කොතලෙ නොදුටු මොක්පුරේ

  👤  3020 readers have read this article !
2019-03-01

"එක්සත් ජාතික පක්ෂය උපන් ගෙයිම ධනවාදී පක්ෂයක්" යැයි හංවඩු ගැසුවේ මෙරට වාමාංශික දේශපාලනඥයෝය. එසේ ලේබල් ගැසීමෙන් ඔවුන් අපේක්ෂා කළේ "ධනපතියන්ට පොදු ජනතාවගේ දුක තේරෙන්නෙ නෑ උන් වැඩ කරන්නෙ උන්ගෙම පන්තිය වෙනුවෙනුයි" ඒ නිසා කම්කරු පන්තියේ ආඥාදායකත්වයක් ඇති ආණ්ඩුවක් බිහි කිරීමට යූඑන්පී විරෝධී පෙරමුණකට එන්න ඕනෑ. එහෙම නැතිනම් කම්කරු පන්තියට අනාගතයක් නෑ." කියලාය. ඒ නිසාම උපන්ගෙයි පටන්ම එජාපයට ගැසූ මේ ලේබලයේ අවාසිය එම පක්ෂයට මේ තාක් වධදෙන්නක්ව ඇත.

ඊටත් එහා ගිහින් එජාපයේ සිටි බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවද හදන්නට දායක වී එහි උප සභාපතිවරයකුද වී, ඩී.එස්. ගෙන් පසු තමන්ට නායකත්වය නොලැබේවිය යන සිතිවිල්ල නිසා එජාපය හැර වෙනත් ගමනක් යන්නට තීන්දු කළේ තවත් පෙරැළියක් ඇති කරමිනි. ඒ අනුව එජාපයේ සිටි බණ්ඩාරනායක හිටි ගමන් සිංහල බෞද්ධයකු වූ අතර සිංහල බෞද්ධ පදනම රකින එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි වෙනම දේශපාලන බලවේගයක් මුවහත් කළේය.

බණ්ඩාරනායක ජාතිවාදී කෝණයකින් සිංහලයන් අතර ජනප්‍රිය වන්නට තීන්දු කළේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බවට පැය විසිහතරක සහතිකයක් දෙමින් සිංහල බෞද්ධයන්ගේ කර මතිනි.
"ඇත්ත නේන්නම් යූඑන්පිය ධනපති වගේම සිංහල බෞද්ධ පදනමක් නැති පරගැති පක්ෂයක්. බණ්ඩාරනායක මහත්තයා නොහිටින්න සිංහල බෞද්ධ අපි ඉවරෙටම ඉවර වෙන්න තිබුණා." යැයි සිංහලයන් සිතන තරමට සමාජය කණපිට හැරුණේය.

එම ජන බලවේග කුල්මත් කිරීමෙන් ඇතිවූ යහපතක් ඇතැයි කියුවද ඒ නිසාම ඇතිවූ අතුරු ප්‍රතිඵල නිසා රට වාර්ගික ගැටුමක් දක්වා දිවයන බව එදා සිටි එජාප නායකයන්ට රහ ඇතිව ජනතාවට ඒත්තු ගන්වන්නට හැකිවූයේ නැත. එය වාසියක් කරගත් ශ්‍රී ලනිපය, මහජන එක්සත් පෙරමුණ සහ වාමාංශික පක්ෂද සමාජවාදය මොහොතකට පැත්තකින් තබා යූඑන්පීයට තඩිබාන්නට පටන් ගත්තේය.
"සිංහලයන්ටත් බෞද්ධයන්ටත් එරෙහි වන, රටක් ජාතියක් ගැන හිතන්නෙ නැති යූඑන්පියෙන් වැඩක් නෑ. අපි තමයි පිරිසුදු සිංහල බෞද්ධ ජනතාවගේ හදගැස්ම දන්නා පක්ෂය" යැයි ශ්‍රී ලනිපයේ නායක කාරකාදීන්ට ගමක් පාසා ගොස් කියන්නට පුළුවන් වුණේය. නමුත් එදත් අදත් මේ සිංහල බෞද්ධ ඡන්දවලට ආදරණීයව අමතා ඇත්ත යුක්තිය පහදා දී ඔවුන් දිනා ගන්නට උත්සුක වීම අතින් යූඑන්පීයේ උපන් ගෙයි පටන්ම විශාල අඩුවක් පැවැතියේය.

ඩී.එස්.ට එරෙහිව මහා සිංහල බෞද්ධ විරෝධී චෝදනාවක් එල්ල කරන්නට බැරි වූයේ ඔහුගේ ස්වභාවයෙන්ම වාගේම ක්‍රියාවෙන්ද ඊට සාර්ථක උදාහරණ විරුද්ධවාදීන්ට සොයාගත නොහැකි වූ නිසාය. එහෙත් සර් ජෝන්ට නම් මදි නොකියන්න එළව එළවා පහර දුන්නේය. ඊට හේතුව නම් සර් ජෝන්, ඩී.එස්., ඩඩ්ලි වගේ නොව කෙළින් කතා කළ නිසාත් සත්‍යය සෘජුව තදින් කියා පාන්නටත් ගිය නිසාය. එසේ වුණත් සර් ජෝන්ද සිංහල බෞද්ධ පදනමට එරෙහිව බෞද්ධ විරෝධී වූයේ නැත. සිංහල විරෝධී වූයේ නැත. ඩී.එස්., ඩඩ්ලි මෙන්ම රෙද්ද බැනියම ඇඳගෙන ගිහින් බොරු උපාසකකම් පෙන්වා ආරිය සිංහල කතා කියන්නට ගියේ නැත.

ඒ වෙනුවට සිංහල බෞද්ධයන්ගේ පපුවට වදින ගෞරවයට පාත්‍ර වන වැඩ කළේය. සර් ජෝන් ශාසන ඉතිහාසයේ වැදගත් මෙහෙවරක් ඉටු කරමින් ත්‍රිපිටකය සිංහල බසට නැඟීමට මූලිකත්වය ගත්තේය. 2500 බුද්ධ ජයන්තියට සමගාමීව දෙවන පෑතිස් රජතුමාගේ කාලයේ පටන් පාලි භාෂාවෙන් තිබුණු ත්‍රිපිටකය සිංහල භාෂාවට හැරවිය යුතු බව සර් ජෝන්ට පැවසුවේ වැලිවිට සෝරත නායක හිමියෝ මෙන්ම මාලේවන නායක හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසකි. එය සර් ජෝන් බොහෝ කැමැත්තෙන් ඉටු කළේ වුවත් ඔහුට එරෙහිව මාර සේනාවක් මෙන් විරුද්ධවාදීහු බැට දුන්නේ නොනවත්වාමය.

එපමණක් නොව සර් ජෝන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීමත් ධර්ම දානමය කටයුත්තක් ඉටු කළේ වුව ඒවා ඒ හැටි උලුප්පා දැක්වූයේ නැත. රට පුරා වෙහෙර විහාරස්ථානවල මෙම කටයුතු සාර්ථකව ඉටුකෙරුණේ ඉන්පසුව වුවත් එහි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔහු බෞද්ධයන් අතරට ගොස් හිත දිනා ගන්නා තාලේ කතා කියන්නට ගියේ නැත. ඔහු බුදුදහම කෙලෙසන ඇතැම් භික්ෂුන් වහන්සේට තදින් විරුද්ධ වූ අතර ඒ ගැන තදින් කතා කළේ අවංකවමය.

එහෙත් ශ්‍රී ලනිපය ඇතුළු විරුද්ධ බලවේග මතු කළේම සර් ජෝන් බෞද්ධ විරෝධියකු හා යක්ෂයකු තරමටය. ඔහු 56 පෙරළිය පෙරළියක් ලෙස නොව කුමන්ත්‍රණයක් ලෙස දුටුවේය. සිංහලයන්ගේ හා බෞද්ධයන්ගේ හැඟීම් අවුස්සා ජාතිවාදයෙන් විනාශ වන රටකට ඇදගෙන ගිය මහා කුමන්ත්‍රණයක් ලෙස දැක්වූයේය. ඒ සර් ජෝන් ඒ ගැන පුවත්පත් සාකච්ඡාවකදී පළ කළේ මෙවන් අදහසක්ය.
"ඒක පෙරළියක් නෙවෙයි. ලොකු කුමන්ත්‍රණයක්. ත්‍රිපිටකය සිංහල භාෂාවට නැඟීම සිංහල රජ කෙනකුවත් නොකරපු දෙයක්. මම ඒක කළා. මම මේකට මුල්වෙලා කටයුතු කිරීම සිවුරු පොරවාගත් පොට්ටනිකාර නඩයට ඉවසන්න බැරි වුණා. මේකෙ මූලිකයා බුද්ධරක්ඛිත. එයා එක්සත් භික්ෂු පෙරමුණ පිහිටුවලා මාව පරාජය කරන්න ගතහැකි සෑම පියවරක්ම ගත්තා. මම උපතින්ම බෞද්ධයෙක්. බුදු දහමට මුල්තැන දෙන කෙනෙක්. නමුත් මේ අය රටපුරා ප්‍රචාරය කළේ මම කතෝලික පල්ලිය කියන විදියට කියලා. "බුද්ධාගම බේරා ගනිමු යූඑන්පිය පරාජය කරමු" තේමා පාඨ ආවෙත් මේ පොට්ටනිකාරයන් අතරිනුයි."

සර් ජෝන් එසේ කීවේ බොහෝ හිත රිදී ගිය ස්වභාවයෙනි. උපතින්ම ක්‍රිස්තියානි කෙනකු වූ බණ්ඩාරනායකව ඉදිරියට තල්ලු කරමින් සිවුරු පොරවා ගත්තේ යැයි කියූ පොට්ටනිකාර නඩය කළ දේ සර් ජෝන් පපුවට අත්දෙකෙන් ගහගෙන රහට, තේරෙන්නට, රට පුරා කියාගෙන ගියේ නැත. නමුත් ඔහු මෙසේ කීවේය. "බණ්ඩා වගේ උපතින්ම ක්‍රිස්තියානි කෙනෙක්ව මේ අය වේදිකාවට ගෙනාවේ සිංහල බෞද්ධ කතාවක් කියාගෙන ඡන්ද ගරන්න ඕනෑ නිසයි. හැබැයි ඒකට විරුද්ධව කතා කරන්න මගේ වේදිකාවට නඟින්නත් භික්ෂුන් වහන්සේලා සූදානම් වුණා. මම එපා කිව්වා. සංඝභේදය ඇති කරන්න මම කැමැති වුණේ නෑ."

සර් ජෝන් එහෙම කෙළින් මිනිසකු බව පෙනුණත් බණ්ඩාරනායක වටා සිටි බලවේග ජෝන් පෙරළාගෙන, මරාගෙන කන්නට තරම් සාහසික වූහ. එහෙත් සර් ජෝන් ඇත්තම කියූ අතර බණ්ඩාගේ නඩය මෙන් වෙනස් කතා කීවේ නැත. මේ සර් ජෝන්ගේ හද ගැස්මෙන් බිඳකි.

"බණ්ඩා පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු වුණා. මේ වෙලාවෙ රට අවුල් කරන්න මම කැමැති වුණේ නෑ. මම කිව්වේ සිංහල දෙමළ දෙකම රාජ්‍ය භාෂා කළ යුතුයි කියලයි. බණ්ඩත් කලින් හිටියේ මේ ස්ථාවරයේම තමයි. එයා දේශපාලන වාසි තකා ඉක්මනින් රටේ නායකයා වෙන්න හිතාගෙන තමයි අර පොරොන්දුව දුන්නෙ. බණ්ඩා 1931 ඉඳලා මගේ හොඳ මිත්‍රයෙක්. හොඳ මනුස්සයෙක්. නමුත් අන්තිමේදී මේ වැඩෙන් එයා අමාරුවෙ වැටුණා."

සර් ජෝන් තමන්ට තදින් බැට දෙන දේශපාලන ව්‍යාපාරයේ නායකයට පවා කැත විදියට, නින්දා සහගත විදියට බනින්න ගියේ නැතිව තම මතය නිවැරැදිව කීවේ එහෙමය. මේ නිසා සර් ජෝන්ටත්, ඇත්ත කතා කරන්න ගිහින් එජාපයටත් පරාජය වන්නට සිදු වූයේය. ආසන 8ට බැස්සේය. ඒ අනුව මහජන එක්සත් පෙරමුණ, සිංහල භාෂා පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විප්ලවකාරී සම සමාජ පක්ෂය එකතු වී එක්සත් ජාතික පක්ෂය පොළොවේ ගැසුවේ එහෙමය. නමුත් මේ සියල්ලෝම එක්වී ආසන 51ක් දිනාගෙන එජාපය පරාජය කළත් ඡන්ද ප්‍රතිශතය මහජන එක්සත් පෙරමුණට 39.52%ක් වෙද්දී පැරදුණු එජාපයට ආසන අටක් පමණක් තිබියදීත් ඡන්ද ප්‍රතිශතය 27.91%ක් වූයේය.

මෙම ජාතිකවාදී ආගම්වාදී ඇවිස්සීමෙන් රටට සිදුවන මහත් ව්‍යසනයන් ගැන එජාපයට අවබෝධයක් තිබුණු නිසාම සර් ජෝන්ලා පවා ඒවා අවුළුවන්නේ නැතිව පස්ස ගැසුවේය. එහෙත් එජාපයද සද්ද බද්දයක් නැතිව සිංහල බෞද්ධයන් නියෝජනය කළේය. එම ප්‍රජාවගේද හිත සුව පිණිස කටයුතු කළේ මෙරට මහ ජාතිය සිංහලයන් වූ නිසාය.

සර් ජෝන්ට අනුව ඔහුට අනාගතය පෙනුණු ආකාරයට අනාගතයේදී සම්බුද්ධ ශාසනයට මේ ඊනියා පොට්ටනිකාරයන්ගෙන් වන විපත ගැන දැක්මක් තිබුණු බවක් පළකර තිබුණේය. එය සර් ජෝන්ගේම වචනවලින් මෙසේය.

"අපේ මහ පිරිවෙන් දෙක යුනිවසිටි කිරීමෙන් සාම්ප්‍රදායික භික්ෂු අධ්‍යාපනය සහමුලින්ම විනාශ වුණා. භික්ෂුන් වහන්සේලා ගිහියන් සඳහා වූ වෘත්තීය අධ්‍යාපන ක්‍රමයකට යොමු කළා. දහම් අධ්‍යාපනය විනාශ කරලා ශාසනික ව්‍යසනයක් ඇති කළා. ගිහියන් ගැහැනු පිරිමි පැවිද්දන් එකට අධ්‍යාපනයේ යෙදීමෙන් පැවිදි පක්ෂයේ තිබූ පූජනීය, වන්දනීය ආකල්පය දියාරු වෙලා ගියා. ඒ මදිවාට සංඝරත්නය දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වුණා. කෙටියෙන් කියනවා නම් දැන් අපේ සාමණේර හිමිවරු විශ්වවිද්‍යාලය ඇතුළෙදි මචං ලා වෙලා. භික්ෂුන් වහන්සේලාගේ ගෞරවනීයභාවය අඩුවීමත් එක්කම පැවිදි වත්පිළිවෙත්ද අඩුවීගෙන යනවා. අනාගතයේදී ධර්මධර, විනයධර, සිල්වත්, ගුණවත්, භික්ෂුන් වහන්සේලා මේ හේතු කාරණා නිසා නැත්තටම නැතිවේවි. ධර්මය වනාන්තර ගතවේවි. දේශපාලන හාමුදුරුවරු බිහිවේවි."

සර් ජෝන්ගේ එදා දැක්ම අද කොයිතරම් සත්‍යයක්ව තිබේදැයි කාට කාටත් හිතට එකඟව හිතට තට්ටු කර විමසිය හැකිය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට වැදුණු ධනවාදී ලේබලය අද එම පක්ෂයට ගහන්නට වෙර වීරිය දැරූ අයම තමන් විසින්ම ගසාගෙන ඇත. ඒ වෙනුවට එම විරුද්ධ බලවේගම එදාටත් වඩා ජාතිවාදී කුප්ප කතා කියමින් තව තවත් ජාතිවාදය අවුළුවාලමින් ඡන්ද ඩැහැගන්නට බරපතළ මෙහෙයුමකය. එදා බණ්ඩා වටා සිටි බලවේගවලටත් වඩා සාහසික ලෙස ජාතිවාදය අවුස්සන උත්සාහයකය.

කවුරු මොන ලේබලය කාට ගැසුවත් එජාපයට උරුම ශෛලියට හා ක්‍රමයට අනුව සියලු නායකයන් ගිය මඟ යමින් ලාංකික අනන්‍යතාව ශක්තිමත් කරන, "එක්සත් ජාතියක්" ගැන විනා ජාතිවාදී ජාතියක් ගැන කල්පනා කරන්නට බැරිය. එනිසා කොතලාවලට එදා ඇත්ත කතා කරන්නට යෑම නිසා පරාජයට පත් වූවත් එසේ නොවී ලාංකිකයන් හැටියට රට පෙරට ගෙන යන්නට රනිල්ලාට යහපත් දැක්මක් තිබෙන්නට ඕනෑය. එහෙත් ඒ දැක්ම ජනගත කරන්නට, රහට කියා දෙන්නට අලුත් වැඩපිළිවෙළක්ද ඕනෑය. ඒක කොතලාවල ක්‍රමයද ජේ.ආර්. ක්‍රමයද ප්‍රේමදාස ක්‍රමයද සංකලනය වූ එකක් යැයි තීරණය කළ යුත්තේද රනිල්මය.

සජිත් රෝහිත ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon