සිරගෙදර සිටින භික්ෂුවක් බි්‍රතාන්‍ය ආණ්ඩුවට බැන වදිමින් කොමියුනිස්ට්වාදය ප්‍රචාරය කරනවා

  👤  2455 readers have read this article !
2019-03-03

එදා මගේ හිතට පී්‍රතිමත් දවසකි. සිරගෙයි තවත් කාමරයක සුදු තරුණයෙක් සිටියේය. මගේ කතාව අසා සිටි හෙතෙම මා වෙත පැමිණ අතට අත දී පී්‍රතිය ප්‍රකාශ කොට තමා එංගලන්තයේ තරුණ කොමියුනිස්ට් සමාජයේ සාමාජිකයකු බව කියා මා කී දෙය තදින්ම අනුමත කරන බව කියා සිටියේය. ඔහු හිර කර සිටියේ උසස් යුද්ධ නිලධාරියකුට අකීකරු වීම නිසයි. එදා සවස 4ට පමණ යුද හමුදාවේ නායකයන් කිහිපදෙනෙක් මුලදී කී සුදු බයිසිකල් හොරා බැලීමට පැමිණියෝය. ඔවුන් සමඟ කතා කළ බයිසිකල් හොරා කිසිසේත් ඒ හිරගෙදර නැවතීමට බැරි බව කියා එසේ ඔහු එහිම නවත්වා ගියහොත් පසුදින උදේට ජීවත් නොවන බව ද කීවේය. පසුව හිරගෙදර නිලධාරීන් සමඟ සාකච්ඡා කළ යුද්ධ නිලධාරීහු බයිසිකල් හොරා වැලිකඩ මහ හිරගෙදරට ගෙන ගියහ.

බයිසිකල් හොරාගේ පැන යෑමේ රහස මට දැන ගැනීමට හැකි වූයේ ඊට දින කිහිපයකට පසුවයි. එනම් එදා උදේ ප්‍රවෘත්ති පත්‍රවල විශාල අකුරින් පළවී තිබුණ ප්‍රවෘත්තියක් නිසයි. "ඊයේ බයිසිකල් සොරකම් කිරීම සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කළ ඉංගී්‍රසි සොල්දාදුවෙක් රිමාන්ඩ් හිර ගෙදරදී එහි හිර දඬුවම් විඳින කොමියුනිස්ට් භික්ෂුවක් තමාටත් බි්‍රතාන්‍ය ආණ්ඩුවටත් විරුද්ධව බැන වැදුණු බව ද ඒ භික්ෂුව එහි නැවතී සිට කොමියුනිස්ට්වාදය ප්‍රචාරය කරන බවද දැන්වීය" මේ ප්‍රවෘත්තිය කියවූ මම පුදුම වූයෙමි. ඔහු එදා මා සිටි හිරගෙදරින් ඒ අන්දමට අනික් හිරගෙදරට ගියේ ද මා සමඟ අසතුටින් බව තේරුම් ගතිමි. එහෙත් මේ ප්‍රවෘත්තිය කියවා අප බියට පත් වූයේ මීළඟට මේ සම්බන්ධයෙන් ගත යුතු මඟ කිමෙක්ද යන්න ගැනයි.

වැඩි වෙලාවක් ගත නොවීය. හිරගෙදර භාරකාර ආදිහෙට්ටි මහතා පැමිණ පත්‍රයේ පළ වූ ප්‍රවෘත්තිය ගැන කියා තවත් දෙපැයකින් පමණ විභාගයක් පැවැත්වීමට හිර ගෙදර නිලධාරීන් කිහිපදෙනකු පැමිණෙන බව ද, ඊට උත්තර දිය යුතු අන්දම ද පැහැදිලි කොට දී ගියේය.

එහෙත් ආදිහෙට්ටි මහතා කී කරුණුත් ඊට තවත් දේශපාලන කරුණු කිහිපයකුත් එකතු කර පිළිතුරු දීමට මම ඉටා ගතිමි. වැඩි වෙලාවක් ගෙවුණේ නැත. මම හිරගෙදර කාර්යාලයට කැඳවනු ලැබීය. එහි සුදු යුද්ධ හමුදාවේ නිලධාරියෙක්ද විය. මම ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් සුදු හිරකරු කළු මිනිසුන්ට බැන වැදුණු සැටිත්, ඔහු රජ පෙළපතේ කෙනකු බව කියා තමාට විශේෂ සැලකිලි ඉල්ලා සිටි සැටිත් ඒ අවස්ථාවේදී මා තුළ ද මඳ කෝපයක් ඇති වී යම් යම් දේ කීමට සිදු වූ බව කීවෙමි. වැඩි විස්තර අවශ්‍ය නම් මා සිටින කාමර පෙළේ තව සුද්දකු සිටින බව කියා ඔහුගෙන් ද විමසන ලෙස කීවෙමි. ඒ සුද්දා ද කැඳවූහ. හෙතෙම මා කී දේ අනුමත කළේය. නිලධාරීන් වාර්තාවක් පිළියෙල කරගෙන ගිය නමුත් ඒ ගැන කිසිදු තොරතුරක් දැන ගන්නට ලැබුණේ නැත. උසාවියට කළ ඒ ප්‍රකාශය ගැන හිරගෙදර නිලධාරීන්ගේ වාර්තාවෙන්ම ආණ්ඩුව සතුටු වූ බව පසුව දැනගත්තෙමි.

වරක් හෝමාගමට අයත් මාගම්මන පෙදෙසේ ගම් මුලාදෑනියෙක් මිනීමැරුමකට අසු වී රිමාන්ඩ් හිරගෙදරට ආවේය. හෙතෙම තේජස්වී කෙනෙකි. හිරගෙදර සාමාන්‍ය නිලධාරීන් ගැන නොතැකූයේ ඔහු ජේ.ඇල්. කොතලාවල මහතාගේ මිනිහෙක් නිසාලු. ඔහු මා සමඟ කතා කළේ කිසිම ගණනකටවත් නොගනිමින්ය. "හාමුදුරුවෝ මේ කොහේද...? මොකද? පන්සල අතහැරලා මෙහේ සල්ලිවත් අච්චු ගැහැව්වද?

ඕනෑ දෙයක් මට කියන්න මේ හිරගෙදර මට කරන්න බැරි දෙයක් නැහැ. කොතලාවල මහත්තයා මම කියන ඕනෑ දේකට කීකරු වෙනවා.

උන්නැහේ හිරගෙදර ලොක්කන්ට කියලා තියෙනවා මා ගැන බලාගන්න. හාමුදුරුවන්ට ඕනෑ දෙයක් කියන්න කරලා දෙන්න ඇහැකි" මෙසේ කීවේ දුම්වැටියකුත් උරමිනි. හිරගෙදර දුම්බීම, බුලත් කෑම සපුරා තහනම්. නමුත් ඔහු එසේ කළේ හිර ගෙදර ලොක්කාට කොතලාවල මහතා ඔහු ගැන බලාගන්නට නියම කර තිබුණු නිසා බව දැන ගතිමි. එහෙත් හිරගෙදර ලොක්කාට වඩා බලයක් හිරගෙදර සාමාන්‍ය මුලාදෑනීන්ට තිබෙන බව මාගම්මන මුලාදෑනි තැන දැන සිටියේ නැත. ඒ වෙලාවේම සාමාන්‍ය මුලාදෑනියෙක් පැමිණියේය. මාගම්මන මුලාදෑනි තැන දුම්වැටිය උරමින් සිටියේ අර ගමේ සිටින දවස්වල තිබුණු උසස්කමත් හිතේ තබාගෙනය. හිරගෙදර සුළු මුලාදෑනියා ඔහු දෙස හෙළුවේ මඳක් කර්කශ බැල්මකි. "මොකද ඕයි සිගරැට් බොන්න හිරගෙදර නීතියක් නැති බව තමුසෙ දන්නේ නැද්ද..?"
විමසීය.

"මගේ දුම්බීම නවත්තවන්න තමුසෙට බැහැ. මට හිරගෙදර ලොක්කා අවසර දීලා තිබෙනවා" ගම්මුලාදෑනියා මෙසේ කියත්ම හිරගෙදර මුලාදෑනියා එක වරටම ඔහුගේ කනට පහරක් දී බෙල්ලෙන් අල්ලා ඇදගෙන ගොස් කාමරයක් තුළ දමා ‍ෙදාර වසා යන්නට ගියේය. ටික වේලාවකින් හිරගෙදර ජේලර් මහතාත් සමඟ පැමිණ නඩුව කීය. ජේලර් මහතා නඩුව ලියාගෙන ඔහු වසා තබා යන්නට ගියේය. පසු දින නඩු අසා ඔහු දවස් හතක් කාමරයක වසා තැබිය යුතු යැයි නියම කළේය. මට ද සාක්කි කියන්නට සිදුවිය. ඊට පසු සුළු මුලාදෑනියෙක් පැමිණ "අඩෝ ගම්මුලාදෑනියො කියාපිය තොගෙ ලොක්කට අපි තෝ කාමරයට දාමා වැසුවයි කියා. දැනගනින් ජඩය හිරගෙදර පාලනය කරන්නේ ලොක්කො නොවන බවයි" කියමින් ගණන්කාරයාට බැන වැදුණේය.

හිරගෙදරවල නඩු පුදුමයි. ඒවා විසඳීම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු විසඳීම්වලට දෙවැනි නැත.

මුදල් ඇත්නම් හිරගෙදර ලබාගත නොහැකි සැපතක් නැත. කොළඹ ළඟ සමහර හිරකරුවෝ අරෝග්‍යශාලාවට යන බව කියා ගෙවල පවා සංචාරය කොට ආපසු එති. මුදල් ඇති තැනැත්තාට ඒ හිරගෙදරක් නොවේ.
කෙස් රැවුල් කපන බාබර් හරිම ජාවාරම්කාරයෙකි. කීයක් නමුත් අතේ නොතබා ඔහු ළඟට හිරකරුවෝ ළං නොවෙති. මුදල් කීයක් හෝ දෙන අයගේ කෙස් රැවුල් හොඳ පිහියකින් කපන අතර අතමිට නැත්තවුන්ගේ රැවුල් කපන්නේ මැරිච්ච මිනිසුන් පවා පණ ගන්වන මොට්ට පිහියාවලිනි.

දේශප්‍රේමය අධිරාජ්‍යවාදීන්ගේ දෑසට පෙනෙනුයේ දරුණු අපරාධයක් වශයෙනි. මේ අපරාධය නිසා අධිරාජවාදීන්ගේ අසිපතට අසුවී මියගියවුන්ගේ සංඛ්‍යාව අනන්තය. අදත් යටත් විජිතයන්හි දේශප්‍රේමීන්ට කිසිදු නිදහසක් නැත. ඔවුහු තවමත් හිරගෙවල දුක් විඳිති. නිදහස් රටවලත් ප්‍රතිගාමීහු දේශප්‍රේමීන්ට කරන අතවර සීමාවක් නැත.

මා හිරගෙයින් නිදහස් වූයේ 1941 ජුනි මාසයේ අවසානයේ දීය.

මා විමුක්ති සටනින් බැහැර යෙතැයි ඇතැම් අධිරාජ්‍යවාදීන් සිතූ නමුත් එසේ නොවීම ඔවුන්ගේ පුදුමයට හේතු විය.

හිරගෙදරින් නිදහස්ව මා කෙළින්ම ගියේ කොටා රෝඩ්හි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයටයි.

මා හිරගෙදරින් පිටත ආවාට පසු හික්කඩුවේ පැරකුම් නිවෙසේ සිටි ශ්‍රී මතී අභයගුණවර්ධන මැතිනිය ඇතුළු පළාතේවාසීන් විසින් පිළිගැනීමේ උත්සවයක්ද පවත්වන ලදී. මෙබඳු පිළිගැනීම් උත්සව කිහිප තැනකම පවත්වන ලද නමුත් මම ඒවා එතරම් උසස් කොට නොතැකීමි. එසේම රාජදෝහියකු වශයෙන්, ඉංගී්‍රසින්ගේ හතුරකු වශයෙන් හිරගෙදර සිට පැමිණි මා සමඟ කථා කිරීමට පවා ඇතැම් ගිහි පැවිදි සිංහලයෝ අකැමැති වූහ. අප්‍රිය කළහ.

මා බන්ධනාගාරයෙන් පිට වන විට රටේ තත්ත්වය බොහෝ දුරට වෙනස් ව තිබිණි. යුද්ධය එසේම පැවැතියේය. හාල් සේරුව රු. 2.50 දක්වා නැඟ තිබිණි.

කඩබක්කි හිස්ව තිබුණේය. තරුණයන් වැඩි වශයෙන් යුද හමුදාවට බැඳීම නිසා රැකී රක්ෂා හිඟයක් පෙනෙන්නට නොතිබිණි. මුදල් කොළ ශත දෙකේ, තුනේ, පහේ, දහයේ ඒවා රට පුරා පැතිර තිබුණේය. කවදාවත් මුදල් නුදුටු අය අත කොළ මිටි ගොඩ ගැසී තිබුණු අතර ජනයා හොඳට වියදම් කිරීමට පුරුදුව සිටියෝය. ජාවාරම්, ගසාකෑම්, හොරකම්, තක්කඩිකම්, වංචා, ප්‍රයෝග නා නා රටවලින් පැමිණ සිටි විවිධ අදහස්වලින් යුත් ජනයා ආශ්‍රය කිරීමෙන් අප රට අහිංසක ජනයාට පවා පුරුදු ව තිබිණි. එසේම නිලධාරීන්ට සුද්දන්ට තිබුණ භය සැක ද දුරුව ගොස් තිබුණේ ඔවුන් ළඟින් ආශ්‍රය කරමින් එක පතේ ලුණු කෑ නිසා යැයි සිතිය හැකියි.

ශි්‍රයානි අජන්තා විතාන 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon