සසරෙදි වෙන්වෙලා යළිත් හමුවන ආදරවන්තයෝ

  👤  2714 readers have read this article !
2019-03-03

ඔබ මහත් ආදරයෙන් බැඳී ගිහින් යුග දිවිය ඇරැඹූ කෙනෙක් වෙන්න ඇති. ඔබ ඇය දුටු මොහොතේ සිතේ ඇති වූ ආකර්ෂණය මහත් ඇල්මක් ඇති කළ දෙයක් දක්වා දුර දිග ගිය හේතුව ගැන ඔබ වරෙක සිතා බලන්නත් ඇති. "මොන තරම් ලස්සන අය දැකලා තිබුණත් එයා දැක්ක ගමන් මගේ හිතේ මේ තරම් කැලඹීමක් ඇති වුණේ කොහොමද?" කියලා ඔබ සිතා බලන්නත් ඇති. ඒත් ඒ හැඟීම ගැන ගොඩාක් අවංක හැඟීමෙන් ඔබ සිතා බැලුවොත් ඔබට සිතේවි "මම මෙයාට මීට ඉස්සරත් කොහේදී හරි ඇල්මකින් ආදරේකින් ඉන්න ඇති" කියලා. නමුත් එහෙම හිතුණට ඒ කොහේදි ද? කවද ද? මොන ආත්මෙකදී ද? කියලා කියන්න තරම් දියුණු කරගත් අධි මානසිකත්වයක් ඔබට නැති නිසා එය සිතිවිල්ලක්ම පමණක් වේවි.

කෙනෙක් දැඩි ඇල්මකින් ආදරේකින් ඔහු හෝ ඇය සමඟ කල දවස ගෙවා දැම්මොත් ඒ තුළ රැඳෙන ප්‍රබල මානසිකත්වය හරිම බලවත්. ජීවිතේ ඇතිතුරු ඔහු හෝ ඇය ළඟින් ඇසුරු කළ සොඳුරු බව ළබැඳි බව හා දයාබරත්වය ප්‍රබල චිත්ත වේගයක් වෙනවා. ඔහුගේ හෝ ඇයගේ රුචි අරුචිකම් ගති ස්වභාවයන් ළබැඳිකම් ගැන අවබෝධයක් ලබන්න හැකිවෙනවා. මේ වාගේ එකට එකතු වෙච්ච දෙදෙනකුගේ භව පුරුද්ද ඊට ආත්ම ගණනාවකට පෙරාතුව ඉඳන් සිතිවිලි ධාරාවන් අනුව පැවත ආ දෙයක් වෙන්නත් පුළුවන්.

කොයි ආත්ම භවයේ ඉඳලද අපි හමුවන්න පටන් ගත්තේ කියන කාරණය දැනගන්න තරම් චිත්ත බලයක් අප උපදවාගෙන නැති නිසා අපි කාටත් ඒ තොරතුරු දැනගන්න දැනට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
නමුත් එක දෙයක් පැහැදිලියි. කොයි ආත්මභවයේ සිට පාරමිතා පුරාගෙන හමුවෙනවා යැයි කීවත් ඉන්පසු උපදින භවයන් තුළදී පාරමිතාවේ බලයත් අපේ අධිෂ්ඨානයේ බලයත් අනුව බොහෝදුරට නැවත නැවතත් අප වෙනත් ආත්ම භවයන්වලදීත් යළි යළිත් උපදින්න පුළුවන් බව බෞද්ධ ඉගැන්වීම් අනුව පැහැදිලි කෙරෙනවා. එහිදී අප ආදරය කළ තැනැත්තියම අපට හමුවෙන්නත් පුළුවන්.

යම් පුද්ගලයෙක් පිළිබඳව එක ජාතියකදී ඇති වූ ආදරය එයින් පසුව ඒ ජාතියෙදීත් ඇතිවන්නට පුළුවන්. සමහර විට එම ආත්මයේදී මරණයට පත්වන විටත් ආදරය සිත් දරාගෙන සිටියත් දෙවැනි ආත්ම භවයේදී ඔහුට ඇය හමුනොවන්නටත් පුළුවන්. මේ විදියට ආත්ම ගණනාවක් පුරා හමුනොවී සිටියොත් අර මුලින් සිත් හි දරා තිබූ සිතිවිලි හා හුරු පුරුදුකම් ඉබේම දුර්වල වී යන්නට පුළුවන් බව පැහැදිලි කෙරෙනවා.

අපි හිතමු ඇමෙරිකානුවන් දෙදෙනකු දැඩි ආදරයෙන් බැඳී සිට මියගිහින් දෙදෙනාගෙන් පිරිමියා ජපානයේ ඉපදී ගැහැනිය අප්‍රිකානු නොදියුණු රටක උපන්නා කියලා. එහිදී දෙදෙනාට දෙදෙනා හමු නොවීම ඉන්නත් පුළුවන්. තවත් පැත්තකින් බැලුවොත් දෙදෙනාගෙන් කෙනකු පමණක් මරණින් මතු මිනිස් උපතක් ලබන අනෙක් තැතැත්තා මිනිස් උපතක් නොලබා කලක් ගතවී උපන්නොත් අර මුල් තැනැත්තා හමු නොවන්න පුළුවන්. මුල් තැනැත්තා ඉපදී හැදී වැඩී මැරුණට පස්සේ දෙවැනි තැනැත්තා හෝ තැනැත්තිය මිනිස් උපතක් ලැබීම ඊට හේතුවයි.

මේ විදියට ප්‍රබලව සිතට කාවැදී ගිය ආදරයක් සහිත දෙදෙනක් නැවත නැවතත් එම ආදරයෙන්ම වෙනත් ආත්ම භවයන්වල ඉපදීමේ අවස්ථාවන් මඟහැරීයෑමේ ප්‍රවණතාවක්ද පවතින බව පෙනෙනවා. එය බොහෝ දුරට දෙදෙනාගේ පැවැත්ම හා ක්‍රියා කලාපයන් මත කර්මානුරූපීව ඇති විය හැකි පල විපාක ලැබෙන දෙයක් බව තවදුරටත් තහවුරු කෙරෙනවා.

ආදරෙන් බැඳී ගිය දෙදෙනකු විවාහ වුණාට පස්සේ ඊටත් වඩා දැඩි බැඳීමකින් යුතුව තවත් යුවතියක හා බැඳෙන්නත් එම යුවතියටත් තමන් කලින් ආදරය කළ බිරියටත් එක සේ ඇල්මක් දක්වන්නටත් වන අවස්ථා අපට දකින්න පුළුවන්. මෙතැනදී ඉස්මතු වූයේ ආදරය පමණක් ම නොව ආශාව මුල්කරගත් ඇල්මක් නම් එය පෙර භවයන්ගෙන්ම ආ පුරුද්දක්. චිත්ත බලවේගයක් මුල් කරගත් සැබෑවක් නොවන්න පුළුවන්. (මෙබඳු තැන් අලුත් ආරම්භයක් සේද ගත හැකියි)

මිල මුදල් අත ගැවසෙන නිසා සැබෑ ඇල්මකට වඩා මවාගත් සිතැඟිවලට වැටෙන මානසික තත්ත්වය මීට අයත් වන්නේ නැහැ. එය සංසාර පුරුද්ද, භව පුරුද්ද නිසා හටගත්තා යැයි බොරු හේතුවක් දක්වන්නත් බැහැ. එහි ඇත්තේ මේ ආත්මයේදී ඇතිවුණු ක්ෂණික ආත්මාර්ථයක් පමණයි. (ඒ තුළින් අලුත් ආරම්භය වැඩි දියුණුවන්නට ඉඩකඩ තිබේ)

මින් එහාට සිත යොමු කරතොත් " අපේ දූ දරුවන්, අපේ ළබැඳියන් ආයෙත් හමුවේවිද?" කියා ඔබ කල්පනා කරාවි. ඊට කෙටි පිළිතුර නම් හමුවේවිය යන්නයි. නමුත් ඊටත් වඩා සැබෑ වන සත්‍යයක් ද මෙහි තිබෙන බව කියැවෙනවා. එනම් අද අපේ දරුවෙක් ඊළඟ ආත්මයේ හමු වී ඉන්නත් පුළුවන්. සමහර අවස්ථාවල මියගිය මව හෝ පියා තමන්ගේම පුතකුගේ දුවකුගේ කුසෙහි නැවත පිළිසිඳගන්නත් පුළුවන්. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව එය එසේ සිදු වූ බවට උදාහරණ සහිතව දැක්විය හැකි කතා රැසක් බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වෙනවා.

නමුත් සැබෑවටම විශ්වාස කෙරෙන තත්ත්වයක් ඇතිවන්නේ අප ද විශ්වාසය කළ හැකි තත්ත්වයන් තුළ කරුණු ඉදිරිපත් වීමකින් පමණක් නිසා වර්තමාන පර්යේෂණවල උදාහරණ දෙස මිනිසා මහත් උනන්දුවෙන් හා ඉවසිලිමත් විචාරයෙන් යුතුව බලා සිටිනවා. අපේ පෙරදිග සමාජයේ පවා ඇතැමුන් සැකයෙන් පිළිකෙව් කරන මෙවන් අතීත කතාවන් ගැන අඩු සැලකිල්ලක් දක්වද්දී බටහිර විද්වතුන් පර්යේෂකයන් මේ ගැන මහත් උනන්දුවෙන් ක්‍රියා කරනවා.

අපි ඹ්ඪටඥ ඕඥබඹඥඥද ඹ්ඪටඥ නමැති කෘතියෙන් සඳහන් පර්යේෂණයක් මඟින් පැහැදිලි කරගත් සිදුවීමක් විමසා බලමු. මෙවැනි දේ ගැන සොයා බලා සත්‍යය ගවේෂණයක යෙදෙන්නන්ට මෙයත් හොඳ උදාහරණයක්. පී.එච්.ඩී. උපාධිය සඳහා පර්යේෂණයක යෙදී සිටින කාලයේ කැලිෆෝනියාවේ විසූ ගැරී පෙනිංටන් නමැති නෛතික මනෝ විද්‍යාඥයාගේ ප්‍රකට සිදුවීමක් තමයි මේ. උපාධියට පර්යේෂණ කටයුතුවල යෙදී සිටිය කාලේ ඔහුට එළිසබෙත් කියන තැනැත්තිය හමුවුණා. කෙටි ඇසුරකින් දෙදෙනා ආදරෙන් බැඳුණා. විවාහ වුණා. විවාහයෙන් පසුව වුණත් දෙදෙනා තදින්ම ආදරයෙන් බැඳීගිය දෙදෙනකු බවට පත් වුණා. එය කොයි තරම් තදබල බැඳීමක් ද කියනවා නම් සෙසු අයට මේ දෙදෙනා ගැන ඊර්ෂ්‍යා ඇති කරවන තත්ත්වයක් ද මතු වී තිබුණා. මේ දෙදෙනා මෙහෙම ආදරෙන් කල්ගත කරන අතර වාරයේදී ගැරීට සාදයකදී කැරොලයින් කියන කාන්තාව මුණ ගැහුණා? මෙහි විශේෂත්වය වුණේ දුටු පමණින්ම දෙදෙනා මහත් වූ අකාර්ෂණීය හැඟීමකින් බැඳී ප්‍රේමයෙන් වෙළීමයි.

මේ වෙනස ගැරීටද ප්‍රශ්නයක් වුණා. තමන් කොයිතරම් තම බිරියට ආදරෙන් සිටියත් මේ තරම් සිත් කා වදින තත්ත්වයක් ඇති වීම ප්‍රශ්නයක් වූ නිසාම ඔහු අවංකව ඒ ගැන තම බිරියට කියා සිටියා. මේ කතාව අහල බිරියට වාවාගත නොහැකි කම්පනයක් ඇති කළා. ඇය නිදි පෙති ගිල දමා දිවි තොර කරගන්න කටයුතු කළා. කෙසේ හෝ තම බිරිය ඉන් සුව කරගෙන ගැරී ආයෙමත් කැරොලයින් හමුවන්නේ නැතිව කල්ගත කළා. එවර ක්‍රියාත්මක වුණේ කැරොලයිනුයි. ගැරී තමාව අමතක කොට ඇති බව සිතා ගෙදර බාල්කයේ එල්ලී මිය යන්නට ඇය තැත් කරුනු ලැබුවා. ඒ මොහොතේ එය දුටු ඇගේ සොහොයුරෙක් එල්ලෙන්නට නොදී බේරාගෙන තිබුණා. දැන් හරිම ප්‍රශ්නයක්. තම බිරියට ආදරය කරන පෙම්වතියටත් ඒ හා බැඳී ගිය ගැරීට ප්‍රශ්නයක්. ඔහුගේ මේ පෙම්වතියත් ඔහුට පණ වාගේ ආදරෙයි.

ගැරී මනෝ විද්‍යාඥයෙක් වුණත් ඔහුටත් මේක සොයා ගන්න බැරි තරම් ප්‍රශ්නයක් වුණා. වෙනත් මනෝ විද්‍යාඥයන් වෙත ගියත් පිළිසරණක් ලැබුණේ නැහැ. හේතුව හොයාගන්න ලැබුණේ නැහැ. අන්තිමේදී 1984 දී ජෝ එල්. විටන් නමැති මනෝ විද්‍යඥයාට ගැරී කිව්වා තමන්ව මෝහනයට පත් කරලා අතීත ජාති ගැන විමසන්න කියලා. මෙතැනදී උගත් මෝරා ගිය කෙනකු සැබැවින්ම මෝහනයට පත් කිරීමෙන් ලබා ගත හැකි තොරතුරු ගැන මහත් අසීරුවකට පත්වන්නට එම මනෝ විද්‍යාඥයාට සිදුවුණා. තුන් මාසයකටත් අධික කාලයක් ගැරීව මෝහනයට පත් කරලා හොයාගත්ත තොරතුරු අනුව සෙසු අයත් මෝහනයට පත් කෙරුණා. ඉන් පස්සෙයි සැබෑ කතා ප්‍රවෘත්තිය කලඑළි දැක්කේ. පර්යේෂණය සාර්ථක වුණේ.

ගැරී කියූ තොරතුරු අනුව ඔහු ඊට පෙර ආත්මයේදී 1944දී දෙවැනි ලෝක යුද සමයේ ඇමෙරිකානු ගුවන් නියමුවෙක්. මිත්‍ර පාක්ෂික හමුදා ඉතාලියට ගොඩබස්වද්දී ඔහු එහි සිටියා. ඉතාලියේ මුසෝලිනීගේ පාලනයට විරුද්ධව එහි ජනතාව පෙළ ගැසී සිටියා. එම අය මිත්‍ර පාක්ෂිකයන්ට සහාය දැක්වූවා. රාජ්‍ය විරෝධී එම සංවිධානයේ ඉලිනා ඔහුට පෙම් බැන්දා. යුද්ධය අවසන් වූ වහාම ඉලිනා විවාහ කරගෙන ඇමෙරිකාවට යන්න ඔහු සිතා සිටියා. දිනක් නට්සි හමුදාවල ඔත්තු බලන්න කුඩා ගුවන් යානයකින් ගමන් කරමින් සිටි ඔහු සතුරු ප්‍රහාරයකින් මියගියා. එම පුවත අසා ඉලිනා ද දිවි තොරකර ගත්තා.

අතීත තොරතුරු අනුව අද ගැරීගේ අනියම් බිරිය වී ඇත්තේ එම ඉලීනායි. මෙහිදී ඇය ඉපදී ඔහු මුණ ගැසෙනා විටකදී ඔහු නීත්‍යනුකූල විවාහකයෙක් වෙලා. එවර අනියමින් හෝ ඔවුන් එකතු වුණේ අතීත හුරුපුරුදුකම් නිසාවෙනුයි. ජීවිතය තොර කරගත් නිසා මෙවරද එයම සිදුවන්නට කරුණු යෙදී තිබුණා.

මෙහි ඇති වැදගත්කම වන්නේ මේ ස්ත්‍රීන් දෙදෙනාම මෝහනයට පත් කළාම ඉන් ගැරීගේ බිරිය කියුවේ පෙර ජාති කිහිපයකදී ගැරීගේ අත පතා අනියම් බිරියක් වශයෙන්ද සිටිමින් ඔහු පතාගෙන ඇය ආ බවයි. එය මල් පල ගත් මුල්ම ආත්මය මේ ආත්මය බවයි.

දැඩි වෙහෙසක් අරන් මෙවන් පර්යේෂණ රැසක් මඟින් බටහිර ලෝකය තුළ මහත් කැලඹීමක් ඇති කළ පෙර ආත්මයන් හි තොරතුරු කලඑළි දැක්කා. ඔවුන් ඒ ඔස්සේ පෙරදිග ආගම්වල කියැවෙන තොරතුරු මහත් ඉවසීමෙන් විමසා බැලුවා. නමුත් පිළිගත හැකි බව පිළිනොගෙන සිටියත් බෞද්ධ ඉගැන්වීම් අතර එන තොරතුරු පිළිබඳව ඔවුන් පුදුමයට පත්වෙමින් සිටින්නේ අද ඔවුන් හොයාගන්නා තොරතුරු බුදුන් දැක්කේ ඊට හුඟාක් ඉස්සර වීම නිසයි.

කරුණු කොහොම වුණත් අවංකව අප පැතුමක් පතාගෙන පාරමිතාවක් පුරනවා නම් ඒ වෙනුවෙන් යහපත් ලෙස කැප වී ජීවත් වනවා නම් උපදින මතු ආත්ම භාවයකදී ආදරෙන් එක්වන්න බැරිවෙන්නෙ නැහැ. හැබැයි කර්මානුරූපව හේතුඵල ධර්මතාවන්ට යටත්ව එය සසරේ කොතැනකදී කෙසේ වේ දැයි තීරණය වන්නේ ප්‍රාර්ථනාවේ ඇති අවංක හා උතුම් බවත් ඒ වෙනුවෙන් කරන කියන දෑ හි ඇති පිවිතුරු බවත් අනුව බව පැහැදිලි වෙනවා. ඔබටත් මෙවන් අවස්ථාවක් ඇත්නම් අවංක වෙන්න හොඳ අවස්ථාවක් ගැන දැන් දන්නවානේ?

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon