නම වෙනස් වුණාට හැමෝගෙම භූමිකාව එකයි

  👤  1353 readers have read this article !
Published by : MB WEB 2019-02-26 16:06:08

දෙයක් හරියටම කරනවා නම් මනුස්සයකුට ගොඩ යන්න අවශ්‍ය වෙන්නේ එකම එක අවස්ථාවක් විතරයි. බාධක මොන තරම් ආවත් තමන්ව විශ්වාස කළ නිසා වාසනාව උදා වුණු ඇය තමයි ජනප්‍රිය හොලිවුඩ් සුරූපිනිය ජෙනිෆර් ඇනිස්ටන්.

1969 වසරේ පෙබරවාරි 11දා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෂර්මන් ඕක්ස්හිදී උපත ලබන ජෙනිෆර් ජොඅෑනා ඇනිස්ටන්ගේ මව සහ පියා දෙදෙනාම ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ලෙස කටයුතු කළා. මව නැන්සි ඩෝ සහ පියා ජෝන් ඇනිස්ටන් දෙදෙනා Soap Opera හෙවත් අපි හැමෝම දන්න විදිහට මෙගා ටෙලි නාට්‍ය රංගනයෙන් ප්‍රසිද්ධිය දිනාගත් දෙදෙනෙක්. ඒ නිසාම කුඩා කාලයේ පටන් අනෙක් අයගේ අවධානය දිනාගත් දැරියක් බවට ජෙනිෆර් පත්වුණා.

ජෙනිෆර්ට වයස අවුරුදු නවය පිරුණු කාලයේදී මවුපියන්ගේ දික්කසාද වීම හේතුවෙන් ඇගේ භාරකාරත්වය හිමිවෙන්නේ මවටයි. දික්කසාදයකදී බොහෝ හේතූන් නිසා මවට දරුවන් අයිති වීම සාධාරණ වුණත් ජෙනිෆර්ට නම් තම මව නැන්සිගේ සෙවණේ උස් මහත්වීම සුන්දර අද්දැකීමක් වුණේ නෑ. ඒ වෙනුවට සිද්ධ වුණේ නැන්සිට තම ස්වාමිපුරුෂයා සමඟ තිබුණු වෛරය සහ ජීවිතය නොසිතූ විරූ ලෙස වෙනස් වීම නිසා ඇති වුණු චිත්ත වේදනාව පිට කිරීමේ ක්‍රමය ලෙස ජෙනිෆර්ව යොදා ගැනීමයි.
නැන්සි නිතරම පුංචි දැරිවියක් වුණු ජෙනිෆර්ට බැන වැදුණා. උණහපුලුවාට තමන්ගේ පැටියා මැණිකක් කියලා කියමනක් තිබ්බාට නැන්සිට ඒක වලංගු වුණේ නෑ. ඇය ජෙනිෆර්ගේ පෙනුම සම්බන්ධයෙන් නිතරම කතා කළේ විවේචනාත්මකවයි. විශේෂයෙන්ම ජෙනිෆර්ගේ ඇස් දෙක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි අෑතකින්පිහිටා තිබෙන බව ඇයටම උලුප්පා දක්වමින් තම කේන්තිය පිට කළා.

ජෙනිෆර් පාසල් කාලය ගෙවන්නේ පරාජිත හැඟීමකින්. අෑට සුළු කරුණු පවා තේරුම් ගන්න හැට පැයක් ගතවුණා. නිවෙසේදී තමන්ගේ මවගෙන්ම ලැබෙන තරවටු සහ වාචිකව සිදු කරන මානසික හිංසනය ඊට බලපෑවේ තදබල ලෙසින්. අෑට අවශ්‍ය වුණා නිදහසක්. තමන්ගේ ඇතුළාන්තයේ කැකෑරෙමින් තියෙන වේදනාව පිට කරන්න වෙනත් ක්‍රමයක්. ඊට තෝරාගන්නේ අෑට සහජයෙන්ම උරුම වුණු සතර අභිනයයි.

පළමු ශේ්‍රණියේ සිට සිප් සතර හැදෑරූ Waldorf පාසලෙන් ඉවත් වෙලා වයස අවුරුදු 11දී ජෙනිෆර් ඇතුළත් වෙනවා Fiorello H. Laguardia පාසලට. මොකද ඒ සංගීතය සහ කලාව සඳහා විශේෂ අවධානය යොමු කරන පාසලක් නිසා. අපේ රටෙත් ක්‍රීඩා සඳහාම වෙන්වුණු පාසල් කිහිපයක් තිබුණත් අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා වෙනම තැනක් දෙන පාසල් බිහිවෙන්නේ කලාතුරකින්. ඒ නිසයි අපි එකම ඉලක්කවලට ගිහින් හිරවෙද්දී ලෝකයේ එහා කෙළවරේ විවිධ ඉලක්කයන් සපුරාගෙන හැමෝම වගේ දියුණු වෙන්නේ.

සාගරේ වගේ විශාල ජීවිතේ විඳින්න වේදිකාව උපයෝගී කරගන්න ජෙනිෆර් පාසලේ වැඩ පෙන්නලා අවතීර්ණ වෙනවා ප්‍රසිද්ධ කලා මාධ්‍යයන්ට. අම්මා තාත්තා නළු නිළියෝ වුණ පළියට රංගන වරම් දිනා ගන්න ජෙනිෆර්ට හැකිවෙන්නේ නෑ. ඇය දිනපතා මහන්සි වෙනවා දියුණු වෙන්න. Broadway නිර්මාණවලට දායකත්වය දෙමින්, චිත්‍රපටවල ඉතා සුළු චරිතවලට පණ පොවමින්, වේටර්වරියක් ලෙස තමන්ගේම මුදලක් හොයාගෙන පුංචි කුලී කාමරයක ජීවත් වෙමින් ඉන්න ජෙනිෆර්ගේ ජීවිතයට වාසනාව එන්නේ 1994 වසරේදී. NBC ආයතනයෙන් නිෂ්පාදනය කරන නවතම රූපවාහිනි මාලා නාටකයක් සඳහා තිර පරීක්ෂණයකට ඇය සහභාගි වෙනවා. අෑට එම නාට්‍යයේ රේචල් ග්‍රීන් චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබෙනවා. ඒ රූපවාහිනි නාට්‍යය තමයි Friends.

Friends නාට්‍යය අදටත් සැලකෙන්නේ මෙතෙක් බිහිවුණු සාර්ථකම Situation Comedy හෙවත් Sitcom ගණයේ නාට්‍යය ලෙසයි. ඇය එක් කාලයකදී අනුගමනය කළ Bobcut හිසකෙස් විලාසිතාව ලෝකය පුරා The Rachel Cut නමින් හැඳින්වීමම ජෙනිෆර්ගේරේවල් චරිතයට ලැබුණු ජනප්‍රසාදය කෙසේද යන්න පිළිබිඹු කරනවා.

එක් නාට්‍යයකින් ලෝකයක් දිනූ ජෙනිෆර්ට සාර්ථක පවුල් ජීවිතයක් දිනාගන්න වාසනාවක් තිබුණේ නෑ. ඊට හේතු වන්නේ කුඩා කල පටන් මවගෙන් ලැබුණු මානසික වධ හිංසා නිසා ඇය විෂාද තත්ත්වයට පත්වීමයි. ඇය බ්‍රැඩ් පිට් සහ ජස්ටින් තොරෝ සමඟ සිදුවුණු විවාහයන් දෙකම අසාර්ථක වන්නේ මානසික පීඩනය සහ විෂාදය නිසයි. කෙසේ නමුත් ඇය දැන් මානසික ප්‍රතිකාර සහ භාවනාවන්ට යොමු වෙමින් සාර්ථක ජීවිතයක් ගත කරනවා.

අද ජෙනිෆර් ඇනිස්ටන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 240ක්. ලෝකයේ වැඩිම ආදායමක් ලද රූපවාහිනි නිළිය ලෙස ගිනස් ලෝක වාර්තාවක් ඇය සතුයි. රිදී තිරයටත් පුංචි තිරයටත් වෙළෙඳ දැන්වීම්වලටත් හොලිවුඩයටත් නැතිවම බැරි තරුවක් බවට අඩ සියවසක් ආයු සපුරන මේ සුරූපී කත පත්වී තිබෙනවා. අපි හැමෝගෙම ජීවිත කතාව වෙනස්. නමුත් ඒ වෙනස්කම් ඇතුළේ සමපාත වෙන තැන් බොහොමයි. ජෙනිෆර්ගේ කතාවේ ඔබටත් අදාළ වෙන තැන් ඇති ඒ නිසා මොනතරම් බාධක ආවත් තමන්ගේ හුස්ම වැටෙනකං ජීවිතේ අතහරින්න එපා.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon