒ සිය අමාත්‍යාංශයේ කටයුතු සඳහා මුදල් ලබානොදෙන බවට පවසමිනි. එහිදී දයා ගමගේ ඇමැතිවරයා අවධාරණය කර සිටියේ දිගින් දිගටම මේ තත්ත්වය පැවතියහොත් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවය.

රත්ගම ව්‍යාපාරිකයාගේ පුතා මහින්දට කියූ රහස

මේ වන විට ඉමහත් ආන්දෝලනයට ලක්වී ඇති ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුලේ උදවිය පසුගිය සඳුදා මහින්ද හමුවිය. ඔවුන් සිය දුක් ගැනවිල්ල මහින්දට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මේ පිළිබඳ පරීක්‍ෂණ සාධාරණව පැවැත්වීම සඳහා මැදිහත් වන ලෙසය. ඝාතනයට ලක්වූ එක් ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක් එකවරම ඉදිරියට පැමිණ මහින්දගේ බෙල්ල බදාගෙන ඔහුට රහසක් කීවේය. මහින්ද ඊට හොඳින් ඇහුම්කන් දුන්නේ හූ මිටි තබමිනි. දරුවා රහස කියා අවසන් වූ විට මහින්ද ඔහුට පොරොන්දුවක් වූයේය. 'හා මම ජනාධිපතිතුමාට කියන්නම්' ඒ පොරොන්දුවයි.

ඉතාමත් සංවේදී මේ සිදුවීම දුටු මාධ්‍යවේදීන් මහින්දගෙන් ඇහුවේ දරුවා කියූ රහස කුමක්ද කියාය. 'ඒ දරුවා මට ඒ රහස කීවේ විශ්වාසෙට. පොඩි දරුවෙක්ගෙවත් විශ්වාසය කඩන්න හොඳ නෑ. ඒ නිසා ඒක මගෙන් අහන්න එපා' මහින්ද මාධ්‍යවේදීන්ට කීවේය. එම ස්ථානයෙන් ඉවත්ව වාහනයට ගොඩ වූ වහාම මහින්ද ජනාධිපති මෛත්‍රි දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය. දරුවා කියූ රහස මෛත්‍රිට හෙළි කළේය. ඒ දරුවාට වූ පොරොන්දුව ඉටු කරමිනි. මහින්ද කියූ සියල්ල හොඳින් අසා සිටි මෛත්‍රි ඒ ගැන සොයා බලන බවට පොරොන්දු වූයේය.

ජෝන්ගේ තරුණකම ගැන මහින්ද කිව්ව කතාව

මේ අතර ඇමැති ජෝන්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබුණේ පසුගිය 27 වැනි බදාදාය. ඒ සඳහා ජනපති මෛත්‍රි, අගමැති රනිල්, විපක්ෂනායක මහින්ද, කථානායක කරු මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකාද එක්ව සිටියහ. උත්සවයට ගිය මහින්දව පිළිගත්තේ ඇමැති ජෝන්ය. 'එන්න එන්නම තරුණ වෙනවනේ' කියමින් ජෝන්ගේ පිටට තට්ටුවක් දැමූ මහින්ද මොකක්ද රහස යැයි ඇසුවේය. ඇමැති ජෝන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මහ හ¾ඩින් සිනාසෙමිනි.

උත්සවයේ ටික වේලාවක් රැඳී සිටි මහින්දට ඉක්මනින් එතැනින් පිටව ඒමට වුවමනා වී තිබිණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෘත්තීය සමිති මෙහෙය වූ හේමසිරි ජයලත් මහතාගේ අවමඟුල් උත්සවයට සහභාගි වීමට තිබූ නිසාය. තමන් පිටව යන බව ඇමැති ජෝන්ට කියූ මහින්ද නැඟිට මෛත්‍රි දෙසට හැරී තමන්ට මළගෙදර යෑමට ඇති නිසා පිටව යන බව කීවේය. මෛත්‍රිට යාබදව පුටුවේ සිටි කරුද, ඊට යාබද පුටුවේ සිටි චන්ද්‍රිකාටද මහින්ද කියූ දෙය ඇසිණි. වෙනදාට අහක බලාගෙන සිටින චන්ද්‍රිකා එය ඇසී මහින්ද දෙස බලා සිනාසුණේය. පසුව මහින්ද තම හිතවතුන්ට කීවේ චන්ද්‍රිකා තමන් සමඟ සිනාසුණේ වසර ගණනාවකින් බවය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිට වූ මහින්ද කෙළින්ම ආවේ කොළඹ ජයරත්න ශාලාවටය. බැසිල් ලොකුගේ, බන්දුල, කාංචන ජයරත්න, කාංචන, විජේසේකර ඇතුළු මන්ත්‍රිවරු රැසක් එම ස්ථානයට පැමිණ සිටියේ හේමසිරි ජයලත්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නටය. වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරන කාලයේ සිටම මහින්ද සමඟ සිටි හේමසිරි ජයලත්ගේ සමුගැනීම මහින්ද ඉතා සංවේදී කර තිබිණි. 'කළුබෝවිල හොස්පිට්ල් එකේ ඉන්නවා කියලා ආරංචි වෙලා මම හේමසිරිව ලංකා හොස්පිට්ල් එකට ඇඩ්මිට් කෙරෙව්වා. අපිට ඕනෑම වෙලාවේ තමයි හේමසිරි අපිට නැති වුණේ' මහින්ද කීවේ කනගාටුවෙනි.

මේ අතර විපක්‍ෂ නායක මහින්ද පසුගිය සතියේ තවත් විශේෂ අවමඟුල් උත්සව දෙකකට සහභාගි විය. එකක් ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු ගත් කථිකවරයකු හා දේශපාලන ක්‍රියාකාරියකු වූ කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් ග්‍රන්ථය ප්‍රාග්ධනය නමින් සිංහලට සම්පාදනය කළ ජයතිලක ද සිල්වා මහතාගේය. අනෙක යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු මුලින්ම අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණු චම්ලි විතානච්චි මහතාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.

ඩුබායි යන්න කලින්
මධුෂ් ගැන නාමල්
ප්‍රසන්නට අනතුරු අඟවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන එළිය වැඩසටහන් මාලාවේ පළමුවැන්න පසුගිය සෙනසුරාදා (23දා) පැවැත්වුණේ දිවුලපිටිය සෙනුරි උත්සව ශාලාවේදීය. ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්නගේ උපදෙස් පරිදි එය සංවිධානය කෙරිණි. මෙම වැඩසටහනට කටාන, මීරිගම හා දිවුලපිටිය ආසන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

එදින සවස 3.00ට දිවුලපිටිය සෙනුරි උත්සව ශාලාවට පැමිණි ගෝඨාභයව පිළිගත්තේ ප්‍රසන්න ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරුන් විසිනි. ඉන්දික, ලන්සා, ඩුලිප්, සුදර්ශනී, රණවීර ඇතුළු මන්ත්‍රිවරු ඊට එක්ව සිටියහ. එළිය වැඩසටහන අවසන් වීමෙන් පසුව සෙනුරි උත්සව ශාලවේ තවත් තැනක විශේෂ හමුවක් සංවිධානය කර තිබිණි. ඒ ගෝඨාභය හා කටාන, මීරිගම, දිවුලපිටිය ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රිවරුන් හා අපේක්‍ෂකයන් අතරය. මෙම හමුවට අදාළ මන්ත්‍රිවරුන් හා අපේක්‍ෂකයන් හැර වෙනත් කිසිවකු සහභාගි කර නොගැනීමට සංවිධායකයන් ප්‍රවේශම් වී තිබිණි.

මෙම සාකච්ඡාවේදී වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳව ගෝඨාභය සමඟ සාකච්ඡා කිරීමට පළාත් පාලන මන්ත්‍රිවරුන්ට හා අපේක්‍ෂකයන්ට අවස්ථාව හිමි විය.

'අපි දන්නවා ඔයගොල්ලන්ට ගෝඨාභය මහත්තයාගෙන් දැනගන්න හුඟක් දේවල් තියෙනවා කියලා. ඒ නිසායි අපි මේ හමුව සංවිධානය කළේ එතුමාගේ අවසරය ඇතිව. ඒ නිසා ඕනෑම දෙයක් අහන්න' යැයි ප්‍රසන්න මෙහිදී අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මුල්ම ප්‍රශ්නය නැඟුවේ දිවුලපිටිය මන්ත්‍රිවරයෙකි. 'සර් ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද' ඔහු ඇසුවේය.

ඒක නියමිත වෙලාවට තීරණය වෙයි. හැබැයි මම ඔබට එක සහතිකයක් දෙන්නම්. කවුරු ඉදිරිපත් වුණත්, ඉදිරිපත් වෙන කෙනා ඉදිරිපත් වෙන්නේ මහින්ද මහත්තයාගේ පූර්ණ ආශීර්වාදයෙන්. ඒ එක්කම අපේ පවුලේ හැමෝම ඒ කෙනාට සහයෝගය දෙනවා.'

ගෝඨා කීවේ සිනාසෙමිනි.

'ඔබතුමාට ඉදිරිපත් වෙන්න බෑ ද්විත්ව පුරවැසිභාවය නිසා කියලා උව්ර්ථී එක විවිධ ප්‍රචාර ගෙනියනවා. ඇත්තටම ඒකෙ තත්ත්වය මොකක්ද? තවත් මන්ත්‍රිවරයකු ඇසුවේය.

'ඒක මම ඉවත් කර ගන්න අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ' ගෝඨා කීවේය.

'ඒ කියන්නේ ඔබතුමා ලෑස්තියි' තවත් මන්ත්‍රිවරයකු ඇසුවේය.

'ඔව්, ඔබතුමන්ලා ලෑස්ති නම් අපිත් ලෑස්තිි' ගෝඨාභය කීවේ රැස්ව සිටි පිරිසගේ අත්පොළොසන් මැදය.

'ඔබතුමාලා කලබල වෙන්න එපා. මහින්ද මහත්තයා නියම වෙලාවට ඉල්ලන අපේක්‍ෂකයා දේවි. ඒ අපේක්‍ෂකයාව දිනවන්න අපි දැන්ම ඉඳලම වැඩ කරන්න ඕනෑ... අපි අපේක්‍ෂකයා කවුදැයි රටට හෙළි කරන්න ඉක්මන් විය යුතු නෑ. බැසිල් ඇමැතිතුමා දැනටමත් හොඳ වැඩසටහනක් කරගෙන යනවා ගම සමඟ පිළිසඳරක් කියලා. ඒ වැඩසටහන සාර්ථකව කළොත් ඕනෑම මැතිවරණයක් අපි දිනන එක ෂුවර්.. ප්‍රසන්න කීවේ සියලු දෙනාවම සිනා ගන්වමිනි.

රැස්වීම අවසන් වීමෙන් පසු ගෝඨාභය දිවුලපිටියෙන් පිටව ගියේ ප්‍රසන්න රණතුංග හා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරුන් හට විශේෂ ස්තුතියක්ද පුද කරමිනි. ඒ එළිය වැඩසටහන ඉතා සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳවය.

එළිය වැඩසටහන පැමිණි දිනට පසු දින ප්‍රසන්න කුවේට් බලා ගියේය. ඒ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයාද සමඟය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුවේට් ශාඛාව 25 වැනිදා හවාලි බොයිස්කට් ශාලවේදී සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගි වීම මෙහි අරමුණ විය. කුවේට් පොදුජන පෙරමුණු ශාඛාව විදෙස් රටක ශ්‍රී ලාංකිකයන් එක්ව පිහිටුවා ගත් පොහොට්ටුවේ ශාඛා ජාලයේ පළමුවැන්නයි. මෙම ශාඛාව පිහිටුවීමට මුල් වූයේද ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයාය. කුවේට් පොදුජන පෙරමුණු ශාඛාවේ සහභාගි මොහොමඩ් හසීම්, සංවිධායක සුමිත් කහදවල යන අය ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රසන්න හා නාමල් පිළිගැනීම සඳහා කුවේට් ගුවන්තොටුපළට පැමිණ සිටියහ. 25 වැනිදා හවාලි බොයිස්කට් ශාලාව පිරී ගියේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙනි. ඔවුන්ගෙන් ප්‍රසන්නට හා නාමල්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රැස්වීම අවසානයේ නාමල් හා ප්‍රසන්න අසලට පැමිණි ඔවුහු එක දිගට සෙල්ෆි ඡායාරූප ගන්නට වූහ. මේ නිසා රැස්වීම අවසන් වී පැයක් පමණ ඒ ස්ථානයේ සෙල්ෆි සැසියකට සහභාගි වීමට ප්‍රසන්නට හා නාමල්ට සිදුවිය.

මේ අතර එතැනට පැමිණි ශ්‍රී ලාංකිකයන් ප්‍රසන්නගෙන් හා නාමල්ගෙන් ප්‍රශ්න කළේ ශ්‍රී ල.නි.ප. හා පොහොට්ටුව එක්ව බිහි කිරීමට යන සන්ධානය ගැනය.

'සර් අපි නම් ඕකට කැමැති නැහැ. මිනිස්සු මහින්ද මහත්තයාගේ ලකුණ විදියට පිළිගන්නේ පොහොට්ටුව. ඒක නැති කරගන්න එපා.'

මහින්ද මහත්තයාට මේ ගැන කියන්න. ඔවුහු ප්‍රසන්නගෙන් හා නාමල්ගෙන් ඉල්ලා සිටියහ.

'මේ ඉන්නේ.. ගිහින් මහින්ද මහත්තයාට කියන්න කියලා මෙතුමාට කියන්න' ප්‍රසන්න කීවේ නාමල් පෙන්වමිනි.

'නෑ නෑ.. මම කිව්වට වඩා මෙතුමා කිව්වොත් තමයි මහින්ද මහත්තයා අහන්නේ' නාමල් ප්‍රසන්න පෙන්වමින් කීවේ සිනාසෙමිනි.

'හරි, හරි, ඔයාලා දෙන්නම ගිහින් කියන්න. එතකොට හරිනේ' ප්‍රසන්න හා නාමල් වට කරගත් පිරිස කීවෝය.

25 වැනිදා රාත්‍රියේ කුවේ තානාපති කාසදීපන් සුබ්‍රමනියම් මහතාගේ නිල නිවෙසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණේ ප්‍රසන්න හා නාමල් වෙනුවෙනි. එහිදී තානාපතිවරයා කුවෙට්හි සේවයට ගොස් විවිධ අතවරයන්ට ලක්ව ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින කාන්තාවන් 30කගේ ලේඛනයක් මන්ත්‍රිවරුන් අතට දෙමින් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි සහයෝගයක් දක්වන ලෙස ඉල්ලා සිටියේය.
පසුදින (26දා) ප්‍රසන්න කුවේට් සිට ඩුබායි බලා යෑමට නියමිතව තිබිණි. ඒ පෞද්ගලික සංචාරයක් සඳහාය.

'බලාගෙන ප්‍රසන්න අයියා මේ වෙලාවේ ඔයා ඩුබායි ගියාම ආණ්ඩුව කියයිද දන්නෑ මධුෂ් බලන්න ගියා කියලා.. පරිස්සමින්' නාමල් කීවේය.

'අපොයි ඔව්.. ආණ්ඩුව බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද අපිට මඩ ගහන්නේ කියලනේ ඒකත් කියන්න බෑ තමයි' ප්‍රසන්න කීවේ සිනාසෙමිනි. විපක්‍ෂ නායක මහින්ද පසුගිය සඳුදා කොග්ගලට ගියේ ඇඟලුම් කම්හලක් විවෘත කිරීම සඳහාය. මේ අවස්ථාවට රමේෂ්, මොහොන් ද සිල්වා, චන්දිම සහ ගීතා එම අවස්ථාවට එක්ව සිටියහ. උත්සවයෙන් අනතුරුව පිරිස කතාබහ කරමින් සිටින අතරතුර රන්ජන්ගේ කොකේන් ලිස්ට් එකේ අලුත්ම තත්ත්වය ගැනද කතාබහ ඇදී ආවේය.

'දැන් රන්ජන් කියනවා එයාගේ කොකේන් ලිස්ට් එකේ අපේ අයත් ඉන්නවා කියලා' රමේෂ් කීවේය.

'මම නම් කියන්නේ මේක මේ රටේ ප්‍රශ්න අමතක කරන්න රන්ජන් දාන රංගනයක්. මේකේ පිටපත ලියන්නේ රනිල්' මොහාන් ද සිල්වා මන්ත්‍රිවරයා කීවේය.

'මුලින් කීවේ කැබිනට් මණ්ඩලයේ 24 දෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා විරුද්ධ පැත්තට ඇවිත්. කුඩුකාරයෝ කොකේන් ගහන උදවිය ඉන්නේ කොහෙද කියලා රටම දන්නවා. කොහොමත් ආණ්ඩුව දැන් වැඩ කරන්නේ කුඩුකාරයෙක් වගේනේ' චන්දිම කීවේය.

වන්නිලැත්තන්ගේ
සිහින පොජ්ජ

මඩකළපුව පෝරතිව්පත්තුහි "මාණික්ක නගර්"උදා ගම්මානයෙන් පසුව සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට අගුණකොළපැලැස්ස, දෙහිඅත්තකණ්ඩිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල උදා ගම්මාන ජනතා අයිතියට පැවැරීමේ වැඩසටහන්වලට සහභාගි වීමට සිදු විය. දෙහිඅත්තකණ්ඩිය "මිලිඳුපුර" උත්සවයට දයා ගමගේ අනෝමා ගමගේ යුවළද සහභාගි වීමට පැමිණ සිටියහ. ඊට දඹානේ ආදි වාසී නායක උෟරුවරිගේ වන්නිලැත්තෝද සහභාගි වීම විශේෂ සිද්ධියක් විය. වන්නිලැත්තන් සජිත්ගේ දෑතින් අල්ලාගෙන පිළිගත් අතර පසුව පැවැති සුහද පිළිසඳරේදී කීවේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ මුල් වරට වැදි ජනතාවට නිවාස තනාදී උදව් කළ ලෙසින්ම නැවතත් තමන්ට උපකාර කරන කාලයක් ලැබේයයි බලාපොරොත්තුවෙන් සිටින බවයි. සජිත් කීවේ දින වකවානු සහිතව ඒ බලාපොරොත්තු ඉටු කරන බවයි.

නව නිවසක් හිමිකර ගත් ටී. ඩබ්ලියු. පුංචිබණ්ඩා ආදීවාසී තරුණයා කීවේ "මේ ඇත්තන්ට හීන පොජ්ජක්. මේ ඇත්තන්ට පිං පොජ්ජක් මන්‍ෙදා කරගන්න ඉතින් තිබච්චා රුකුල් පොජ්ජක් මන්‍ෙදා කරගන්න ඉතින් මේ තැනට උදව් පොජ්ජක්" කියාය. අනතුරුව පැවැති ඇහැලියගොඩ "විපුලතිස්ස නාහිමිගම" 170 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ගිය සජිත්ගේ ඇස ගැටුණේ කෝට් එකකින් සැරසී සිටි පාසල් දැරියකි. ඒ දැරිය කවුදැයි සොයා බැලීමේදී ඒ.ඒ. විජේතුංග සහ සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීවරුන්ගෙන් සජිත්ට දැනගැනීමට ලැබුණේ ඇය තායිලන්තයේ පැවැති ටයිකොන්ඩෝ තරගාවලියෙන් 3 වැනි ස්ථානය දිනාගෙන ඇති බවයි. වහාම දැරිය වේදිකාවට ගෙන්වා ගත් සජිත් ඇය තමන්ට යාබද අසුනේ හිඳවාගෙන තොරතුරු විමසද්දී හෙළි වූයේ ඇය පළාබද්දල ප්‍රදේශයේ දුෂ්කර ජීවිතයක් ගෙවන බවයි.

ඇගේ නිවස කුඩා නිවසක් බවත් එය අලුත්වැඩියා කර ගැනීමට තමන්ට ශක්තියක් නොමැති බවත් පවසන විටම ඇගේ කතාව නතර කොට සජිත් දිස්ත්‍රික් ලේකම්වරිය තමන් වෙත කැඳවා නියෝග කළේ ඇගේ පවුලට එම නිවසේ වැඩ කටයුතු අවසන් කරගැනීම සඳහා ණය මුදලක් නොවන නිවාස ආධාරයක් ලබා දෙන ලෙසයි. ඉන් නොනැවතී එම දැරිය අපේක්‍ෂා නොකළ තවත් සිදුවීමක් පෙළ ගැසෙමින් තිබුණි. "ඔයාට කොළඹට ඇවිත් වැඩිදුර පුහුණු කටයුතු කර ගැනීමට ඉඩ සැලසෙන පරිදි රුපියල් ලක්‍ෂ 30ක් වටිනා මහල් නිවාසයක් ලබාදීමට මම කටයුතු කරනවා" සජිත් කීය.

මාර්ටින් වික්‍රමසිංහ ජීවත්වූවානම් ලියන අලුත් පොත ගැන කරු හෙළි කරයි

'බමුණු කුලයේ බිඳවැටීම' කෘතිය රචනා කරමින් මෙරට දේශපාලන චින්තනය නව මඟකට යොමු කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත්ව සිටියේ නම්,
'ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම' යනුවෙන් පසුගිය සිදුවීම් අලළා ඉතිහාසයට පාඩම් ඉගෙනගත හැකි ග්‍රන්ථයක් රචනා කරනු ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ පසුගිය සතියේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත පොත් 132කින් යුත් ග්‍රන්ථ එකතුව පාර්ලිමේන්තුව වෙත පිරිනැමූ අවස්ථාවේදීය.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මුනුපුරු මාලින් වික්‍රමසිංහ මහතා අතින් මෙම පොත් එකතුව පාර්ලිමේන්තුව වෙත පිරිනැමුණු අතර මාර්ටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල වෙනුවෙන් එහි පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති මහතාද මෙම අවස්ථාවට එක්විය.

වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය පරිශීලනය කළ අයකු ලෙස තමන් එම නිර්මාණයන්ට බෙහෙවින් ඇලුම් කරනවා සේම පාසලේ 5 වැනි ශේ්‍රණිය දක්වා අධ්‍යාපනය ලද පුද්ගලයකු විශ්ව කීර්තිධර මහා ප්‍රාඥයකු බවට පත්වීමේ අසිරිමත් මාර්ටින් වික්‍රමසිංහ ජීවන චරිතයටද බෙහෙවින් ගෞරව කරන බව කථානායකවරයා මෙහිදී පැවැසීය.

'සාහිත්‍යයෙන් දුරස් වීමෙන් බිහිවන්නේ හදවතේ තෙතමනයක් නැති මිනිසෙකු බවද, වර්තමානයේ බොහෝ සමාජ ප්‍රශ්නවලට හේතුව එවන් විෂම චරිත බවද කී කථානායකවරයා මහා ගත්කරුවාණන්ගේ පොත් එකතුව පරිශීලනය කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද බොහෝ ජීවිත ආදර්ශ ලැබෙනු ඇතැයි' තමා විශ්වාස කරන බව කීවේය.

මේ අතර අතිශයින් කාර්ය බහුල වූ ගෙවී ගිය සතියේ රටේ දුර බැහැර ප්‍රදේශ කිහිපයකටම යෑමට කථානායකවරයාට සිදු විය.

තුන් කෝරලයේ සහ බුලත්ගම දෙපළාතේ අධිකරණ සංඝනායක ධුරයට පත් වටගල සුමනරතන නායක හිමියන්ට අක්තපත්‍රය කථානායකවරයා අතින් පිරිනැමුණේ යටියන්තොට වී ඔය විජයාරාමයේදීය.


අනතුරුව රුවන්වැල්ල එන්.එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී සංවිධානය වී තිබූ ජේ‍යෂ්ඨ දේශපාලන නායකයකු මෙන්ම තම සමීප දිගු කාලීන මිතුරකු වන යූ.එල්.එම්. ෆාරුක් මහතාගේ දේශපාලන දිවියට උපහාර පිදීමේ උත්සවයටද කථානායකවරයා එක් විය. මෙහිදී කථානායකවරයා පැවැසුවේ 'යූ.එල්.එම්. ෆාරුක් මහතා දේශපාලනයේදී දෑත් කිලිටි කර නොගත් මිනිසකු බවය. පිරිසුදු දෑතින් සමුගෙන යා නොහැකි නම් දේශපාලනයට පිවිසිය යුතු නැති බව කථානායකවරයා මෙහිදී කීවේය.

මේ අතර පසුගිය සතියේ කථානායකවරයා අනුරාධපුරය බලා ගියේ ශ්‍රී සාරානන්ද මහ පිරිවෙනට අනුබද්ධ හල්මිල්ලකුලම විහාරස්ථානයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාව සඳහාය.


අනතුරුව මහවිලච්චිය ඇලපත්ගම ගම්මානය වෙත ගොස් තම ඉල්ලීම පරිදි ඉන්දියානු ආධාරයෙන් ඉදිවන මාදුළුවාවේ සෝභිත නාහිමි ගම්මානයේ නිවාස 153ක ඉදි කිරීම් ව්‍යාපෘතියද නිරීක්ෂණය කිරීමද විශේෂත්වයකි.

එෆ්.සී.අයි.ඩී. ලොක්කාට වෙච්ච දේ

යහපාලන ආණ්ඩුව පැමිණි විගසම ස්ථාපනය කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස අද වන විට ක්‍රියාත්මක වනවාදැයි විටෙක සැක පහළ වේ. එයින් වැඩිම විමර්ශන ප්‍රමාණයක් කළේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පිළිබඳවය. එය ස්ථාපනය කළේම ඒ වෙනුවෙන් බව එහිදී මනාව වැටහී ගියේය. එහි කටයුතු මෙහෙය වූයේ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාය. ඔහු ඉතා ඕනෑකමින් ආණ්ඩුවේ කටයුතුවලට අවශ්‍ය සහාය ලබාදුන්නේය. ඒ නිසාම ඔහුට සන්තෝෂම් සේවා දිගුවක්ද ලැබිණි. දැන් සියල්ල සිදුවී හමාරය. ඔහු කලින් ගෙදර යෑමට සූදානම් වෙයි. යළිත් වරක් ඔහුට සේවා දිගුවක් දීම කැබිනට් මණ්ඩලයද විරුද්ධ වී තිබේ. ඔහුට එරෙහිව පවතින චෝදනා නිසා ඔහු රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වීමටද සිදුවේ.

ආණ්ඩුවේ වුවමනාවට විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් මර්දනය කළ එෆ්.සී.අයි.ඩී. ලොක්කා වෙනුවෙන් ආණ්ඩුවේ පිරිස් මුනිවත රැකීමද විශේෂත්වයකි.
හඳුන්නෙත්ති, මෛත්‍රි ඉදිරිපස තබාගෙන කළ බැඳුම්කර කතාව?

ශ්‍රී ලංකා විගණන සංගමයේ 61 වැනි සංවත්සරය පසුගිය විසිහත් වැනිදා විගණන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. ඒ අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කථානායක කරු ජයසූරිය, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න ඇතුළු විශේෂ අමුත්තන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. ජනාධිපතිවරයා සභාව ආමන්ත්‍රණය කිරීමට පෙර අවස්ථාව ලැබුණේ කෝප් කමිටු සභාපතිවරයාටය. එදින එම වෙලාව ලංකාවේ සිදුවුණු සුවිශේෂී බැඳුම්කර ගනුදෙනුවට වසර හතරක් සම්පූර්ණ වූ අවස්ථාව වීම කෝප් සභාපතිවරයාට සිය දේශනයට නිමිත්තක් විය. සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිවරයා සිය දේශනය ආරම්භ කළේ එදින පෙරවරු 11.10ටය. "මට කතාව ලැබුණු වෙලාවත්. විශේෂ වෙලාවක් මීට වසර හතරකට කලින් මේ වගේ වෙලාවක තමයි කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවුණේ. වසර හතරක් ගත වෙලත් තවම දූෂිතයන්ට දඬුවම් දීලා නැහැ. සිදුවුණු පාඩුව අයකරගන්න කටයුතු කරලා නැහැ. අපි කෝප් කමිටුවේ මේ ගැන විමර්ශනය කරලා වාර්තාවක් ඉදිරිපත් කළා.

ජනාධිපතිතුමත් කොමිසමක් දාලා වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් වාර්තා එළිදක්වනවා විතරයි. ඉදිරි ක්‍රියාමාර්ගයක් නැහැ. කමිටුවලට නීති ක්‍රියාමාර්ග ගන්න බැහැ. විධායකය තමයි ඒ දේවල් ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න ඕනෑ. රජයේ සේවකයන්ට පඩිය විතරයි ලැබෙන්නේ ඒ අය විශාල කැපවීමක් කරලා ආරක්ෂා කරලා දෙන ජනතාවගේ මුදල් දේශපාලකයෝ එකතු වෙලා හොරකම් කරනවා. ඇතැම් දේශපාලකයෝ හොරුන්ගෙන් අල්ලස් අරගෙන සැප විඳිනවා. මේ වගේ රාජ්‍ය සේවකයන් පිරිසක් ආමන්ත්‍රණය කිරීමට ලැබීම ගැන ආඩම්බරයි. නමුත් මේ වගේ දේශපාලකයන්් ගැන හිතනකොට ඉතාම කනගාටුයි." සිය කතාවේදී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. මෙම කතාවෙන් අනතුරුව ජනාධිපතිවරයා හඳුන්නෙත්තිගේ කතාවට පිළිතුරක් ලබාදුනි. "හොරු අල්ලන්න ආණ්ඩුවක් තියෙන්න එපැයි. දැන් හොරු අල්ලන ආණ්ඩුවක් නැහැ. ජනාධිපතිවරයා කියා සිටියේය.


මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාවට වසර හතරක් සම්පූර්ණ වී තිබියදී දූෂිතයන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේද පසුගිය 27 වැනිදාය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි දූෂණ විරෝධී හඬ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු දූෂිතයන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කළෝය. මේ අවස්ථාවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ද සහභාගි වූහ.

කෝප් කමිටුවට ආපු රහසිගත පුද්ගලයා

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පසුගිය කෝප් සභා වාරයට කැඳවා තිබුණේ එම කොමිසමේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීමටය. එම කොමිසමට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා වූයේ නව නිපැයුම්කරුවන්ට ලබාදිය යුතු ආධාර මුදල් ලබානොදී වෙනත් විවිධ ව්‍යාපෘති නමින් වියදම් කිරීමය. මෙවර කෝප් සභාපතිවරයා ඇතුළු නිලධාරීහු උපක්‍රමයක් යොදා කොමිසමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට සැලසුම් කළෝය. ඒ අසාධාරණයට ලක් වූ නව නිපැයුම්කරුවකු රහසිගතව ගෙන්වා තබාගෙන ඔහු ඉදිරිපිටදී කොමිසමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමය. මෙහිදී හෙළි වූයේ නව නිපැයුම්කරුවන්ට ලබා දිය යුතු මුදල් වෙනත් උත්සව සඳහා වෙන් කිරීම්, සත්‍ය නව නිපැයුම්කරුවන් වෙනුවට හිතවත් පුද්ගලයන්ට මුදල් ලබාදෙන අයුරින් ඔවුන් විදෙස් සංචාරවල රැගෙන යමින් කොමිසමේ නිලධාරීන් මුදල් අයථා පරිහරණයේ යෙදෙන බවය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදීත් විමර්ශනය කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

මෛත්‍රි පොරොන්දු වූ මිලියන 1000ත් නැහැ. රනිල් පොරොන්දු වූ මිලියන 1500ත් නැහැ....

මේ වන විට ගොවියන් විසින් වී අස්වැන්න නෙළමින් සිටින අතර වී මිල සහතික මිලට වඩා විශාල අඩු අගයක් දක්වා පහත වැටී තිබේ.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රට පුරා උද්ඝෝෂණ
ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. "කාලයක් ගොවියෝ නියඟය නිසා බැට කෑවා. තව කාලයක් සේනා දළඹුවා නිසා බැට කෑවා. දැන් අමාරුවෙන් ගෙට ගත්ත වී ටික විකුණගන්න බැරි වෙලා. ගොවි සංගමයේ ලේකම් ටී.බී. සරත් කියා සිටියේය.

"රනිලුයි මෛත්‍රියි තරගෙට කැබිනට් පේපර් දානවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පහුගිය අවුරුද්දේ ජූලි මාසේ තමයි රනිල් කැබිනට් පේපර් එක දාන්නේ වී මෝල් හිමියන්ට සහන දෙන්න කියලා. ඒක අගෝස්තු මාසේ සම්මත කරගෙන රුපියල් මිලියන 1500ක් වෙන් කළා වී මෝල් හිමියන්ට සහන පොලියට ණය දෙන්න කියලා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. පස්සේ මීට මාසෙකට පමණ කලින් මෛත්‍රිත් අඬබෙර ගහලා මීඩියාවලට කියලා වී මෝල් හිමියන්ට සහන දෙන්න කියලා රුපියල් මිලියන 1000ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න කියලා උපදෙස් දුන්නා.

නමුත් එකක්වත් ක්‍රියාත්මක නැහැ. ඒ මුදල්වලට මොකද වෙන්නේ දැන් ගොවියෝ රුපියල් 28,29 ගාණෙ වී විකුණනවා. හැම පැත්තෙන්ම ගොවියෝ බැට කනවා. ආණ්ඩුවට පම්පෝරි ගහනවා." නාමල් කරුණාරත්න තත්ත්වය පැහැදිලි කළේය. "කුඩා වී මෝල් හිමියෝ අසරණ වෙලා වී ගන්න මුදල් නැතිව, සමහර වී මෝල් වැහිලා යනවා. මහ පරිමාණ වී මෝල් හිමියෝ දැන් සද්දයක් නැතිව ඉන්නවා. වී ගන්න මැදිහත් වෙන්නේ නැහැ. ඒ අය දන්නවා තව ටික කාලයක් ඇද්දාම ගොවියෝ අසරණ වෙනවා කියලා. එතකොට තුට්ටු දෙකට වී ටික ගන්න පුළුවන්. මේකට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් සංවිධානය කරමු." සෑම ගොවි දිස්ත්‍රික්කයකම ගොවියෝ දැනුවත් කරලා උද්ඝෝෂණ සංවිධානය කරමු" ­­­ ලාල්කාන්ත යෝජනා කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon