දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂණය කළ ගිරිවැසිපුර වෙල්ලෝරයට ගිය ගමන

  👤  975 readers have read this article !
Published by : MB WEB 2019-03-03 14:41:27

ඉතිහාසය පිළිබඳ බොහෝ දැනුම අපට ළං වන්නේ එක් කෝණයකින්. එය බොහෝ විට ජයග්‍රාහකයාගේ පැතිකඩින් වීම සුලබව දකින්න ලැබෙන කාරණාවක්. 'ගිරිවැසිපුර' නිර්මාණය වන්නේම එකී රාමුවෙන් පිට පැන්න නිර්මාණයක් විදියට. දිගු කාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන ගිරිවැසිපුර චිත්‍රපටයේ පර්යේෂණ සංකල්පය, නිර්මාණය සහ අධ්‍යක්‍ෂණයට හිමිකම් දරන්නේ දේවින්ද කෝන්ගහගේ.

ඉතිහාසය විසින් වළලා දමන ලද පහර දෙන ලද විකෘති කරන ලද ව්‍යසනයකට ලක් කරන ලද අවුරුදු 18දී රජවී, අවුරුදු 35දී අත්අඩංගුවට පත් වී, අවුරුදු 52දී මියයන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ දිග හැරෙන "ගිරිවැසිපුර" චිත්‍රපටය සුවිශේෂී ගණයේ චිත්‍රපටයක්. ලංකා ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් වාර්තා කළ ගිරිවැසිපුර චිත්‍රපටයට මේ වන විට සිංහල, දෙමළ භාෂා ද්විත්වයෙන්ම පූර්ව ප්‍රචාරක පට නිර්මාණය වී තිබෙනවා. එය එළිදැක්වීම පසුගියදා පදනම් ආයතනයේදී සිද්ධ වුණා.

මේ චිත්‍රපටය තෙලිඟු, මලයාලම් සහ දමිළ භාෂාවෙන් හඬ කවා ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනයටද සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.


"ගිරිවැසිපුර" චිත්‍රපටය ලාංකේය ප්‍රේක්‍ෂකයන්ට තවමත් විවර වූයේ නැහැ. නමුත් ගිරිවැසිපුර කණ්ඩායමට පසුගියදාක වෙල්ලෝරයට යන්න සිද්ධ වෙනවා. ගිරිවැසිපුර වෙල්ලෝරය බලා ගිය ගමනේ සුලමුල ගැන අධ්‍යක්‍ෂ කෝන්ගහගේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී කිව්වේ මෙන්න මේ විදියට.

ගිරිවැසිපුර මුල් මාධ්‍ය හමුවෙන් පස්සේ දමිළ මාධ්‍ය ඒ ගැන වාර්තා කළා. ඔය අතරේ රමේෂ් රාජසිංහ කියන පුද්ගලයෙක් මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඔහු මට කිව්වා ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ පරම්පරාවේ පුතෙක් කියලා. මම හිතුවේ ඒක ලණුවක් කියලා. මේ ගැන සොයාගෙන යද්දී ලාංකේය මාධ්‍යවේදියෙක් වන වෙල්ලෝරයේ උපන්න මනි ශ්‍රී කාන්ත් ඇත්ත නැත්ත අපිට සොයා දීලා අශෝක් රාජසිංහ ඇතුළු පවුලේ උදවියව අපිට මුණගැස්සුවා.

1832 ජනවාරි 30 වැනිදා වෙල්ලෝර් බලකොටුවේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එල්මා කියන රෝගයෙන් මිය යනවා. මේ වසරේ ජනවාරි 30 වැනිදාට රජු මියැදිලා අවුරුදු 187ක්. රජු මියැදිලා අවුරුදු 187ක් ගත වෙද්දී මම බලාපොරොත්තු වුණේ නැහැ වෙල්ලෝරයට යන්න. නමුත් මට ආරාධනයක් ලැබුණා වෙල්ලෝරයට එන්න කියලා. මම පුබුදු, නිරන්ජනී ඇතුළු කණ්ඩායම වෙල්ලෝරයට ගියා. මෙය ලාංකේය සිනමා කෘතියක් වෙල්ලෝරය බලා ගියපු පළමු අවස්ථාව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හත්වන පරම්පරාවේ ප්‍රධාන මුනුපුරා වන අශෝක් රාජසිංහ අපිව පිළිගත්තා. කන්ඩි රෝයල් ෆැමිලි ඔෆ් මදුරෙයි කියලා තමයි ඔවුන්ගේ පරම්පරාව හඳුන්වන්නේ.


ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව තියලා තිබ්බ නිවෙස හඳුන්වන්නේ කන්නි මහල් කියලා. සෑම වසරකම මුතු මණ්ඩපයේ පැවැත්වෙනවා ගුරු පූජාව නමින් උත්සවයක්. රජුගේ සහ වෙන්කත රංගම්මාල්ගේ භස්මාවශේෂ තැන්පත් කළ ස්ථානයක් එහි තියෙනවා. රජු වෙනුවෙන් සෑම අවුරුද්දකම එහි පූජා පවත්වනවා.

අපි වෙල්ලෝරයට යද්දී ඵලකයක් අරගෙන ගියා. ගිරිවැසිපුර චිත්‍රපටය රජුන්ටත් රජුගේ පරම්පරාවටත් උපහාරයක් පිණිස පිදේවා කියලා ඵලකයක් අපි ඔවුන්ට පිදුවා. එය මුතු මණ්ඩපය තිබෙන තාක් ප්‍රදර්ශනය කර තිබේවි. ඔවුන් අපිට උපහාරයක් පිණිස කඩුවක් පිරිනැමුවා. මේ ක්‍රියාවලියෙන් පස්සේ චිත්‍රපටය එහේ ප්‍රදර්ශනය කර මාධ්‍ය හමුවක් ද පැවැත් වුණා. සන් ටී.වී. සහ තවත් බොහෝ දමිළ මාධ්‍යවල එය වාර්තා වුණා.


ලාංකේය ඉතිහාසයෙන් නිර්මිත "ගිරිවැසිපුර" චිත්‍රපටයට ඉන්දීය මාධ්‍යවල ඉඩ විවර වුණේ එලෙසයි.

ෆැන්ටසියෙන් එහා ගිය යථාර්ථය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබුණත් චිත්‍රපටයේ රූප රාමු, රංගනය, චිත්‍රපටයේ යථාර්ථ පිළිබිඹුව ඒ ඇගැයීම්වලට බලපෑම් කළා.

"ගිරිවැසිපුර කියන්නේ සංහිඳියාවෙන් යුතු ක්‍රියාදාමයක් සිනමා කෘතියක් තුළ කතා කිරීම විදියටයි දේවින්ද හඳුන්වන්නේ.

මේ සිනමා කෘතියේ කතාන්දරය තුළ සංහිඳියාව නොතිබුණත් මේ නිර්මාණයට දායක වූ පිරිස සංහිඳියාවට අපූරු සාක්කි සපයනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පුබුදු චතුරංග, මහේන්ද්‍ර පෙරේරා, නිරන්ජනී ශංමුගරාජා සහ බුද්ධික ලොකුකැටිය. මෙහි සිංහල, දමිළ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් රංගනයට දායක වෙනවා. තෙලිඟු රජෙක් පිළිබඳ දිගහැරෙන මේ සිනමා නිර්මාණයේ දමිළ ගී රචනයට එක්වන්නේ අස්මින් උතුමාලෙබ්බේ.

චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ගේය තනු නිර්මාණය කරන්නේ බිබිලදෙණියේ මහනාම හිමියන්. මෙහි ප්‍රධාන නිෂ්පාදක දමින්ද උපාලි ප්‍රනාන්දු. විධායක නිෂ්පාදක ශිරන්ත අමරසිංහ. සංහිදියාව මනාවට පිළිබිඹු කරමින් නිර්මිත දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂණය කළ ගිරිවැසිපුර ඉදිරියේදී ප්‍රේක්‍ෂක ඔබ හමුවට ගේන්න සූදානම්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon