2018 ලොව සතුටින්ම සිටින ජනතාව වෙසෙන රටවල් දහය

  👤  3003 readers have read this article !
2019-03-03

සෑම වසරකම "එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය" විසින් වාර්තාවක් සකස් කරනු ලබයි. එය වෙනත් වාර්තාවලට වඩා වෙනස් වන්නේ මීටරයකින් මැන බැලීමට නොහැකි 'සතුට' මැන බැලීමට ඔවුන් උත්සාහ ගන්නා නිසයි. මේ සඳහා රටවල් 156ක් විමර්ශනයට බඳුන් කරනු ලැබේ. එකිනෙකට වෙනස් ප්‍රධාන නිර්ණායක හයක් යටතේ 'සතුට මට්ටම' මැන බැලේ. එනම් ආදායම, නිරෝගී ජීවන කාලය, සමාජයෙන් පුද්ගලයකුට ලැබෙන සැලකීම හා පුද්ගලයකුට සිහින සාක්ෂාත් කර ගැනීමට ලැබෙන අවස්ථා, නිදහස, විශ්වාසය සහ ත්‍යගශීලීභාවය ඒ හයයි. මේ අනුව සකස් කරන වාර්තාව එධපතඤඵ ඩ්චනනඪදඥඵඵ අඥනධපබ යනුවෙන් හඳුන්වයි. 2018 ඒ අනුව ලෝකයේ වඩාත්ම සතුටින් මිනිසුන් ජීවත් වන රට ලෙස ජය ලබා ගත්තේ පින්ලන්තයයි. 'විල්දාහේ රට' ලෙසද විරුදාවලී ලබා ඇති පින්ලන්තය පුරා ඉතා දර්ශනීය ජලාශ විහිදී ඇත.

උතුරුකරය පුරාම පැතිරී ඇති තුන්ද්‍රා වනාන්තර ද පින්ලන්තයේ දේශගුණය හා ස්වභාව සෞන්දර්යය වටිනාකම් ඉහළ නංවයි. කුඩා දූපත් සමූහයකින්ද හෙබි පින්ලන්තය සංචාරක පාරාදීසයකි. දෙවැනි ස්ථානය ගන්නා නෝර්වේ රටද බොහෝදුරට එවැනිම දේශගුණයකින් හා වටපිටාවකින් යුතු රටකි. තුන්වැනි තැන ගන්නා ඩෙන්මාර්කය අතීත ශ්‍රී විභූතිය රැක ගැනීමට වඩාත් අවධානයක් දී ඇත. හිම ක්‍රීඩාවලට ප්‍රසිද්ධ අයිස්ලන්තය ගෙන ඇත්තේ හතර වැනි ස්ථානයයි. පස් වැනි තැන ගන්නා ස්විට්සර්ලන්තය සනීපදායක දේශගුණයෙන් යුතු අෑතින් අෑතට එකිනෙකා පරයා ඉහළ නඟිමින් විහිදෙන කඳු පන්තීන්ගෙන්ද යුක්ත සමෘද්ධිමත් රටකි. එහි කඳු සම්බන්ධ කොට ඇති කේබල් කාර් සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට පාත්‍රව ඇත. නෙදර්ලන්තය හයවැනි ස්ථානය ගත්තේ එහි පවතින ඉහළ ජීවන තත්ත්වය විසිනි.

හත්වැනි ස්ථානය කැනඩාවට හිමිවිය. අති විශාල භූමි භාගයක පැතිරී පවතින කැනඩාව නිදහස්ව විසීමට ප්‍රසිද්ධය. එහි ඇති සෆාරි චාරිකා සහ නයගරා දිය ඇල්ල සංචාරක ආකර්ෂණ දිනා ගත් ප්‍රධානම ස්ථාන වේ. නවසීලන්තය අටවැනි ස්ථානය හිමි කරගෙන තිබේ. ස්වභාව සෞන්දර්යයෙන් හා සුවදායක දේශගුණයකින් යුතු නවසීලන්තය සත්ත්ව පාලනයටද ප්‍රසිද්ධය. නවවැනි තැන ගත් ස්වීඩනය මිනිස් අයිතිවාසිකම් රැකදෙන විනයගරුක රටක් බවට ලෝකයේම ප්‍රසිද්ධය. ලොව පුරා සංචාරකයන් හා සංක්‍රමණිකයන්ගේ සිහින පාරාදීසය වන ඕස්ට්‍රේලියාව සතුටින් ජීවත් විය හැකි රටවල් අතරෙන් දහවැනි තැන ලබාගෙන තිබිණි.

ඉහළ ජීවන තත්ත්වයක් සාඩම්බර හැඟීමක් පෙන්වන ඇමෙරිකාව මෙම වාර්තාවට අනුව ලබාගෙන ඇත්තේ 18 වැනි ස්ථානයයි. ඔවුන් සතුට අඩු කරන නිර්ණායක ලෙස අලුතින් කරුණු තුනක් සැලකිල්ලට ගෙන තිබිණි. එනම් ස්ථූලභාවය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ මානසික අවපාතයයි. එම කරුණු තුනම ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි වෙමින් පවතින බව මෙහිදී අනාවරණය වී ඇත. පසුගිය වසර කිහිපයේම සෑම විටම මුල් ස්ථාන ලබාගත්තේ ස්කැන්ඩිනේවියානු රටවල් වීම විශේෂයකි. එලෙසම පොහොසත් වීම හා සතුට අතර යම් සම්බන්ධයක් පවතිනවාද යන ප්‍රශ්නයට පිළිතුරද 'ඔව්' යන්න වී ඇති බව පෙනේ. දුප්පත් යැයි සැලකෙන රටවල ජනතාව ජීවත් වන්නේ සතුටින් නොවන බව පැහැදිලිය. එහෙත් මේ එම වාර්තාව සකස් කළ නිලධාරියකු පැවැසූ අදහස්ය.

"තම ආදායම්වල ස්ථාවරභාවය, සමාජයෙන් පුද්ගලයකුට ලැබෙන ආරක්ෂාව, සමාජය කෙරෙහි බලපවත්වා ගත හැකි විශ්වාසයේ ප්‍රමාණය, විනෝදාස්වාදයට ඇති ඉඩ කඩ, පෞද්ගලික බැඳීම්වලට ඇති ඉඩප්‍රස්තා, සතුටින් ජීවත් වීමට කෙළින්ම බලපාන සාධක බව අපට පෙනී ගියා. මම මේ මුල් තැනට ආ රටවල් දහයේම සංචාරය කළා. අංක එකට ආ පින්ලන්තයේත් සමහර අය සිටියා මීට වඩා උණුසුම් රටකට යන්න තිබුණා නම් හොඳයි කියූ අය. ඒ වගේම අන්ත දූගී අප්‍රිකානු රටවල ඉතා අයහපත් ජීවන වටපිටාවල ඒ ගැන තැකීමක් නොකර සතුටින් ඉන්නා අය හමු වුණා. සතුට යන්න පුද්ගල බද්ධ දෙයක්. එය මැන බැලීම අපහසුයි.

ඔවුන් මෙහිදී සැලකිල්ලට ගත් කාරණයක් නම් සංක්‍රමණිකයන් සහ එරට මුල් වැසියන් එකම මට්ටමෙන් සතුටුදායක ජීවිතයක් ගෙවනවාද යන්නයි. පින්ලන්තයේ එය ඉහළම අගය ගෙන තිබිණි. යම් කිසි රටක විවිධ ජාති, ආගම්, කුලවලට අයත් ජනතාවට එක සමාන සැලකීමක් ලැබීමත් ඒ රටට පැමිණෙන සංක්‍රමණිකයන් පවා එකම සම්පත් භුක්ති විඳීමේ අවස්ථා ලබාදීමත් මෙම මුල් තැන ගත් රටවල ස්වභාවය බව කැපීපෙනේ. ස්කැන්ඩිනේවියානු රාජ්‍යවල ඉහළ බදු අය කිරීමක් පැවතුණද ජනතාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා රජය මඟින් අධ්‍යාපනය ලබාදීම සිදු කෙරේ. ඉතාම නවීන සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේද ඔවුහු භුක්ති විඳිති.

රාජ්‍ය දූෂණය අවම වීම, ජනතාව මානුෂික, විනයගරුක පිරිසක් වීම, මුදලට මුල් තැන නොදී චාම් ලෙස එකිනෙකා හා මානුෂීය බැඳීමෙන් යුතුව ගතකරන ජීවන රටාව මෙම රටවල පොදු ලක්ෂණෂයකි. වැඩ කරන කාලය අවම කර පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කොට, ජනතාවට විනෝදාස්වාදය ලැබීමටත් නිර්මාණකරණයටත් කාලය ලබාදී ඇත. තම පරිසරය පිළිබඳ කුඩා වියේ සිට දැනුවත් වන ඔවුන් පරිසරය අතිපිරිසුදුව තබා ගැනීම තම වගකීමක් කොට සලකති. කාබනික ඉන්ධන දහනයට තිත තබා වෙනත් විකල්පවලින් වාහන ගමනාගමනය සිදුකරන අතර පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද පරිසරය ආරක්ෂා වන ව්‍යායාමද ලැබෙන පාපැදි භාවිතය දිරි ගන්වා තිබීම විශේෂ ලක්ෂණයකි. මුල්ම රටවල් දහය වසර දහයක සිටම නොවෙනස්ව පැවතීම ඔවුන්ගේ රටවල ඇති දේශපාලන ස්ථාවරත්වය කියාපායි.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon