දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය නොවේ

  👤  2845 readers have read this article !
2019-03-03

මේ වකවානුව වන විට රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ රට තුළ ද්වන්ධ බලයක් නිර්මාණය කර තිබිණි. රාජ්‍ය බලය පැවතියේ වැහැරී යමින්ය. රජය ඉවක් බවක් නැති ඝාතන රැල්ලක් බිහිකොට තිබූ අතර විවිධ නම්වලින් කරළියට පැමිණි ඝාතන කණ්ඩායම් රජයේ මඟපෙන්වීමෙන් දඩයම ආරම්භ කර තිබිණි. උතුර නැඟෙනහිර පළාත්වලද ජන ජීවිතය බිඳ වැටෙමින් පැවති අතර ලංකාවට ගොඩබට ඉන්දීය හමුදාව ලක්ෂයකට ආසන්න විය.

ජනතා විමුක්ති පෙරමුණ ' රණහඬ' කැසට් පටවලින් අවස්ථා කිහිපයකදී ජනතාව දැනුවත් කළේය. ඒ සියල්ල විජේවීරගේ හ¾ඩින්ම නිකුත් කරන ලදී. ඒවා ගියේ පක්ෂයට සම්බන්ධ හා ඒ වටා සිටි අයට පමණි. පුළුල් බහුජන සමූහයා දැනුවත් කරන ලද්දේ අත් පත්‍රිකා සහ පෝස්ටර් තුළිනි. ගොඩනැඟෙමින් පවතින සංකීර්ණ දේශපාලන වට පිටාව තුළ එයද කිසි සේත්ම ප්‍රමාණවත් නොවීය. රාජ්‍ය මාධ්‍ය මෙන්ම බොහෝ පෞද්ගලික මාධ්‍යයද යථා ස්වරූපය බරපතළ අන්දමින් විකෘති කරමින් සිටියේය. ප්‍රධාන පුවත්පතක් තුළින් ජනතාව ඇමතීම ආරක්ෂාව පිළිබඳ අතුරු ප්‍රකාශන රැසක් මතු කරන්නට හේතුවන කරුණකි. එසේ වුවද විජේවීර සමඟ සිදුකරන මාධ්‍ය සාකච්ඡාවක් සමාජයේ පවතින ව්‍යාකූල මතවාද නිෂ්ප්‍රභ කරන්නට හේතුවන බව ජවිපෙ දේශපාලන මණ්ඩලය අවසානයේ තීරණය කළේය. එහිදී ලංකාදීප පුවත්පත හරහා ලබාගත් ප්‍රශ්න මාලාවකට විජේවීර පිළිතුරු දුන්නේය. 1988 ඔක්තෝබර් මාසයේ එම සාකච්ඡාව ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවූයේය.

විජේවීරට යොමුකළ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු මෙසේය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති සම්බන්ධය කුමක්ද? එය ජවිපෙ සන්නද්ධ අංශය යැයි කියන කතාව ඇත්තද?

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය නොවේ. එම කතාව වැරදියි. එය ප්‍රචාරය කරනුයේ ජනතාවට බොරුකීම අතින් වාර්තා පිහිටුවා ඇති යූ.ඇන්.පී. යේ හා ලංකා කම්කරු සංගමයේ හවුල් ආණ්ඩුවත් එය සරණ ගිය ඊනියා එක්සත් සමාජවාදී සන්ධානයේ කොමියුනිස්ට් - සම සමාජ - නව සම සමාජ - මහජන පක්ෂ නායකයෝත් ඉන්දීය අධිරාජ්‍යවාදීහු හා ඔවුන්ගේ පස්වැනි සේනාංකයත්ය. ජනතා විමුක්ති පෙරමුණ ජාතියේත් දේශයේත් නිදහස් සටනට පෙරමුණ ගෙන උරදී සිටින ලාංකේය නිර්ධන පන්තියේ නියාමක පක්ෂයයි. එය තවමත් සන්නද්ධ අංශයක් ගොඩනඟා නැත.

නමුත් ඉන්දීය ආක්‍රමණකාරී හමුදා ලංකාවට පැමිණ ලංකාවෙන් තුනෙන් පංගුවක් යටත් කරගෙන සිටින හා ලාංකිකයන් මරා බියවද්දා ඔවුන් ඔවුන්ගේ ගම් බිම්වලින් නෙරපා හරින තත්ත්වය යටතේත් ඉන්දීය ආක්‍රමණකාරී හමුදාවන් විසින් ඔවුන්ගේ පස්වැනි සේනාංකය නාසය දක්වාම පුහුණු කර සන්නද්ධ කර විශේෂයෙන්ම ඊ.පී.ආර්.එල්.එෆ්. ඊළාම් ත්‍රස්තවාදීන් සන්නද්ධ කර පුහුණු කර ඔවුන්ගේ සේනාංකයක් ලෙස යොදා ගනිමින් සිටී. (මේ ලියන මොහොතේත් ඊ.පී.ආර්.එල්.එෆ්. ඊළම් ත්‍රස්තවාදීන් විසින් නව සම සමාජ පක්ෂයේ මිනිසුන් කිහිප දෙනෙක් අම්පාර දිස්ත්‍රික්කයේ යම් යම් ස්ථානයන්හිදී ජවිපෙට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පුහුණු කරමින් සිටී.)

කොමියුනිස්ට් පක්ෂයේත් නව සම සමාජ පක්ෂයේත් මහජන පක්ෂයේත් දේශද්‍රෝහීන් පුහුණු කර සන්නද්ධ කරන තත්ත්වය යටතේත් ඉන්දීය අධිරාජ්‍යවාදය විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර චර පුරුෂ සේවය හරහා ලංකාව ගිල ගැනීමට එරෙහිව පවතින මහ බාධකය වී තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඝාතනය කරවීමටත් පිඹුරුපත් සකස්කර ඔවුන්ගේ සියලුම ලාංකේය ඒජන්තවරුන්ට නියෝගකර ඇති තත්ත්වය යටතේත් එම නියෝග යටතේ කොළ කොටි රාජ්‍ය ත්‍රස්තවාදීනුත්, යූ.ඇන්.පී.යත් සන්නද්ධ හමුදාවලට විශේෂයෙන් අලුතින් එකතු කරගත් යූ.ඇන්.පී. යේ දේශද්‍රෝහී කොටසුත් ඉන්දීය අධිරාජ්‍යවාදයේ නියෝග පිට ක්‍රියාත්මක වන සියලු දෙනාමත් ගෙනයන ජවිපෙ විරෝධී සාහසික ප්‍රචණ්ඩ ක්‍රියාවල තත්ත්වයන් යටතේත් ජ.වි.පෙ. පළමුව තම ආරක්ෂාව සඳහාත් දෙවැනුව තම දේශයේ ස්වාධීනත්වය හා අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීම සඳහාත්, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යළි දිනා දීම සඳහත් මිනිස් අයිතීන් යළි ලබාදීම සඳහාත් මවුබිමේ සාමය ඇති කිරීම සඳහාත් අපේ දරු මුනුපුරු පරම්පරාවනට විදේශීය ආධිපත්‍යයට යටත් නොවුණු නිවහල් මවුබිමක් උරුම කර දීම සඳහාත් සන්නද්ධ අංශයක් පිහිටුවීම සඳහා අපට ඇති අයිතිය අපි නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තෙමු.

නමුත් එම කටයුතු සඳහා සන්නද්ධ අංශයක් පිහිටුවීම ඉතාමත් සංකීර්ණ භාරධුර හා මහත් වගකීම් සහිත කටයුත්තකි. අපි අවශ්‍ය විට හා සුදුසු විට සන්නද්ධ අංශයක් ගොඩනඟන්නෙමු. එවිට අපි එය ප්‍රකාශයට පත් කරන්නෙමු. ඉන්දීය ආක්‍රමණික හමුදා මේ බිමෙන් පරාජය වී මිස ආපසු නොයනු ඇත. ඔවුන්ගේ ඉලක්ක සපුරාගෙන මිස ඔවුන් ආපසු නොයන බව ඉතා පැහැදිලිව හා නිරවුල්ව ප්‍රකාශ කර තිබේ. ප්‍රේමදාස මහතා ඉල්ලූ විටෙකවත්, බණ්ඩාරනායක මහත්මිය දිනූ විට නිරායාසයෙන්වත් ඉන්දීය හමුදා ආපසු නොයනු ඇත. ඒ ගැන කිසිවකුත් සැකයක් තබාගත යුතු නැත.

කිසිවකුත් ඒ ගැන දෙගිඩියාවක සිටිය යුතු නැත. ප්‍රේමදාස මහතාත් බණ්ඩාරනායක මහත්මියත් ඡන්දය ලබා ගැනීමට කියන කතාවලට කිසිවකු රැවටිය යුතු නැත. ඉන්දීය ආක්‍රමණික හමුදා ආපසු යැවිය හැක්කේත් යවනු ඇත්තේත් දේශයේත් ජාතියේත් විමුක්තිය පතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් මතු ගොඩනැගෙන දේශප්‍රේමී විමුක්ති හමුදාව විසින් පරදවනු ලැබීමෙන් පමණි. ඒ ගැන විශ්වාසය තබන ලෙස මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලමි. එම දේශප්‍රේමී විමුක්ති හමුදාවට දේශප්‍රේමී ජනතා සන්නද්ධ සේනාංකවල සිටින සටන්කාමීනුත්, ශ්‍රී ලංකාවේ වත්මන් නීත්‍යනුකූල සන්නද්ධ හමුදාවල සිටින දේශප්‍රේමී කොටසුත් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සියලුම සාමාජිකයනුත් ඇතුළත් වනු ඇත. එවැන්නක් අවශ්‍ය වන්නේ ලංකාවේ වත්මන් සන්නද්ධ හමුදා විදේශීය ආක්‍රමණකාරී හමුදාවලින් තම මවුබිමත් එහි ජනතාවත් බේරා ගැනීමට මුළුමනින්ම අපොහොසත්ව ඇති නිසාය.

අද ලංකාවේ සන්නද්ධ හමුදාකරණයේ විදේශීය ආක්‍රමණකාරී හමුදාවේ ග්‍රහණයෙන් මවුබිම මුදා ගැනීමට උතුර හා නැඟෙනහිර මුදා ගැනීමට සටන් කිරීම නොවේ. අද ඔවුන් ලවා කරවන්නේ ඉන්දීය ආක්‍රමණකාරී හමුදාවටත් එහි පස්වැනි සේනාංකය වන දෙමළ ඊළාම් ත්‍රස්තවාදයටත් පක්ෂ වෙමින් ජනතා විමුක්ති පෙරමුණත් දේශප්‍රේමී ජනතාවත් සංහාරය කරවීමය. එබැවින් දේශයේත් ජාතියේත් විමුක්තිය පතා අද නව හමුදාවක් අවශ්‍යව තිබේ. අපි එය පිළිගනිමු. ඒ උඩ ක්‍රියාත්මක වීමට ඇති අයිතිය ප්‍රකාශ කරමු. සුදුසු අවස්ථාවේ ඒ උඩ ක්‍රියාකරමු.

නමුත් දැන් ක්‍රියාත්මක වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වූ කලී ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය නොවේ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟ ජවිපෙට ඇති සම්බන්ධය කුමක්දැයි ඔබ අසයි. අප දන්නා තරමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වූ කලී පුළුල් ජනතා ව්‍යාපාරයකි. එහි ජවිපෙ සමාජිකයන් මෙන්ම ජවිපෙ නොවන අයද සිටිත්. පුළුල් දේශප්‍රේමී කොටසක් ඊට ඇතුළත් වේ. ඇතැම් විට ඉන්දීය ආක්‍රමණකාරී හමුදාවලට විරුද්ධ, ඉන්දීය අධිරාජ්‍යවාදයේ පස්වැනි සේනාංකය වන දෙමළ ඊළාම් ත්‍රස්තවාදයට විරුද්ධ, ඉන්දියාව විසින් ලංකාව ගිල ගන්නවාට විරුද්ධ, උතුර නැඟෙනහිර අෑ¼දා එය ඉන්දියාවට යටත් කරනවාට විරුද්ධ, ජයවර්ධන - රජීව් ගාන්ධි දෙවැනි උඩරට ගිවිසුමට විරුද්ධ, පළාත් සභාවලට විරුද්ධ, ලංකාව දෙවැනි සිතියමක් වනවාට අකැමැති, යූ.ඇන්.පී. යේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් වෙනත් සංවිධානවලත් අය ඒතුළ ක්‍රියාත්මක වනු ඇති බව අපි විශ්වාස කරමු.

ඒ එකිනෙකා තමන්ට ආවේණික හැකියාවන් හා හැදියාවන් අනුව එහි එකිනෙකා වගකීම්වල යෙදෙනවා විය හැකිය. එවැනි ජනතා ව්‍යාපාරයක් පැනනැඟීමට හේතුවූයේ ඉන්දීය අනුග්‍රාහක රජයේ කුරිරු මර්දනයයි. රාජ්‍ය ත්‍රස්තවාදයටත් ඉන්දීය යටත් විජිතවාදයටත් මුහුණ දෙනු පිණිසය. එම පළල් බහුජන ව්‍යාපාරය ගොඩනැඟී ඇත්තේ අප දන්නා අන්දමට දේශප්‍රේමී ජනතාවගේ ආරක්ෂාවත් දේශයේ ආරක්ෂාවත් සඳහා කැපවුණු සංවිධානයක් වශයෙනි.

යූ.ඇන්.පී. යෙත් තොණ්ඩමාන් මහතාගේ කම්කරු සංගමයේත් හවුල් ආණ්ඩුව මුල සිටම ප්‍රතිවාදීන්ට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියා උපයෝගි කරගත් බව ඔබ කවුරුත් දනී. විරුද්ධ දේශපාලන පක්ෂවලට විරුද්ධව විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදිණි. මහියංගණයේදීත්, කැකිරාවේදීත්, බියගමදීත් මේ තත්ත්වය වඩාත් කැපීපෙනුණි.

බුද්ධිමතුන්ට විරුද්ධව, කලාකරුවන්ට විරුද්ධව, විනිසුරුවරුන්ට විරුද්ධව කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදිණි. "අලියා තවම හොඬවැල සෙලවූවා විතරයි," යනුවෙන් රජයේ බලවතෙකු උජාරුවෙන් කතා කළා ඔබට මතක ඇති. අපේ පක්ෂය තහනම් කර ටික කලකින් හොර රහසේම අපේ සාමාජිකයන් මරන්න පටන් ගත්තා. එහි ආරම්භය 1984දී අනුරාධපුර කාර්මික විද්‍යාලයේ ශිෂ්‍යයකු වූ ජවිපෙ සාමාජික සරත් විජේසිංහ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමයි. ඉන්දීය අධිරාජ්‍යවාදීන්ටත් දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ටත් ආණ්ඩුව වැඩි වැඩියෙන් යටත් වීම සමඟ ආණ්ඩුව දේශප්‍රේමී ජනතා සංහාරය අරඹන ලදී.

ජයවර්ධන, ගාන්ධි ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කළ විටදී මහජනයා ඊට සාමකාමී ලෙස විරෝධය පෑ අවස්ථාවේදී 142 දෙනකු වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙන්න මේ තත්ත්වය යටතේයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පුළුල් පදනමකින් ගොඩනැඟුණේ. ජයවර්ධන ආණ්ඩුවත් ඉන්දීය අධිරාජ්‍යවාදයේ පස්වැනි සේනාංකයත් තමන් වෙත තබාගෙන තිබූ ප්‍රචණ්ඩ ක්‍රියාකිරීමේ තනි අයිතියේ ඒකාධිකාරී අයිතිය අහෝසි කරන ලද්දේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. එය වැදගත් ප්‍රගතිශීලී කටයුත්තකි. දේශප්‍රේමී ජනතාව තමන්ගේත්, තම දේශයේත් ආරක්ෂාව උදෙසා සංවිධානය වීම නිවැරදි දෙයකි. අපි ඊට සහාය දක්වමු. අනුග්‍රහය දක්වමු. ගරු කරමු.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් නැත්නම් ඔබේ පක්ෂය 1983 ජූලිවලින් පසුව පුවත්පත් නිවේදන නිකුත් කිරීම හැරෙන්නට ක්‍රියාකාරී දේශපාලන කටයුත්තක් කර නැතැයි කීවොත් නිවැරදිද?

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධකම ගැන පසුගිය ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි වී ඇතැයි සිතමි. එය පසෙක තිබියදී, ජනතා විමුක්ති පෙරමුණ 1983 ජූලිවලින් පසුව කර ඇති එකම දේ පුවත්පත් නිවේදන නිකුත් කිරීම බව කියන්නේ කවුද?

එසේ කීම නිවැරදි වන්නේ කෙසේද අවුරුදු පහක් තිස්සේ දිවයින පුරා නොයෙක් තැන, නොයෙක් විට, ආණ්ඩුවේ මර්දනයට විරුද්ධව, රට පාවා දීමට විරුද්ධව ආණ්ඩුවේ නීති විරෝධී වංචනික බලයේ සිටීමට විරුද්ධව උද්ඝෝෂණය කළේ ජවිපෙ නොවේ නම් වෙන කවුරුන්ද? එම උද්ඝෝෂණයන්හිදී ජවිපෙ සාමාජිකයන් කීදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීද? කී දෙනෙක් අතුරුදන් වීද? කී දෙනෙක් දිවි පිදුවේද?

ශිෂ්‍ය සටන් බිමේ 1984 පේරාදෙණියේදී දිවි පිදූ පද්මසිරි සහෝදරයා අප පක්ෂයේ සාමාජිකයෙකි. එවක් පටන් මේ දක්වා දහස් ගණනක් අප පක්ෂයේ සාමාජිකයන් හා නායකයන් අත්අඩංගුවට ගන්නා ලද්දේත් මරා දමුණු ලැබුවේත් ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයකු වූ සුමිත් අතුකෝරල සහෝදරයා පවා දිවි පිදුවේ පුවත්පත් නිවේදන නිකුත් කළ නිසාද? ඉතා කටුක දුෂ්කර තත්ත්වයන් යටතේ තදබල මර්දනය හමුවේ රට පාවාදෙන හැටි, රට විනාශ කරන හැටි හෙළිදරව් කරමින් ලක්ෂ ගණනින් පත්‍රිකා මුද්‍රණය කර හැරියේ රට පුරා දේශපාලන පන්ති පැවැත්වූයේ අධ්‍යාපන කඳවුරු පැවැත් වූයේ කවුද? රහසිගතව පුවත්පත්, කැසට්පට නිකුත් කළේ කවුද? අද ශිෂ්‍ය හා කම්කරු සටන්වල පෙරමුණේ සිටින්නේ ජවිපෙ නොවේ නම් වෙන කවුද?

ඉන්දු - ලංකා ගිවිසුමට වසරක් පිරුණු දිනයේ ඊට විරුද්ධව ජාතියේම විරෝධතාව සංවිධානය කළේ ජවිපෙ නොවේද? නැඟෙනහිර ජනතාව උතුරට යට කිරීමට විරුද්ධව විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේ ජවිපෙ විසින් නොවේද? අද ඉන්දීය ආක්‍රමණික හමුදාවලට උතුරු පළාත අල්ලා ගන්නට ඉඩදී අකුළාගෙන ආ ශ්‍රී ලංකාවේ හමුදා බි්‍රගේඩියර්වරුන්ට හා කර්නල්වරුන්ට ජනතා පෙළපාළි මැ¾ඩීම සඳහා 1947 තරම් අෑතදී යොදාගත් "බොක්ස් ෆොමේෂන්" ක්‍රමය යළි මතක් කර ගෙන අසාර්ථක ලෙස එහි පිහිට පතන්නට ඔවුන්ට බලකරමින් දකුණේත් නැඟෙනහිරත් දැවැන්ත ජනතා පෙළපාළි මෙහෙයවූයේ වෙන කවුරුන් විසින්ද?
(ඉතිරි කොටස ලබන සතියට)

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon