ව්‍යවස්ථාදායක සභාව විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමේදී ජේ‍යෂ්ඨත්වය නොසලකා පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්.

  👤  2894 readers have read this article !
2019-02-22

(පාර්ලිමේන්තුව අද (22දා) පෙරවරු 10.30ට යළි රැස්වෙයි.)

ජේ.ටී. ද සිල්වා
පහන් විජේසේකර

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සංයුතිය
වහාම වෙනස්
කළ යුතුයි - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

ඉෂාරා සිල්වා

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සංයුතිය වහාම වෙනස් කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු අවධාරණය කර සිටින්නේ මෙම ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළ කිසිදු ස්වාධීනත්වයක් නොමැති බවයි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයන්, අගමැතිවරයා සහ ඔහුගේ නියෝජිතයන්, විපක්ෂ නායකවරයා සහ ඔහුගේ නියෝජිතයන්, දේශපාලන පක්ෂවල නියෝජිතයන් සිටින ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ස්වාධීන වන්නේ කෙසේදැයි තමන් ප්‍රශ්න කරන බවද විපක්ෂ නායකවරයා පැවැසුවේය.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (21දා) එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ස්වාධීන ලෙස
විධායක බලතල රැකෙන අධිකරණයක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායක
සභාව
ක්‍රියා කරනවා - රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න

ස්වාධීන ලෙස විධායක බලතල රැකෙන පරිදි අධිකරණයක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න කියයි.
ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න නම් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ත්‍රිත්වයටම බලය ලැබිය යුතුයි. කවුරු මේ ජනාධිපතිවරයාගෙ ක්‍රියා කලාපය විවේචනය කළත් ඉතිහාසය ලිවීමේදී ජනාධිපතිවරයා ලබාගත් විශාල ජයග්‍රහණයක්.

19 වැනි සංශෝධන සම්මත කර ගැනීම පිළිබඳව සමස්ත පාර්ලිමේන්තුවට ස්තුතිවන්ත විය යුතුයි.

ශිරාණි බණ්ඩාරනායක මැතිනිය තනතුරින් ඉවත් කළේ වැරැදි විදියට. මේ සභාවට ස්වාධීන පුද්ගලයන් පත් කිරීමේදී ශ්‍රී ලනිපය තමයි නම් කළේ. කවුරුන් පත් කළත් ඔවුන් ස්වාධීනව කටයුතු කළා.
ජේ‍යෂ්ඨත්වය පමණක් තීරණාත්මක සාධකය විය යුතු නැහැ. අධ්‍යාපන සුදුසුකම්,

කාර්යක්ෂම භාවය, ස්වාධීන තීන්දු දී ඇති ඉතිහාසය යන කරුණු සියල්ලම සැලකිල්ලට ගත යුතුයි. ජේ‍යෂ්ඨත්වය පමණක් නම් ජනාධිපතිට නම් ටිකක් යවලා නතර වෙන්න තිබුණා.

අභියාචනා අධිකරණයේ තනතුරු සම්බන්ධයෙන් කථානායකට නරක විදියට චෝදනා ආවා. අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව හා නීතිඥ සංගමය නම් ගණනාවක් යෝජනා කර තිබුණා. හැමෝටම ගරු කටයුතු කෙනෙක් පත් කරන්නයි අපි තීරණය කළේ. එදා ජනාධිපතිගේ සහෝදරයාට විරුද්ධව අධිකරණ තීන්දුව දුන්නම මොකද වුණේ කියලා අපි දන්නවා.

නීතියේ ආධිපත්‍යයට මුල් තැන දීලා ස්වාධීනව විධායක බලතල රැකෙන පරිදි අධිකරණය ක්‍රියාත්මක කිරීමටයි අපි එකතු වෙලා වැඩ කළ යුත්තේ.

ව්‍යවස්ථාදායක
සභාවේ සාමාජිකයන්
නම්බු පිටින්
ඉල්ලා අස්වෙන්න - වාසුදේව නානායක්කාර

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් නම්බු පිටින් ඉල්ලා අස්විය යුතුව ඇතැයි එජනිස මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

මේ ගොල්ලෝ පළාත් පාලන ඡන්දය කල් දානකොට ඒකත් ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රාජිත සේනාරත්නගේ කටින් මොනාද වැක්කෙරෙන්නේ කියලා බැලුවා.

දී කිරට බළලුත් සාක්ෂි කියනවා වගේ. විජිත හේරත් මහත්තයාගේ කතාවක් තිබුණා. කථානායකතුමත් එජාපයේ නියෝජ්‍ය නායකයා. සම්පන්දන් එජාපය වෙනුවෙන් විපක්ෂ නායකකම භාරගත් කෙනා. විපක්ෂ නායකතුමාගේත්, අගමැතිතුමාගේත් නොවන රෑ දවල් නොබලා කඩේ ගිය ජවිපෙ සාමාජිකයෙක්. එහෙම බැලුවාම 10 දෙනාගෙන් 7 දෙනෙක්ම එජාපයේ අය. මේ කට්ටිය එකතු වෙලා හදාගන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයට කියනවා අපක්ෂපාතී මණ්ඩලය කියලා. සාමාන්‍යයෙන් රාජිත සේනාරත්න ඕවට නැඟී හිටින්නේ නෑ.

මේක තමයි ධනපති පන්තියේ ආත්ම වංචාව. තමන්ගේ පන්තිය වෙනුවෙන් සේවය කර ගන්නවා. හැමෝටම දේශපාලන කාර්යයක් තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26දා උසාවියට දුවගෙන ගියා. සමාජය දෙපැත්තකට බෙදුණා. නමුත් හරිද වැරැදිද කියලා ඡන්දයකට යන්න සමහරු බය වුණා.

අපිට මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ ගත්ත තීන්දු තීරණ ගැන හරි වැරැද්ද කතා කරන්න අද ඉතුරු වුණේ පාර්ලිමේන්තුව තුළ අපි ඒක තියා ගත්ත නිසා. සිවිල් සමාජයට, අධිකරණයට මුවා වෙලා තමුන්නාන්සේලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැහැර ගන්නවා.

ව්‍යවස්ථාදායක සභාවේ අතිවිශාල බහුතරය එජාපය හෝ ඔවුන්ට සේවය කරන්නේ. ඒ බලය තබාගෙන තමුන් කටයුතු කරනවා. පක්ෂ අය තමුන්ට ඡන්දය දෙනවා. අපි විරුද්ධව දෙනවා. තමුන්නාන්සේලාගේ අනුමැතියට ගෝචර වුණු අය පක්ෂව ඡන්දය දෙනවා. තමුන් සියලු දෙනා නම්බු පිටින් මේ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්විය යුතුයි.

ව්‍යවස්ථා සභාව ශක්තිමත් කිරීමට පියවර ගන්නවා මිස ආපස්සට දාන්න බෑ - විජිත හේරත්

ව්‍යවස්ථා සභාව කියන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා මිසක් ආපස්සට දාන්න බැහැයි ජවිපෙ පාර්ලිමේන්තුª මන්ත්‍රි විජිත හේරත් පැවසීය.

19 වැනි සංශෝධනය ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තමන්ගේ බලතල අඩු කරගන්න. එජනිසයේ බහුතරයක් මේ 19 වැනි සංශෝධනයට අත ඉස්සුවා. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සංයුතියට අනුව යම් වෙනසක් ඇති කළා.

මොහාන් පීරිස් අගවිනිසුරුතුමා ඒ ධුරයෙන් ඉවත් වුණාට පස්සේ මාව නැවත පත් කරන්න මං ඔබතුමන්ලාට ඕන විදියට නඩු තීන්දු දෙන්නම් කියලා ජනාධිපතිතුමාට කිව්වා කියලා රටට කිව්වේ කවුද? මෛත්‍රිපාල ජනාධිපතිතුමා. ඒ අතීතය අපිට මතකයි. ඒ තනතුරට පත් කරපු සුදුසු නැති අය ඉන්නවා.

මීට පෙර 17 වැනි සංශෝධනය වුණු වෙලාවේ එදා අනුමත කළ නිර්ණායක පාවිච්චි කරමු කියලා සම්මත වුණා. මේවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා ඒ අනුව තමයි මේ සියලු පත්කිරීම් සිද්ධ වුණේ.

ජේ‍යෂ්ඨතාව විතරක් සලකනව නම් ව්‍යවස්ථාදායක සභාව ඕනෙත් නෑ. ජේ‍යෂ්ඨතාව මත තමන්ට උසස් වීමක් ලැබෙනවා කියලා නඩු තීන්දු මඟ හැරලා තියෙනවාද? සිය ධුරයට අනුව කටයුතු කරලා තියෙනවද? නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එවිටයි නියම ඇගයීමක් වෙන්නේ.

එවැනි පරීක්ෂාවකට ලක් කිරීමේ ක්‍රමවේදයක් නිසා තමයි මෙවැනි නිර්ණායක ඔස්සේ ලකුණු දීම් වැනි දේවල් හරහා පත්වීම් ලැබෙන්නේ.

නීතිපතිවරයා තෝරද්දී සුහද ගම්ලත්ට වඩා ජයන්ත ජයසූරිය මහත්තයා සුදුසු වුණේ කොහොමද? සුහද ගම්ලත් වසර 8ක්ම අමාත්‍යාංශ ලේකම් කෙනෙක් විදියට වැඩ කරලා තිබුණේ. කවුරු හරි කියනවා නම් ජේ‍යෂ්ඨත්වය නොසලකා හැරියා නම් ජනාධිපතිතුමානේ ඒ වැරැද්ද කරලා තියෙන්නේ.

ඒ වැරැද්ද කරලා වෙන පැත්තකට ඇඟිල්ල දික් කරනවා නම් අපි ඒක කියන්න ඕනේ. කුප්‍රකට ඇවන්ගාඩ් සිද්ධියේදී මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරුන් 3 දෙනකුගේ නම් කියැවුණා. තිලක් මාරපන ඇමැතිට ඉල්ලා අස් වෙන්න වුණා.

ස්ථාවර නියෝග 83 (1), (2) යටතේ තියෙනවා විනිසුරුවරුන්ගේ නම් හා පෞද්ගලිකත්වය ගැන කතා කරන්න බැහැ කියලා. දීපාලි විජේසුන්දර මහත්මිය පත් කරන්න කියලා කතා කරද්දී එතුමියට ස්වාධීනව ඉන්න විදියක් නෑ. මොකද එතුමිය වෙනුවෙන් පෙනී සිටින කට්ටියක් ඉන්නවා. ඒ නිසා නම් කියවීම නිසා ප්‍රශ්න ගත තත්ත්වයක් මතුවනවා.

එදා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පුටුවෙන් එළියට දාලා නඩු ඇහුවේ නීතිය දන්න අයද?

කොමිෂන් සභාවලට
විශ්‍රාමික නිලධාරීන්
පත් කරනවාට වඩා
මැදිවියේ වෘත්තිකයන්
පත් කළොත් කාර්යක්ෂමයි - ඇමැති රාජිත සේනාරත්න

ව්‍යවස්ථාදායක සභාව මඟින් කොමිෂන් සභාවලට විශ්‍රාමික නිලධාරීන් පත් කරනවාට වඩා මැදිවියේ වෘත්තිකයන් පත් කෙරෙන්නේ නම් වඩා කාර්යක්ෂම යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවැසීය.


ජනාධිපතිතුමාගේ නිර්දේශ සුදුසුකම් බලලා අනුමත කිරීම තමයි දැන් සිද්ධ වෙන්නේ. මේ ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිගේ රබර් සීල් එකක් බවට පත් කරන්නට දෙන්න හොඳ නෑ. එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය තීන්දුව වැරැදියි කියලා ශේ්‍රෂ්ඨාධිකරණයයි, අභියාචනාධිකරණයයි ඒකමතිකව තීරණය කරා.

එදා අපි ඉස්සරහම දුරකථනයෙන් කතා කරලා අධිකරණ තීන්දු ලබා ගැනීමේ අභිප්‍රායට ද ආපහු සැරසෙන්නේ...?

ඊවා වනසුන්දර මහත්මිය රාවය පුවත්පතට කියලා තිබුණා එයාට දුරකථන ඇමතුමක් ඇවිත් තිබුණා සුපර් මාර්කට් එකේදි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් එයාට පත්වීමේ දුරකථන ඇමතුම ආවේ සුපර්මාකට් එකේදි. සුපර්මාකට් එකේ පත්වීම් දීපු යුගයයි අපි අවසන් කරේ.

දැන් මේ කිසිම බුද්ධිමතකුට පිළිගත නොහැකි යෝජනා ගේන මේ අය බලය ලැබුණාම කොහොමද කටයුතු කරන්නේ කියලා හිතන්න. අඩි අටක් යට යනවා කිව්වේ අපි නෙවෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය අඩි අටක් මිහිදන් කරන යුගය නිර්මාණය කරගන්න හදන්නේ අපි නෙවෙයි.

ජනාධිපති ගාවට ගියාම එකක් කියනවා. නැති තැන එකක් කියන ජනාධිපති නීතිඥවරු ඉන්නවා. ව්‍යවස්ථාදායක සභාවට ක්‍රමවේදයක් නැතිලු. 2016 ලියුම්වලින් අපිට දැන්නුවා. 2001 ක්‍රමවේදය පාව්චිචි කරනවා මීටත් වඩා හොඳ අදහස් තියෙනවා නම් එවන්න කියලා. කිසිම අදහසක් අපට එව්වේ නැහැ. පස්සේ කියනවා ප්‍රියසාද් ඩෙප් පත් කිරීම සුදුසු නැහැ කියලා.

අභියාචනාධිකරණයේ දීපානි විජේසුන්දර මහත්මිය පත් කෙරුවාම ඒක වැරදියිලු. එයා ඉන්නකොට පී්‍රති පද්මන්ගේ නම යැව්වේ කවුද? ජනාධිපති තමුන්නාන්සේලා එක්ක අද එකතු වුණාට පස්සේ හොඳ නැතිවෙලා.


මේකත් හරියට විප්ලවය කියන එක නොනවතින අරගලයක් වගේ. ට්‍රොට්ස්කිගේ ඒ කියමන සනාථ කරන යුගයක් මේක. ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කෙරෙන

කොමිෂන් සභාවලට පත් වෙන විශ්‍රාමික අයට වඩා මැදිවියේ ඉන්න වෘත්තිකයෝ පත් කරනවා නම් මීට වඩා කාර්යක්ෂමයි.

ජාතික මර්මස්ථාන
වැනසීමට පෙර
ව්‍යවස්ථාදායක සභාව
ස්වාධීන කළ යුතුයි - උදය ගම්මන්පිල

රටේ ජාතික මර්මස්ථාන විනාශ කිරීමට පෙර ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කළ යුතු යැයි එජනිස මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

වර්තමාන ආණ්ඩුව හේවිසි ගහලා 19 වැනි සංශෝධනය ගෙනාවේ අට අනූවක් ව්‍යාධිවලට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා.

ගහක මුදුන් මුල කුණු වුණාට පස්සේ ගහට පැවැත්මක් නෑ. පොලිස්පති, නීතිපති, අධිකරණයේ විනිසුරුවන් පත් කිරීම සිදු වූ ආකාරය ගැන සැලකිල්ලට ගත යුතුයි.

ජේ‍යෂ්ඨතම නිලධාරියා හෝ පක්ෂග්‍රාහීත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් නොදී ඉන්න පුළුවන්. සුහද ගම්ලත් මහතාට නීතිපති තනතුර නොලැබුණේ ඇයි කියලා රට දන්නෙත් නැහැ.

2015 මාර්තු අගමැතිතුමා දැනුම් දුන්නා බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව නීතිපතිට යොමු කරනවා කිව්වා. වසර 4ක් වෙනවා තාම දඬුවමක් නෑ. හැබැයි භික්ෂු දඩයමකදී නීතිපති බොහෝම කඩිනමින් කටයුතු කරනවා. වික්‍රමසිංහ මහතාට පොලිස්පති තනතුර අහිමි වුණේ එතුමා දන්නෙත් නෑ. රට දන්නෙත් නෑ.

මහාධිකරණ විනිසුරුවරයෙක්
ජේ‍යෂ්ඨ විනිසුරු පස් දෙනෙක් නොසලකා හැරල සභාපති විනිසුරු ලෙස පත් වෙනවා. මොකද්ද මේ ක්‍රමවේදය.
මේ මොහොතේ මහාධිකරණයේ

ජේ‍යෂ්ඨතම විනිසුරු මනිලාල් මහතාගේ ඉහළ යෑම 8 වතාවක් නොසලකා හැරලා තියෙනවා.
ශේ‍ර්ෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට පත් කිරීමේදී තමන් බෞද්ධයකු වීම තනතුරක් නොලැබීමට සුදුසුකමක් වීම ගැන ඒ විනිසුරුවන් කතා වෙනවා. අර්බුදයේ උච්චතම තැන අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත් කිරීමේදීයි.

මුහුණ බලලා, ආගම බලලා විනිසුරුවන්ට පත්වීම් ලබා දීම තවදුරටත් කරගෙන ගියොත් විදේශීය විනිසුරුවරුන් ගේන්න වෙනවාමයි.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැනත් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. සාමාජිකයන් 10 දෙනාගෙන් පස් දෙනෙක් පත් කළ යුත්තේ අගමැති විපක්ෂ නායකයි ඒකාබද්ධවයි කියලා.

සැබෑ විපක්ෂයේ නායකයා විදියට මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවට ආවා. නමුත් ඉහත විකෘතිය තවමත් යනවා. ඒ නිසා අගමැතියි හිටපු විපක්ෂ නායකතුමයි පත් කරපු ව්‍යවස්ථාදායක සාමාජිකයන් පස් දෙනා ඉල්ලා අස්විය යුතුයි. රටේ ජාතික මර්මස්ථාන විනාශ කිරීමට පෙර මේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කළ යුතුයි.

ආණ්ඩුව මංකොල්ලකාලා තීන්දුව ලැබුණෙ
නැහැ කියලා
ඒ තරහ අපෙන්
ගන්න එපා - සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

'ආණ්ඩුව මංකොල්ලකාලා තීන්දුව ලැබුණෙ නැහැ කියල ඒ තරහ අපෙන් ගන්න එපා' යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

අග්‍රවිනිශ්චයකාරතුමාගේ මතය නොවිමසා ශේ‍ර්ෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්න බෑ කියලා 19 සංශෝධනයේ තිබෙනවා.

නීතිපතිවරයා පත් කිරීමේදී ජනධිපතිතුමාගේ ප්‍රමුඛතාව ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිවරයා තමයි ජයන්ත ජයසූරියගේ නම ඉදිරිපත් කළේ.

ගම්මන්පිල මන්ත්‍රිතුමා කිව්වා හිතුවක්කාරකමට පොලිස්පති පත් කරලා කියලා. ව්‍යවස්ථාදායක සභාවට නම් තුනක් එව්වා. පූජිත ජයසුන්දර, වික්‍රමසිංහ, වික්‍රමරත්න. ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් පවත්වලා ඒ අනුවයි පොලිස්පතිවරයා පත් කළේ.

ඒ වගේම දීපාලි විජේසුන්දර මහත්මිය පත් නොකොට අභියාචනාධිකරණයට ප්‍රීති පද්මන් සූරසේන පත් කරන්න කියලා ජනාධිපතිවරයා තමයි ඉදිරිපත් කළේ. නමුත් ජනාධිපතිතුමා ඊට පස්සේ දීපාලිගේ නම යෝජනා කෙරුවට අගවිනිසුරුතුමා පිළිගත්තේ නැහැ.

එජනිසය, ශ්‍රී ලනිපය පක්ෂයක් විදියට මේ ව්‍යවස්ථාදායක සභාව පත් කර ගැනීමට ඡන්දය දුන්නනේ. ඇයි මේ දැන් අ‍ෙ¼දා්නාව. දැන් නීතිරීති ගැන කතා කරනවා. මේ අය මේක අනුගමනය කරන්නෙත් නෑ.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එදා නීතිරීති වගයක් පිළිගත්තා. ඒ නීතිරීති මේ වත්මන් ව්‍යවස්ථාදායක සභාවෙත් පිළිගත යුතුයි කියලා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. තමුන්නාන්සේලා ඒකට යෝජනා එව්වේ නැත්තේ ඇයි? එක මන්ත්‍රිවරයෙක්වත් එව්වේ නෑ. ප්‍රමාද වෙලා හෝ මේකේ අඩුපාඩු තියෙනවා නම් හදා ගමු.

අපේ ආණ්ඩුව මංකොල්ලකාලා පස්ස‍ෙදාරින් ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයට මං මූණට කිව්වා මේ පස්ස ‍ෙදාරින් ගත්ත එක ඔබතුමාට

අපකීර්තියක් කියලා. මේක තමයි තියෙන තරහ. අපිට ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ඉන්නට පුළුවන්. නමුත් අපිට ස්වාධීන අධිකරණයක් තිබිය යුතුයි. ගම්මන්පිල ආගම ගැන කිව්වා. ආගම ගැන බලලා විනිසුරුවරුන් පත් කරන්නේ කොයි ලෝකෙද? ජනාධිපතිට අයිතිය තිබෙනවා නම් නිර්දේශ කරන්න, නමුත් අගවිනිසුරුටත් අයිතිය තිබෙනවා

එය පිළිගන්න හෝ ප්‍රතික්ෂේප
කිරීමට.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon