නූලෙන් වැළකී ගිය ශ්‍රී ලංකා-ඉන්දීය හමුදා ගැටුම

  👤  2966 readers have read this article !
2019-03-03

1987දී ඉන්දීය සාම සාධක හමුදාව යාපනයට ගොඩබැස්සේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවන් නවත්වා උතුරේ යුද්ධය සමනය කිරීමට කොටින් හික්මවා ගැනීම සඳහාය. එහෙත් ඇතැම් ඉන්දීය හමුදා නිලධාරීන් කොටි ත්‍රස්තයන්ට පක්ෂග්‍රාහී වන අයුරින් කටයුතු කිරීම නිසා එක් අවස්ථාවකදී මේජර් ජෙනරාල්වරුන් 10 දෙනකුගෙන් සමන්විත ඉන්දීය සාම සාධක හමුදාවත්, ශ්‍රී ලංකා යුද හමුදාවත් අතර යුදමය ගැටුමක් යාපනයේදී නිර්මාණය වෙමින් පැවතිණි. එනමුත් එම ගැටුම ශ්‍රී ලංකා ආරක්ෂක භට හමුදාවේ නිර්භීත පියවර හමුවේ නූලෙන් වැළැකී ගියේය. එය සිදුවූයේ 1987 ඔක්තෝබර් මාසයේදීය.

මේ වනවිට ජේ.ආර්. - රජීව් අස්සන් කළ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදාව යාපනයේ ස්ථානගතව සිටියහ. ශ්‍රී ලංකා නාවික හමුදාවද උතුරු - නැඟෙනහිර මුහුදේ ආරක්ෂක රාජකාරිවල නිරත වෙමින් සිටියහ. නාවික හමුදාව එසේ මුර සංචාරයක යෙදෙද්දී උතුරු මුහුදේ යාත්‍රා කළ සැකකටයුතු වේග යාත්‍රාවකින් සන්නද්ධ පුද්ගලයන් 17 දෙනකු අත්අඩංගුවට ගැනිණි. අනතුරුව ඔවුන් පලාලි යුද හමුදා කඳවුර වෙත භාර කෙරිණි.

මෙම පිරිස අත්අඩංගුවට ගත් බව එදිනම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක පිරබාහරන්ට දැනගන්නට ලැබිණි. පුලේන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුතු කොටි සාමාජිකයන් පිරිසක් මෙසේ නාවික හමුදාව යටතට පත්ව ඇති බව දැනගත් ඔහු ඉන්දු-ලංකා ගිවිසුමට අනුව මෙසේ කිසිවකු අත්අඩංගුවට ගැනීමත් රඳවා තබා ගැනීමත් කළ නොහැකි බව ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

පුලේන්ද්‍රන් ඇතුළු 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් සන්නද්ධව සිටි නිසාත්, එවැන්නන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට බලය ඇති බවත් ශ්‍රී ලංකා හමුදා බලධාරීන් ඉන්දීය බලධරයන්ට පිළිතුරු වශයෙන් දැනුම් දුන්නේය.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් යාපනය පලාලි හමුදා කඳවුරේ අණදෙන නිලධාරි වෙත දැනුම් දුන්නේ අත්අඩංගුවේ පසුවන කොටි ත්‍රස්තයන් 17 දෙනා වහාම ගුවනින් කොළඹට එවන ලෙසය.
මේ කොටි සාමාජිකයන් පිරිස කොළඹට රැගෙන ගියහොත් විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවන බව දැන ගත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඊට එරෙහිව පලාලි කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වන්නට වූහ.
මේ නිසා පලාලි කඳවුරේ සිටි ඉන්දීය සාම සාධක හමුදාවේ ලුතිනන් ජෙනරාල් එස්.එෆ්. රොඩ්රිගුවස් ශ්‍රී ලංකා යුද හමුදාවේ උතුරේ අණදෙන නිලධාරියාට දන්වා ඇත්තේ අත්අඩංගුවට ගත් පිරිස කොළඹ යැවීමට පියවර ගතහොත් විශාල අර්බුදයක් හටගත හැකි බවයි.

ඉන්දීය ලුතිනන් ජෙනරාල්වරයා කළ එම දැනුම් දීම යුද හමුදා බලධාරීන් විසින් කොළඹට දැන්වුවද කොළඹ ආරක්ෂක අංශය නියෝග කළේ එම කොටි සාමාජිකයන් පිරිස ඊළඟ ගුවන් යානයෙන් කොළඹ එවීමට කටයුතු කරන ලෙසය.

ආරක්ෂක හමුදාවන් අතර එලෙස පණිවුඩ හුවමාරුව සිදු වෙද්දී කොටි සංවිධානයේ නියෝජ්‍ය නායකයාව සිටි මහේන්ද්‍රරාජා හෙවත් මහත්තයා අත්අඩංගුවේ පසුවන පිරිස හමුවීමට අවස්ථාවක් දෙන ලෙස ඉන්දීය හමුදා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ සඳහා සාම සාධක නිලධාරීන් එකඟත්වය පළ කළ අතර එයද කොටි සංවිධානයට පක්ෂග්‍රාහීව ඔවුන් කටයුතු කළ අවස්ථාවක් විය.

මෙහිදී මහේන්ද්‍රරාජා ඇතුළු පිරිස පරීක්ෂා කිරීමටද ඉන්දීය හමුදාව කටයුතු කළේ නැත. එනිසා මහේන්ද්‍රරාජා ඇතුළු පිරිස කඳවුරට ඇතුළු වී පුලේන්ද්‍රන්, කුමාරප්පා, ආනන්දකුමාර්, රෙජිනෝල්ඩ්, අබ්දුල්ලා, රාගු, කරන්, මියර්ස්, අන්බලගන්, නවකුමාර්, පලනි ඇතුළු ත්‍රස්තයන් 17 දෙනා සිර මැදිරියේදී මුණ ගැසී ඔවුන්ට සයිනයිඩ් කරල් ලබා දුන්නේය.

මහේන්ද්‍රරාජා ඇතුළු පිරිස කඳවුරෙන් පිටත්ව ගිය පසු පුලේන්ද්‍රන් ඇතුළු පිරිස ඉන්දීය හමුදා නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් ඇතුළු පිරිස යාපනයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් 17 දෙනාම සයිනයිඩ් ගිල දිවි නසා ගන්නා බවයි.

මේ ප්‍රකාශය නිසා ඔවුන් කොළඹට ගෙන යෑමෙන් වළකින ලෙස ඉන්දීය ලුතිනන් කර්නල්වරයා පලාලි කඳවුර භාර නිලධාරියාගෙන් ඉල්ලා සිටියේය. පලාලි අණදෙන නිලධාරියා අලුතින් උද්ගතව ඇති තත්ත්වය කොළඹට දැනුම් දීමට පියවර ගත්තේය. එහෙත් කොළඹ ආරක්ෂක හමුදා අංශයේ තීරණය කිසිසේත්ම වෙනස් වූයේ නැත. ඔවුන්ගේ නියෝගය වූයේ සිරකරුවන් 17 දෙනා කොළඹට එවනු! යන්නය.

එබැවින් යාපනය හමුදා අණදෙන නිලධාරියා ඉන්දීය සාම සාධක හමුදා ප්‍රධානියාට දැනුම් දුන්නේ අත්අඩංගුවට ගත් 17 දෙනා ගුවනින් කොළඹට යැවීමට තමන් කටයුතු කරන බවයි.

මේ අවස්ථාවේ ලුතිනන් ජෙනරාල් රොඩ්රිගුවස් පවසා ඇත්තේ මේ කාරණය එවකට ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ ජේ.එන්. ඩික්සිත්ට දන්වා ඔහුගේ උපදෙස් අනුව ක්‍රියා කරමු යන්නයි.

"තමා පිළිපදින්නේ කොළඹ ආරක්ෂක බලධාරීන්ගේ නියෝග පමණක්" බව ඉන්දීය බලධාරීන්ට පැවසූ පලාලි කඳවුරේ අණදෙන නිලධාරියා අනතුරුව ගුවන් හමුදා නිලධාරීන්ට උපදෙස් දුන්නේ සිරකරුවන් රැගෙන යෑම සඳහා ගුවන් යානයක් සූදානම් කරන ලෙසයි.

"ඔබ එසේ කළහොත් මම බී.එම්.පී. යුද රථ යොදවා ගුවන් පථය අහුරා දමන්නට කටයුතු කරනවා" යැයි ඉන්දීය හමුදාවේ ලුතිනන් ජෙනරාල් රොඩ්රිගුවස් පලාලි යුද හමුදා අණදෙන නිලධාරියාට තර්ජනය කළේය.
ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන් සිතුවේ එවැනි තර්ජනයකින් ශ්‍රී ලංකා යුද හමුදාව නිහඬ වේ යැයි කියාය. එහෙත් ශ්‍රී ලංකා අණදෙන නිලධාරියා ඊට පිළිතුරු දුන්නේ "එසේ කළහොත් මම නුඹේ බී.එම්.පී. යුද රථවලට වෙඩි ප්‍රහාර එල්ල කරනවා" යනුවෙනි.

මේ ප්‍රකාශයෙන් පසු ඉන්දීය ලුතිනන් ජෙනරාල්වරයාගේ තර්ජන ගර්ජන එතැනින්ම නිමාවට පත්වූ අතර හමුදා දෙක අතර හට ගැනීමට නිර්මාණය වෙමින් පැවති යුදමය ගැටුම් තත්ත්වය වැළැකී ගියේය. ශ්‍රී ලංකා හමුදාවේ භට පිරිසක් ඊළඟ අවස්ථාවේ පලාලි ගුවන් පථයට යන බවද ඉන්දීය භටයන්ට දැක ගන්නට ලැබිණි.

ඉන්දීය හමුදා නියෝග හෝ ඉල්ලීම් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පිළිනොපදින බවත්, රොඩ්රිගුවස් ඇතුළු තමන්ගේ කුරුමාණම වැරැදුණු බවත් දැනගත් පුලේන්ද්‍රන් ඇතුළු කොටි ත්‍රස්තයන් පිරිස එදින පස්වරුවේ සිර මැදිරිය තුළ දී සයනයිඩ් ගිල දැමූහ.

ඔවුන් සියලු දෙනා වහාම ඉන්දීය හමුදා රෝහලට රැගෙන ගිය නමුත් එදින සවස 6.00 වන විට 12 දෙනකු මියගොස් තිබිණි.

මෙම සිද්ධියෙන් කෝපයට පත් පිරබාහරන් කොටින්ගේ අත්අඩංගුවේ සිටි හමුදා සෙබළුන් 8 දෙනකු මරා යාපනය බස් නැවතුම්පළට ගෙනවිත් දැමුවේය. සිද්ධියෙන් දින හතරකට පසු ඉන්දීය පැරෂුට් භටයන් 5 දෙනකු රැගෙන යමින් සිටි ට්‍රක් රථයකට පහරදුන් පිරබාහරන් එම ඉන්දීය භටයන් අමානුෂිකව ඝාතනය කර දැමුවේය. ඉන්දීය හමුදාවද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කොටින් සතු පුවත්පත් කාර්යාල දෙකක්ම පුපුරවා හැරියේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලබාදී තිබූ සමාව වහාම ඉවත් කිරීමටත්, පිරබාහරන් අල්ලා දෙන අයකුට රුපියල් දස ලක්ෂයක් පිරිනමන බවටත් රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon