ඩීල් ගැන්සිය

  👤  3605 readers have read this article !
2019-02-28

"නායකතුමාගෙයි වටේ ඉන්න සෙට් එකෙයි ඩීල් දැමිල්ල නතර වෙනකන් යූඑන්පීය ගොඩ ගන්න බෑ" යූඑන්පීයේ පසුපෙළ මන්ත්‍රිවරයෙක් පසුගියදා මා සමඟ පැවැසුවේ දැඩි කලකිරීමකින් ය. රනිල් ඇතුළු ගැන්සිය යූඑන්පීයේ ඩීල් උප සංස්කෘතියක් හදන්න පටන් ගත්තේ අද ඊයෙක නොවේ ය. රනිල්ගේ නායකත්වයට සහ නොහැකියාවට එරෙහිව නැඟී සිටි යූඑන්පී බලවේග ම¾ඩින්න රනිල්, සන්ධාන ආණ්ඩුව එක්ක ඩීල් දැම්මේ ය. සන්ධාන ආණ්ඩුව ගෙදර යවන්න රනිල්, චන්ද්‍රිකා එක්ක ඩීල් දැම්මේ ය. සජිත්ව කපලා කපලා, සජිත් ඔළුව උස්සන්න හදනකොට සජිත්ගේ කරට අත දා ගත්තේ ය.

රට හදන එක පැත්තක තියලා හා හා පුරා යහපාලන ආණ්ඩුව පිහිටුවූ දවසේ සිටත් රනිල්ලා කළේ ඩීල් දාන එක ය. මෛත්‍රිට කන්කෙඳිරි ගාලා කොහොම හරි අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති පුටුවේ වාඩි කළේ ය. මාස 3ක් යන්න කලින් මහ බැංකු බැඳුම්කර මහා කොල්ලය සිද්ධ වුණේ ය. ජනපති කොමිසම හරහා ඩීල් එකේ ඇත්ත නැත්ත එළියට එනකොට බෑණාව උකසට තියලා මහේන්ද්‍රන් රටින් පැනගත්තේ ය. මහේන්ද්‍රන්ව මහ බැංකු මහ පුටුවේ වාඩි කරවපු රනිල්ගේ කටේ දැන් පිට්ටු ය. මහේන්ද්‍රන් පැනගත්තේ සිංගප්පූරුවට ය. මහේන්ද්‍රන් සිංගප්පූරුවට පැනගෙන වැඩි දවසක් යන්නට කලින් සිංගප්පූරු ගිවිසුම කරළියට ආවේ ය. හැංගි හැංගි වෙස් බැන්දාට නටන්නට වෙන්නේ එළියේ ය. කොළේ වහලා ගහපු සිංගප්පූරු ගිවිසුමේ භයානක කම තේරුම් ගත් මෛත්‍රි වහාම ගිවිසුමට එරෙහිව පියවර ගත්තේ ය. සිංගප්පූරු ඩීල් එකටත් කලින් රනිල් ඉස්සෙල්ලාම නා ගත්තේ ඉන්දියාවත් එක්ක ගහන්න ගිය එට්කා ඩීල් එකෙන් ය. මෙයාලාට ඩීල් ගහනවාට වඩා දෙයක් නැත.

ලී ක්වාන් යූලා, මාර්ෂල් ටිටෝලා රටවල් හැදුවේ මේ වගේ ඩීල් දාලා නොවේ ය.

රනිල්ලා මේ ඩීල් දැම්මේ ආර්ථික කළමනාකරණ කමිටුවේ රෙද්ද අස්සේ රිංගාගෙන ය. ආර්ථික කළමනාකරණකමිටුවේ රෙද්ද ගැලවෙන්න වැඩි දවසක් ගියේ නැත. වොක්ස්වැගන් ඩීල් එක, හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ ඩීල් එක රට නොමඟ යවන වැඩ බව මෛත්‍රි කීවේ ය. තමා ජපානයට ගිය වෙලාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් හදන්න භාර දුන්නු ජපන් සමාගමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළ බවත් එවිට ඔවුන් සිටියේ ජපානයේ හිර ගෙදර බවත් මෛත්‍රි හෙළි කළේ ය. කරුණු කාරණා සිද්ධ වුණේ එහෙම ය.

මේ දවස්වල කරළියේ රඟ දෙන අලුත්ම ඩීල් එක ඊටීඅයි ඩීල් එක ය. ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනවල කඩා වැටීමත් සමඟ මහ බැංකුව යටතට පවරා ගත් එම ආයතන දෙක ඇමෙරිකන් ඩොලර් මිලියන 75කට විදේශීය සමාගමකට විකුණා දැමීමට තීරණය විණි. දේශීය ඉල්ලුම්කරුවන්ටත් කොළේ වහලා හැංගි හැංගි ගහපු ඒ ඩීල් එකෙත් රෙද්ද දැන් ගැලවී හමාර ය.
ඊ.ටී.අයි. ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව පසුගිය 26 වැනිදා ජාතික ආර්ථික සභාව රැස්වූ අවස්ථාවේදී මෛත්‍රි කීවේ ය. මෛත්‍රි, ඩීල් එකට සම්බන්ධ අයව පතුරු ගැහුවේ ය. මේ පෙටිගෝ කියන ආයතනය මොකක්ද? මේ ආයතනය ගැන සෙව්වේ නැද්ද? සෙව්වේ නැත්තේ ඇයි? සුභාෂ්කරන් අල්ලිරාජාට මේක දෙන්න තීරණය කළේ කොහොමද? ඔහු ගැන නොසොයා මේ ගනුදෙනුව සිදුකළේ ඇයි? රටේ මිනිසුන්ගේ සල්ලි නේද මේවයේ ආයෝජනය කරලා තියෙන්නේ? අල්ලිරාජලාට මේ ගනුදෙනුව කරන්න සල්ලි කොහෙන්ද කියලා සොයා බැලුවේ නැත්තේ ඇයි? මෙහෙම ඩීල් දාන්න පුළුවන්ද? මේක රටට බලපාන ප්‍රශ්නයක්, මේවා මහජනතාවගේ සල්ලි." මෛත්‍රිගේ මේ ප්‍රශ්න ටිකට කට්ටියකට උත්තර නැති වුණේ ය.

ගැනුම්කාර විදේශීය සමාගම එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60කට සිදුකිරීමට එකඟ වෙද්දී දේශීය සමාගම එය ඇමෙරිකානු ඩොලර් මිලියන 61කට මිලදී ගැනීමට එකඟ වී තිබෙනවා නේද? කියා මෛත්‍රි ඇසූ ප්‍රශ්නයට අදාළ පාර්ශ්වයේ උත්තරය වී තිබෙන්නේ, දේශීය ආයතනයක් ඉදිරිපත් වුණේ නැහැ යන්න ය. දේශීය සමාගමට කිසිදු දැනුවත් කිරීමක් හෝ නොකර එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට විදේශීය සමාගමක් සිදු කළේ ඇයි? කියා මෛත්‍රි ඇසූ විට කට්ටියගේ කටවල් ලොක් වුණේ ය. එසේම එම ගනුදෙනුවේදී ආයෝජනය කළ යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 12 සම්බන්ධවත් පෙබරවාරි 22 වෙද්දී ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදල සම්බන්ධවත් මෛත්‍රි ප්‍රශ්න කිරීමේදී අදාළ පාර්ශ්වවලට නිහඬ වීම හැර වෙන විකල්පයක් නොවී ය.

පසුගිය පෙබරවාරි 22 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පෞද්ගලික සමාගම මිලට ගත යුතු නැති බව දන්වා සුභාෂ්කරන් අල්ලිරාජාට ලිපියක් යොමු කළේ ඇයි? කියා මෛත්‍රි ඇසූ ප්‍රශ්නයටද අදාළ පාර්ශ්වයන්ට නිහඬ වීම හැර අන් විකල්පයක් තිබීනැත.

ගනුදෙනුවේ පොරොන්දු ගාණ ඇ.ඩො. මිලියන 75කි. ගෙවලා තියෙන්නේ 54කි. මහ බැංකුව කියන්නේ ගෙවන්න තියෙන්නේ තව ඇ.ඩො. මිලියන 16ක් පමණක් බව ය. 54යි 16යි එකතුව 70ක් ය. ඉතිරි ඇ.ඩො. මිලියන 05ට වුණේ මොකක් ද? කියන්නට දන්නේ නැත. ඒත් පසුගියදා වාර්තා වුණේ ඒ ඇ.ඩො. මිලියන 05 මෙරට පිරිසක් අතර බෙදී ගොස් ඇති බව ය. ඒකෙනුත් 3ක් මෙරට විශ්‍රාමික ප්‍රබල දේශපාලන චරිතයක් අතට ගිය බව ය.

පසුගියදා විමල් වීරවංශ, මාධ්‍යට හෙළිදරව්වක් කළේ ය. "ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය සතුව සෝමා එදිරිසිංහ මැතිනිය මිය යෑමට පෙර ආයතන රැසක් තිබුණා. එහි කඩා වැටුණු මූල්‍ය ආයතනය හැර අනෙකුත් ආයතන සියල්ලම පාහේ මහ බැංකු අධිපතිවරයාගේ ආශීර්වාදය මෙන්ම ආණ්ඩුවේ අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ආශීර්වාදයයටතේ සුභාෂ්කරන් අල්ලිරාජා හෙවත් කුප්‍රකට ලයිකා මොබයිල් කියන ආයතනයේ අධිපතිත්වය දරන්නාගේ සමාගමකට ඉතාමත් අඩු ලංසුවකට ලබා දෙනු ලැබුවා.

මේ ගනුදෙනුව ප්‍රථමයෙන්ම සිදුවන අවස්ථාවේදී ඒ දේපළවල වටිනාකම තක්සේරු කරන්නේ ඇමෙරිකානුඩොලර් මිලියන 55කට. ඊට වඩා වැඩි ලංසුවකට දේශීය ව්‍යාපාරයක් වන ශ්‍රී ක්‍රිෂ්ණ ඉන්වෙස්ට්මන් සමාගම විසින් ඉදිරිපත් වෙනවා. ඉන්පසුව මේක ලයිකා මොබයිල් හිමිකරුට ලබා දීම සඳහා කරන්නේ මීට තවත් දේපළ ප්‍රමාණයක් එකතු කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 60කට මේකෙ වටිනාකම තක්සේරු කිරීමයි. ඉන්පසුව දේශීය ව්‍යාපාරිකයා මේක ඇමෙරිකානු ඩොලර් මිලියන 61කට ලබා ගැනීමට ඉදිරිපත් වෙනවා.

පසුව සිදුවන්නේ නැවතත් තවත් දේපළ ප්‍රමාණයක් මීට ඇතුළත් කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට වටිනාකම වැඩිකරලා දේශීය ව්‍යාපාරිකයාට මෙය ගැනීමට ඇති ඉඩ කඩ අහුරනවා. එසේ දේශීය ව්‍යාපාරිකයාට මෙය ගැනීමට නොහැකිවන සේ කටයුතු සම්පාදනය කොට කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඉතාම සූක්ෂ්ම ලෙස ලයිකා මොබයිල් ආයතනයේ අධිපති සුභාෂ්කරන් අල්ලිරාජා කියන ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණය චෝදනාව යටතේ ඒ රටවල ව්‍යාපාර කටයුතු සඳහා වද්දානොගත්, මෙන්ම ත්‍රස්තවාදී අරමුදල් ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගැනීම කියන චෝදනාව යටතේ ඒ රටවල ව්‍යාපාර කටයුතු සඳහා අවස්ථාව නොදෙන පුද්ගලයාගේ සමාගමට ඉඩ වෙන් කර දෙනවා.

සුභාෂ්කරන් අල්ලිරාජාට අයත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් කොටි සල්ලිවලින් හදපු ලයිකා මොබයිල් ආයතනයේ අධිපතිවරයාගේ සමාගමකට තමයි මෙසේ දේශීය ව්‍යාපාරිකයාට අවසාන වශයෙන් ඉදිරිපත් වීමට තිබූ අවස්ථාවත් නැති කරලා ඉතාමත් සැලසුම් සහගතව කොටස් වශයෙන් මුදල් ගෙවීමේ පදනම මත සියලු ආයතන පවරනු ලබන්නේ.

මේ තමයි ඒ කූට ගනුදෙනුව සිදුවෙච්ච වංචනික ආකාරය. මොවුන් මුලින්ම මහ බැංකුවට ලයිකා මොබයිල් සම්බන්ධය පෙන්නන්නෙ නෑ. අපට තිබෙන තොරතුරුවලට අනුව ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන පුද්ගලයෙක් උපදෙස් දුන්නා සුභාෂ්කරන් අල්ලිරාජාගේ සම්බන්ධය නොපෙනෙන ආකාරයට මේ ගනුදෙනුවට අවතීර්ණ වෙන්න කියලා.

සුභාෂ්කරන් අල්ලිරාජාගේ හිතවතුන් දෙදෙනෙක් ඇතුළත් කරලා ආයෝජකයකු ලෙස සිංගප්පූරුව පදනම් කරගත් ආයතනයක් වන බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පෞද්.) සමාගම කියන ආයතනයයි මේ මිලදී ගැනීම් සඳහා ඉදිරිපත් වන්නේ.

මීට මහ බැංකු අනුමැතිය එනතුරු, ඒ කියන්නේ 2018/01/12 වන තුරු මිලදී ගත් ආයතන තිබුණේ බ්ලූ සමිට් සමාගම සතුවයි. 2018/07/05 වන විට බ්ලූ සමිට් එක සතුව 100% ක්ම තිබුණු කොටස්වලින් 59.9%ක් ඔවුන් විකුණනවා පෙටිගෝ කියන සමාගමට. තවත් සුළු සුළු කොටස් කිහිපයකුත් විකුණනවා. එහිදී එක් ආයෝජකයකුට 0.1%, ජේ.එස්. එනර්ජි සමාගමට 39.9% ක් ලෙසින් සුළු සුළු කොටස් විකුණුවද වැඩිම කොටස් ප්‍රමාණය පෙටිගෝ කියන සමාගමට ලබා දෙනවා.

2018 ජූලි 24 වැනිදා වන විට බ්ලූ සමිට් සමාගමේ 100%ක් පෙටිගෝ කියන සමාගමට ලබා දෙනවා. මේ පෙටිගෝ කියන ආයතනයේ හිමිකරුවන් තමයි සුභාෂ්කරන් අල්ලිරාජා සහ ඔහුගේ බිරිය."

රනිල්-චන්ද්‍රිකා දෙන්නාම තකට තක ය. මහ බැංකු අධිපතිකමට අර්ජුන මහේන්ද්‍රන් රෙකමන්ඩ් කළේ රනිල් ය. මහේන්ද්‍රන් යටතේ රටට වුණු පාඩුව කියා නිමකළ නොහැකි ය. මහ බැංකු අධිපතිකමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව යෝජනා කළේ චන්ද්‍රිකා ය. කුමාරස්වාමිගේ නැඟණිය චන්ද්‍රිකාගේ ගජ මිතුරියක් ය. එහෙම බැලුවාම චන්ද්‍රිකා ගෙනාපු මහ බැංකු අධිපතිත් කරන්නට යන්නේ රනිල් ගෙනාපු මහ බැංකු අධිපති කරපු දේමද? කියන්නට දන්නේ නැත.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon