71 කැරැල්ලට දින කීපයකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය

  👤  2788 readers have read this article !
2019-03-03

මෙහි දැක්වෙන්නේ ලංකා විශ්වවිද්‍යාලය - කොළඹ 1971 මහා ශිෂ්‍ය සංගමයේ සමූහ ඡායාරූපයකි. 1971 මාර්තු මාසයේ මරදාන ඩොනල්ඩ් ස්ටුඩියෝහිදී ගන්නා ලද මෙම ඡායාරූපයේ සිටින ශිෂ්‍ය පිරිස පසුකාලීනව විවිධ ක්ෂේත්‍රයන්හි තනතුරු දරන ලද ප්‍රභූහු වෙති. මෙහිදී 1971 වර්ෂය සුවිශේෂී වන්නේ 1971 තරුණ කැරැල්ල හේතුවෙනි.

එකල මහා ශිෂ්‍ය සංගමයේ බලය දේශපාලන වශයෙන් අල්ලාගෙන සිටියේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය සහ ලංකා සමසමාජ පක්ෂයේ ලංකා ශිෂ්‍ය සම්මේලනය විසිනි. එසේ වුවද දේශපාලන වශයෙන් වෙනස් මත දැරූ වාමාංශික ශිෂ්‍ය කණ්ඩායම් රැසක්ම එවකට විශ්වවිද්‍යාලයේ සිටියහ.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට සම්බන්ධ 'විරෝධය' කණ්ඩායම ඒ අතරින් කැපී පෙනුණි. ආචාර්යවරුන් වූ විජේ ඩයස් සහ පියසීලි විජේගුණසිංහද ශිෂ්‍යයන් අතරින් ටෙරන්ස් හා කුරේද ඊට අයත් විය. 'චීන ලයින්' යනුවෙන් හැඳින්වුණු පිරිසට කල්‍යානන්ද තිරාණගමට සම්බන්ධ පිරිසක් වූහ. 'ලංකා ලයින්' යනුවෙන් හැඳින්වූයේ ජවිපෙ රෝහණ විජේවීරට සම්බන්ධ පිරිසය. තංගල්ලේ විල්සන් රොසැන්ටල් සුමනරත්න, උපතිස්ස ගමනායකද, නන්දසීලි හා ලීලා ඇතුළු ශිෂ්‍යාවෝද එම කණ්ඩායමේ සිටියහ. වියට්නාම් ලයින්, කියුබන් ලයින් ආදී වශයෙන් කුඩා ප්‍රවණතාවන්ද කොළඹ විශ්වවිද්‍යාලයේ වූහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වූ සුමනරත්න 1971 අප්‍රේල් විජේවීර නිදහස් කරගැනීම පිණිස යාපනය බන්ධනාගාරයට පහර දුන් කණ්ඩායමට සම්බන්ධ වී එම ක්‍රියාන්විතයේදී මරණයට පත්විය. එහිදී මරණයට පත්වූ අනෙක් ශිෂ්‍යයා කැලණි විශ්වවිද්‍යාලයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයකු වූ නිමල්ය. විශ්වවිද්‍යාලයේ එවකට උප කුලපති තනතුර දැරූ මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම ඡායාරූපයේ ඉදිරි පෙළ දකුණේ සිට තුන් වැන්නාය. ඉදිරි පෙළ වමේ සිට දකුණට රෙමුණේ හිමි, වෛද්‍ය ශිෂ්‍ය කිංස්ලි සෙනෙවිරත්න, ආචාර්ය අනුරාධ සෙනෙවිරත්න, මුනිදාස, මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපති සුගතදාස සහ අවසන් වශයෙන් එස්. දම්මුල්ල යන අයද වෙති.
මැද පෙළ විද්‍යා පීඨ ශිෂ්‍ය සේන කළුබෝවිල, නීති පීඨයේ හිරාන් ජයවර්ධන, විද්‍යා පීඨයේ සතිෂ් ප්‍රනාන්දු හා ගුණසේකර සහ කුරේ ද වෙති. එවකට නීති පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් සේනක වීරරත්න උපැස් යුවළක් (ඉභද ට්තචඵඵ) පැලඳ සිටී. පසු පෙළ සමාජ විද්‍යා පීඨයේ ජයසිංහ, වෛද්‍ය ශිෂ්‍ය දැඩිගම, වෛද්‍ය ශිෂ්‍ය මැතිව්ද මෙහි වෙති.

1971 වසරේ ශිෂ්‍ය කණ්ඩායමේ සිටි උපතිස්ස ගමනායක පසුව පූර්ණකාලීන දේශපාලනයට පිවිස ජවිපෙ ප්‍රධාන ලේකම් තනතුරට පත්ව 89' ධවල භීෂණයේදී ඝාතනය කෙරිණි. නන්දසීලි ද දිර්ග කාලයක් සිරගතව සිට නිදහස්ව ජවිපෙ පළාත් සභා මන්ත්‍රිවරියක වූවාය. හිරාන් ජයවර්ධන ප්‍රකට නීතිඥවරයකු විය. ලියනගම හා දම්මුල්ලද සෝමපාල ජයසිංහද සිවිල් සේවාවේ ඉහළටම ගියහ. සීගිරි මනිලාල් පළාත් ආදායම් කොමසාරිස්වරයකු ලෙස විශ්‍රාම ලැබීය.

ආචාර්යවරයකු වූ විජේ ඩයස් සමාජවාදී සමානතා පක්ෂයේ නායකයා වූවේය. ඡායාරූපයේ සිටින බොහෝ අය නමින් හැඳින ගන්නට අපහසු වූයේ ගෙවී ඇති කාලය වසර 50කට ආසන්න බැවිනි.

කොළඹ විශ්වවිද්‍යාලය බි්‍රතාන්‍ය පාලන සමයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස 1921 දී ආරම්භ කරන ලදී. එවකට එය හැඳින්වූයේ කොළඹ යුනිවර්සිටි කොලීජිය වශයෙනි. 1870 දී බිහිවූ වෛද්‍ය විද්‍යාලය පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්විය. දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 10න් එකක් ලෙස එය කීර්තිය හිමි කරගෙන ඇත. කොළඹ නගර සැලසුම තුළ අක්කර 50ක භූමිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් වෙන්කොට ඊට අදාළ ගොඩනැඟිලි ඉදිකරවන ලද්දේ බි්‍රතාන්‍ය පාලකයන් විසිනි. මහාචාර්ය අයිවර් ජෙනිංස් එවකට කොළඹ යුනිවර් සිටි කොලීජියේ උප කුලපති විය. (1940-1954)

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon