ජාත්‍යන්තර සිනමා උළෙලකට තේරුණ හසුන්ගේ Screwjack

  👤  1475 readers have read this article !
Published by : MB WEB 2019-02-28 13:06:27

ඔබේ පළමු කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන උළෙලක නියෝජනයක් වෙලා. ඒ ගැන මුලින්ම කතා කරමු?

ඔව්. මම නිර්මාණය කළ ඉජපඥඹණචජඬ කෙටි චිත්‍රපටයට පසුගිය 7 වැනිදා සිට දහ වැනිදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වුණ 21 අයිලන්ඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙල නියෝජනය කරන්න ලැබුණා. ඒ වගේම පසුගිය 9 වැනිදා මගේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට යොමු වුණා. මෙවර උළෙලට ඉදිරිපත් කළ 1,500කට ආසන්න කෙටි චිත්‍රපට අතරින් රටවල් 21ක් නියෝජනය කරන කෙටි චිත්‍රපට 38ක් උළෙල නියෝජනය කරන්න නිල සුදුසුකම් ලැබුවා. ඒ අතරට තමයි මගේ චිත්‍රපටයත් තේරිලා තියෙන්නේ. සිනමාව ගැන මටත් හීනයක් තියෙනවා. විවිධ හැල හැප්පීම් එක්ක එන මේ ගමනෙදි මේකත් මට පොඩි ජයග්‍රහණයක්.

මේ සිනමා නිර්මාණයෙන් ඔබ කතා කරන්න උත්සාහ කරන්නේ මොන වගේ කාරණයක් ගැනද?

දුෂ්කර ප්‍රදේශයක ලුණු ලේවායක වැඩ කරන ස්ත්‍රියකට වෙන ලිංගික අඩන්තේට්ටම්, ආදරය මඟහැරීම ගැන තමයි මෙහි කතා කරන්නේ. අපිට දැනෙන හැඟීමට නීති රීති දාන්න බැහැ. "මානසික චිත්තවේගයෝ නීති රීති හා තර්ක හැඳිනුවේ නැත" කියන විශේෂ තැන මේ නිර්මාණයේ මම පාවිච්චි කරනවා. ලංකාව කියන දූපතෙත් තියෙන තවත් තැනක කොටුවෙලා රසය උත්පාදනය කරන අයට අත්වන ඉරණම ගැන තමයි මේ කෙටි චිත්‍රපටය තුළ විකාශය වෙන්නේ.

මේ නිර්මාණයට දායක වෙන රංගන ශිල්පීන් ගැනත් මතක් කරමු?

හේමසිරි ලියනගේ, සංජීව උපේන්ද්‍ර, දිලිනි ලක්මාලි තිරිමාන්න තමයි මෙහි රංගනයට එකතු වෙන්නේ. සංජීව උපේන්ද්‍ර කියන්නේ විශිෂ්ට රංගධරයෙක්. ඔහු මම ගොඩක් කැමැති කෙනෙක්. සංජීව උපේන්ද්‍ර මේ නිර්මාණය වෙනුවෙන් නිරුවත් වෙනවා. ඔහු මේ නිර්මාණයට අවංක වෙනවා. හේමසිරි ලියනගේ කියන්නෙත් මම ගරු කරන චරිතයක්. දිලිනි කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ හැමෝම වගේම නිර්මාණයට සම්බන්ධ වුණ සියලු දෙනා මට ලොකු සහයෝගයක් දුන්නා.

ඔබ මේ සිනමා නිර්මාණය ලාංකේය සම්මාන උළෙලවලට ඉදිරිපත් කළේ නැද්ද?

යම් සම්මාන උළෙලකට මේ චිත්‍රපටය දැම්මා. නමුත් ඔවුන්ට මේ චිත්‍රපටය සුදුසු තත්ත්වයේ තිබුණේ නැහැ.

ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා. මේ පොඩි පොඩි දේවල් කරගෙන යන්නේ ඒ ගමනට. ලංකාවේ නිර්මාණකරුවෝ ඒ නිර්මාණ පිටට ගෙන ගිහින් ජයග්‍රහණ ඇගයීම් ලබා ගන්නවා. නමුත් අපි කරන නිර්මාණ මෙහේ පැළ කරන්න තමයි අමාරු. මම දෝෂාරෝපණය කරනවා නෙවෙයි. නමුත් මේ ක්‍ෂේත්‍රයේ යම් පැටලිලි ස්වභාවයක් තියෙනවා. විවිධ නිර්මාණකරුවෝ ඉන්නවා. ඔවුන් විවිධ නිර්මාණ කරනවා. මේ හැම නිර්මාණයක්ම සෑම කෙනකුටම ගෝචර වෙන්නේ නෑ. සිනමාව ඇතුළේ ලොකු ඛේදවාචකයක් තියෙනවා. සියලුදේ වියැකී යන රටක සිනමාකරුවකුට හීන තබාගත නොහැකියි. මේ සිස්ටම් එක වෙනස් වෙන තාක්කල් මේ සිස්ටම් එකේ සිනමාකරුවෙක් වෙලා වැඩක් නැහැ.

ඔබ ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණයක් කරන්න ප්‍රමාද වෙන්නේ ඒකද?

මට සිනමාකරුවෙක් වෙන හීනයක් තියෙනවා. නමුත් සිනමාකරුවෙක් වෙන එක ගැන මට අර්බුදයක් තියෙනවා. අද සිනමා නිර්මාණ කළාට ඇකඩමික් ලෙවල් එකේ අය අඩුයි. දැන් හැමෝම කරන්නේ මැච් එකක් ගහන එක. පොඩි ගේම් එකක් ජයග්‍රහණය කරන එක. මට සිනමාවට එන්න හීනයක් තිබ්බට සිනමාකරණයට එන්න අවංකද කියන හැඟීමක් මට තියෙනවා. මම තාම ඒ අවංකභාවය ගැන හොයනවා.

ඔබ කියන්නේ දැන් නිර්මාණකරුවෙක්ට නිර්මාණයක් වෙනුවෙන් අවංක වෙන්න බෑ කියන එකද?

මෙහෙමයි, නිර්මාණයක් කරද්දි ඒක කරන්නේ සම්මානයක් වෙනුවෙන්ද, නිෂ්පාදකවරයා වෙනුවෙන්ද, නැත්නම් වෙනයම් කාරණාවකටද, එහෙමත් නැත්නම් ඇත්තටම මානව දයාව වෙනුවෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම ඇතුළු බොහෝ නිර්මාණකරුවන් මැච් එකක ඉන්නේ. ඒ නිසා මම තාම සිනමා නිර්මාණයක් කරන්න සුදුසුද කියන දේ ගැන වගේම නිර්මාණකරණයට කොච්චර අවංකද කියන දේ ගැන මම හිතනවා.

යාල්දේවි, මීදුම් අම්මා, පැරීසියට යන පාර වැනි නිර්මාණත් එක්ක ඔබ ගෙන ගිය සුවිශේෂ අධ්‍යක්ෂණ රාමුවෙන් දැන් ඔබ පිට පැනලා. ඇයි ඒ?

ඒක තමයි ප්‍රශ්නය. මම මගේ යාල්දේවි කියන ටෙලි නිර්මාණයට 'මේ රට සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම අයිතියි' කියන දෙබස දැම්මා විතරයි මගේ නාට්‍ය විකාශනය කරන එක නැවැත්තුවා. නිර්මාණයක රසය හඳුනන්නේ නැති පිරිස එවැනි නිර්මාණ නවත්තද්දි ඒ ගැන කතා කරන්න කවුරුත් එකතු වෙන්නේ නෑ. දැන් තියෙන්නේ නාළිකා අතර තරගයක්. මා ඇතුළු සියලු දෙනාට බොහෝ නාළිකා තීරණය කරන විදියට වැඩ කරන්න වෙනවා. ඔවුන් පෞද්ගලික කාරණාවලට නිර්මාණය එහෙට මෙහෙට කරනවා. එතකොට නිර්මාණකරුවාගේ නිර්මාණශීලිත්වයට මොකද වෙන්නේ. කුසගින්න ඉස්සරහට එන නිසා අපිටත් නිර්මාණයට අවංක නොවී ඒ ගේම් එකට බහින්න වෙලා තියෙනවා.

ඔබේ හැඩ තලයේ ඔබ අවංක වුණ නිර්මාණ ගණයේ අලුත් ටෙලියකට අතගැහුවේ නැද්ද?

එවැනි නිර්මාණයක් කරන්න මේ දවස්වල පෙර නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. දැන් හොඳ වැඩ ටිකක් එනවා. ඉතිං හොඳ වැඩ ටිකක් කරන්න මමත් කැමැත්තෙන් ඉන්නවා. මටත් ඕන එවැනි වැඩ කරන්න.

හසුන් සමීර කියන අධ්‍යක්ෂවරයා සිනමා නළුවෙක් විදියටත් අපිට දකින්න ලැබෙනවා?

මම ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියටත් කටයුතු කළා. අනුරුද්ධ ජයසිංහ අයියගේ වුවමනාවට මම එහි රංගනයට එකතු වුණා. නමුත් මම වෘත්තීයමය රංගන ශිල්පියෙක් නෙවෙයි.

තිළිණි කෞශල්‍ය විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon