ලංකා පුරයේ සුමාලි රජු බලසෙන් පිරිවරා භාරත දේශයට කඩා වදී

  👤  2683 readers have read this article !
2019-03-03

රාවණ රජුගේ මව 'කෛකසී' කුමරියය. ඇය උපතේ සිටම වීර්යවන්ත ගතිගුණ පළ කළාය. සිය පියා වූ සුමාලිගේ පසුබිම ඊට බලපෑවා වන්නට පුළුවන. වීර්යවන්ත දියණියකගේ සිතිවිලි අනුව ඇයට වීර්යවන්ත පුතකු බිහිවීම අරුමයක්ද නොවේ. කෙසේ වෙතත් සීතල කඳු වළලු අතර බිහි වූ මහතලාව අද මාතලේ ආශ්‍රිතව බිහි වූ ලංකාපුරය කෛකසි කුමරියට නැඟී සිටින්නට මහා උපකාරයක් වූ පරිසරයක් සකසා තිබිණි.

කෛකසී කුමරියට සිය පියාණන් වූ සුමාලිගේ ගතිගුණ පිහිටි අතර සිය පියා සත්ත්ව බිලි පූජාවලට හා යාගහෝමවලට විරුද්ධ වීම අනුමත කළාය. නිකරුණේ සතුන් මරා දමා ලැබෙන යහපතක් නැති බව ඇයද වටහා ගත්තාය.

ලංකාපුරයේ සුමාලි රජු තද තීන්දුවක් ගත්තේ මෙකලය. ලංකාදේශයේ කොතැනකවත් සත්ත්ව බිලි පූජා පැවැත්වීමට තහනමක් පැනවිණි. ඒ වෙද්දී මිසදිටු බ්‍රාහ්මණ පූජකවරු ලක්දිවට ගොඩබැස මේ යාග හෝම පිළිවෙත් පතුරුවා හැර තිබිණි. කෛකසි කුමරියට මෙය සතුටට හේතුවක් විය. ඇය නිරතුරුව සුමාලි පිය රජුට ඒ වෙනුවෙන් තුති පුද කළාය.

භාරතය පුරා ප්‍රාදේශීය රජවරුන්ද දිරි දී අනුමත කළ මේ සත්ත්ව බිලිපූජා නිසා මහත් ව්‍යසනයක් සිදුවෙමින් තිබීම නිසා සුමාලි රජුගේ දැඩි තීන්දුවට බිලි පූජාවලට පක්ෂපාති වූවෝ එරෙහි වන්නට වූහ. සුමාලි මහ පවුරක්ව ලංකා දේශයේ නැඟී සිටීම භාරතයේ බ්‍රාහ්මණවරුද, රජවරුද කලබලයට පත් කරන්නක් විය.

'සුමාලි ලංකාද්වීපයේ සිටීම අපිට මහා හිසරදයක් වේවි. ඔහු වනසා දැමිය යුතුයි' යන්න ඔවුහු නිරතුරුව කතිකා කරගත්හ. කෛකසී කුමරියටද භාරතයේ මේ විරෝධතා පිළිබඳව වෙළෙ¼දාම උදෙසා ලක්දිවට ගොඩබසින ප්‍රජාවගෙන් දැනගන්නට හැකි විය.

විරෝධය එන පෙදෙසටම ගොස් ඔවුන් මර්දනය කර ලංකාදේශයට එන මිසදිටු තර්ජනය වළක්වා ගන්නට සුමාලි රජු යුද වදින්නට තීරණය කළේය.

ඔහු තම පුතුන්, සොහොයුරන්ද යුද පෙරමුණට ගත්තේය. ලංකාද්වීපයේ වීර්යවන්ත හමුදාවක් රැගෙන සුමාලි රජු භාරතය ආක්‍රමණය කළේය.
'ලක්දිව යුදකාමී යෝධ මිනිසුන් දැක දක්ෂිණ භාරතීය වැසියෝ බියපත් වුණාලු. ඔවුන් ගම්බිම් හැරදා පලා ගියාලු.'

කෛකසී කුමරියට නිරතුරුව පණිවුඩකරුවන් අතින් මේ තොරතුරු ලැබෙන්නට විය. මිසදිටුවන් ලංකාවෙන්ද පලවා හැර තිබුණු නිසා භාරත රජවරු සුමාලි රජු කෙරෙහි වෛර බැඳ ගෙන උන්හ. ප්‍රාදේශීය රජවරුද ගොස් එකල භාරතයේ බලවත්ව සිටි බලවත් රාජ්‍ය ප්‍රධානියකු වූ විෂ්ණුට කරුණු කියා සිටිමින් සුමාලිගේ භාරත ආක්‍රමණයේ බියකරු බව සැලකර සිටියහ.

විෂ්ණු බලසෙන් අරගෙන සුමාලි රජුන්ගේ සේනාවට මුහුණ දුන්නාලු. එම සටන් දරුණු වුණාලු. එක් සටනකදී සුමාලි රජුගේ සොහොයුරු "මාලි" මරණයට පත් වුණාලු.

ලංකාදේශයට එසේ තොරතුරු ගලා ආවේය. පිරිස් බලයෙන් විෂ්ණුගේ සේනාව බලවත් වුවද වීර්යවන්ත සුමාලිගේ බළසේනා උපක්‍රමශීලිව පසුබැස ලංකාවට ගොඩ බැස්සේ යළි සටන් අරඹන්නට සිතා ගෙනය. විෂ්ණු ඒ අතරතුර වඩාත් බලවත්ව පිරිස් බලය වැඩි දියුණු කරගන්නට හේතුවක් කර ගත්තේය.

බලයෙන් පිරිවරා පැමිණි විෂ්ණු සුමාලිව පරදවා ඔහුව ලංකාපුරයෙන් පලවා හැරියේය.

ඒ ඔහු අනාගතයේ භාරතයටම තර්ජනයක් විය හැකි නිසාය. සුමාලි මරණයට පත් නොවී පලාගියේ පාතාල දේශයට බැව් පසු කලෙක ලියැවුණු පොත පතෙහි සඳහන් විය. 'මහා භාරතය' ද එයම සටහන් කර ඇත.
මින් වසර ගණනාවක් ගත වූ පසු මහවැලි ගංගා තීරයේ පුලස්ති පුරයේ 'පුලතිසි' නම් තරුණ ඍෂිවරයා ධ්‍යානයන් හා එහි ප්‍රාතිහාර්යන් වැඩිදියුණු කරගන්නට සිතා වර්තමාන ත්‍රිකුණාමලය තොටින් (ගෝකණ්ණතොට) නැව් නැඟ භාරත දේශයේ තම්රලිප්ත වරායෙන් ගොඩ බැස රට තුළට ගමන් කොට නර්මදා ගං තීරයේ වෛදුර්ය කඳුයාය අසල තෘණ බින්දු නම් ඉසිවරයාගේ අසපුවට සැපැත්වීම සුවිශේෂ කාරණාවක් විය.
පුලතිසි තරුණ ඍෂිවරයා කාලයක් එහි භාවනාවෙහි යෙදුණේය.

ඒ අතරතුර තෘණබින්දු ඍෂිවරයාගේ යොවුන් දියණිය 'භවීර්භූ' සමඟ පෙමින් වෙළුණේය. ගිහිදිවියත්, තපස් දිවියත් එකසේ සුරැක පුලතිසි එහි කාලය ගත කළේය. ටික කලකට පසු පුලතිසිට දාව 'භවීර්භූ' පුතකු බිහි කළාය. ඔහු රාවණ පුවතේ සුවිශේෂී චරිතයකි. එනම් පසුකලෙක ලෝක ප්‍රකට වූ 'විශ්‍රාවාස' මුනිවරයා වූයේ ඔහුය. ඔහු 'විශ්‍රාවාස' පමණක් නොව ලක්දිවෙහි 'වෙස්සවණ' නමින්ද ප්‍රසිද්ධියට පත් වූයේය.

'විශ්‍රාවාස' තරුණ වියට පත්ව 'ඉල්විලා' කුමරිය හා විවාහ වී 'වෛශ්‍රවණ' නම් පුතකු බිහි කළේය. ඔහු යුද වදින්නටත් රට රැකගන්නටත් ඒ හැටි උනන්දුවක් නොදැක්වූවෙකි. ඔහු කළේම ධනය රැස් කිරීමය. ඒ සඳහා ව්‍යාපාර කිරීමටය. ඒ නිසාම ඔහු විදෙස් සම්බන්ධතා සහිත නෞකා තොටුපොළවල් හරහා ගනුදෙනු කළ නායකයකු විය. ඔහු තරුණ අවධියේ සුමාලි රජු සිටි අතර එම රජුගෙන් අවසර ලබාගෙන හෙතෙම වෙස්ස ගිරියේ ජීවත් විය. එය මතලා භූමියෙන් උතුරට වන්නටය. විශ්‍රාවාස හෙවත් වෙස්සවණ සුමාලි රජු විෂ්ණු හා යුද්ධයෙන් පැරැදී පාතාලයට පලා ගිය පසු අවස්ථාවාදියකු වූ විෂ්ණුට එරෙහි නොවී වෙළෙ¼දාම තරකර ගෙන ධනපතියකුව වැජඹෙන්නට ඉටා ගත්තේය. විෂ්ණුගේ ද ආධාර ඇතිව වෙස්සවණ ලංකාපුර සුමාලි රජුගේ මාලිගයට බලෙන් ඇතුළු වී එහි සිට ලක්දිව පාලනය කරන්නට පටන්ගත්තේය.

රාවණාගේ මව වූ කෛකසි මේ සියල්ල ඉවසීමෙන් බලා උන්නාය. වෙස්සවණ කොතරම් ධනවත් වීද බලවත් වීද යතොත් ඔහුට ගුවනින් යා හැකි පුෂ්පයානයක් ද තිබිණි.

ඊට 'විමානය' කියාද හැඳින්වීය. විෂ්ණු වාන්නකු වූ වෙස්සවණ ඔහුගේ ආධාර ඇතිව උපායශීලී ගමනක් ගියා වන්නටද පුළුවන. විෂ්ණුටද එය යුද වැදී වෙහෙස නොවී ලංකාව වක්‍ර ලෙස පාලනය කරන්නට උදව්වක් වූවාද විය හැකිය.

ඒ නිසාම වෙස්සවණ භාරතයේ ඉතා වංශවත්, ධනවත් "කුණි" නම් කුමරිය විවාහ කරගෙන ඒ බැඳීම තවතවත් තර කර ගත්තේය. වෛශ්‍රවණ හෙවත් වෙස්සවණට හා කුණි කුමරියට දාව දරු දෙදෙනකු වූහ. ඔවුන් නම් "නල කුවේර" සහ "මනිග්‍රිව" ය.

මේ අතර පාතාලයට පලාගිය සුමාලි රජු තම රාජ්‍යය යළි අත්පත් කර ගැනීමේ අදහසින් රට තුළින් මතුවිය. පාතාලයට ගියා යැයි හැඳින්වුවත් ඔහු පලාගියේ ඔහු විසින් පොළොව අභ්‍යන්තරයේ සකස් කර තිබූ උමං මාර්ග හරහා සැඟවී සිටීමට හැකි හොඳම තැන්වලටය. ලංකාපුරය නගරය නිර්මාණය කරද්දී සුමාලි එය නිසි පරිදි ඉටුකර තිබුණේය. ඔහු මතුවුයේ දරුවන් ‍ෙදාළොස් දෙනාද සමඟය. එහෙත් ඒ වෙද්දී වෙස්සවණ පිරිස් බලයෙන්ද, ධන බලයෙන්ද ඉතා ශක්තිමත්ව සිටියේය. වෙස්සවණ හා සටන් කිරීමට නොහැකි බව සුමාලිට වැටහුණේය.

මේ සඳහා ඔහු ක්‍රමයක් කල්පනා කරමින් සිටිද්දී ජේ‍යාතිෂය ගැන හසල දැනුමක් තිබුණු සුමාලිට තම දරු පරපුරේ වාසනා ගුණය සේමත් සිත් විය. ඔහු කළේ ඒ සියලු දෙනාගේ ජන්ම පත්‍ර පිරීක්සීමය. මේ වෙද්දී කෛකසි ඉතා සුරූපී තරුණියක්ව සිටියාය. පුතණුවන්ගේ ජන්ම පත්‍රවල විශේෂයන් ගෙවුණු තැන සුමාලි සිය ආදරණීය දියණි 'කෛකසි'ගේ ජන්ම පත්‍රයද පරීක්ෂා කර බලන්නට කල්පනා කළේය. සුවිශේෂ බලවන්ත ග්‍රහ පිහිටීමක් ඇයට තිබෙනවා.

ඇයගේ කුසින් උපදින මුල්ම දැරුවාට දිග්බල යෝගයක් තියෙනවා. මෙසේ උපදින දරුවා මුළුලෝකයම හොල්ලන නරපතියෙක් වෙනවා. ඔහු යටතේ ලෝකයම පවතිනවා සුමාලි වටහාගත්තේය.
ඒ අදහසට අනුව ඔහු නිරතුරුව වෙහෙසුණාය. ලංකා දේශයට අවැසි ආක්‍රමණික භාරතීයන්ට යටත් නොවන බලවත් රජ කුමරුවකු ඔහුට උපදවාගන්න ඕනෑ විය. සුමාලිට කිසිවකුටත් නොසිතෙනා ආකාරයේ අදහසක් පහළ වූයේ මෙහිදීය. එය හරිහැටි ඉටු නොකළහොත් ලංකා ධරණි තලයේ බලගතුම කුමරා උපදින බව හේ විශ්වාස කළේය. දිනක් ඔහු තම අදහසට අනුව වැඩ කරන්නට ඉටා ගත්තේය.

(ලබන සතියට)
එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon