කෙළින් කතා කරලා අවස්ථා නැති වුණත් දුකක් නෑ

  👤  3189 readers have read this article !
Published by : MB WEB 2019-02-27 06:13:24

මේ දවස්වල රංගන වැඩකටයුතු පැත්තෙන් මොකද වෙන්නේ?

අලුතින් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. තාම ඒකෙ වැඩකටයුතු ආරම්භ කළේ නෑහැ. සෝමරත්න දිසානායක මහත්තයාගේ "සුනාමි" චිත්‍රපටයේ හඬ කැවීම් කටයුතු අවසන් කළා. දේවින්ද කෝන්ගහගේ මහත්තයා අධ්‍යක්ෂණය කරපු "ගිරි වැසිපුර" කියන ඓතිහාසික චිත්‍රපටයේ වැඩ කටයුතු කළා. ඒකේ ට්‍රේලර් එක ළඟදී නිකුත් කරයි.

ඔබ මේ දිනවල තෛ්‍රලෝකා එක්ක පුංචි තිරයේ ඉන්නවා. තෛ්‍රලෝකා කියන්නෙ ඔබේ රංගනයට කොයිතරම් ලොකු වෙනසක්ද?

තෛ්‍රලෝකා, ඉතාම හොඳ නාට්‍යයක්. අපි හැමදාම රට ඇතුළේ කතා කරන දෙයක්නෙ ජාතිවාදය කියන ප්‍රශ්නය. තෛ්‍රලෝකා ඒ සම්බන්ධව ගත්ත කතා තේමාවක් එක්ක ගොඩනැඟුණක්. හැබැයි මෙතෙක් කල් සංහිඳියාව, එකමුතුකම ගැන කතා කරපු කතාවලට වඩා මේක හාත්පසින්ම වෙනස්. කතාවේ කොටස් දාහතරයි තියෙන්නේ.

රට ඇතුළේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි මේ රට ගැන සහ අනාගතය ගැන, අපේ එකමුතුකම ගැන බලන්න ඕනෙ කියලා ලස්සන විදියට කියන කතා තේමාවක් තියෙන ටෙලි නාට්‍යයක් මේක. මම සතුටු වෙනවා මට එහි රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබුණු එක ගැන.

පුංචි තිරයේ වැඩිපුර දකින්න නොලැබීමට විශේෂ හේතුවක් තියෙනවාද?

මම සිනමා කෘතිවල රඟපාන්න තමයි ගොඩක් කැමැති. ටෙලි නාට්‍යවල ඉතාම අඩුවෙන් රඟපාන්නෙ. හේතුව දැන් කාලෙ තියෙන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඉතාම ගැටලුසහගතයි.

අපිට කියන කතාව නොවෙයි අපි රඟපාන කොට හරි ටෙලි කාස්ට් වෙනකොට හරි තියෙන්නේ. පටන් ගන්නෙ එක තැනකින්. ඉවර කරන්නේ තවත් තැනකින්. අපිට මුදල් ලැබෙනවා තමයි. නමුත් ප්‍රේක්ෂකයෝ ඔවුන්ගේ කාලය නාස්ති කරගෙන ඒ නිර්මාණ බලන්නේ ඔවුන්ට සතුටක්, ආදර්ශයක් හෝ කිසියම් අදහසක් ලබා ගැනීමේ අදහසින්. ඒ වුණාට දැන් බොහෝ නාට්‍ය ඉවර වෙන්නෙ අගක් මුලක් හරියට නැතිව. ඒ වගේ දේවල්වලට සම්බන්ධ වෙන එක මම ගොඩක් අඩු කරලා තියෙන්නේ. මම ඉන්න නිර්මාණයක් ප්‍රේක්ෂකයෙක් බලනවා නම් මට වගකීමක් තියෙනවා ඒ ප්‍රේක්ෂකයාට සාධාරණයක් ඉටු කිරීමට.

ඒ කියන්නේ ආරාධනා ලැබෙන සියල්ලෙම නිරංජනී පේන්න ඉන්නේ නෑ කියන එක ද?

ඔව්. මට තවත් ආරාධනාවක් ලැබුණා. මම මෙගා නාට්‍යවලට ආස නැහැ. මෙගාවලට තමයි මේ දවස්වල ආරාධනා ආවෙ. ආරාධනා ආවෙත් එකම වගේ චරිතවලට.

මම යුද්ධය ආශ්‍රිත චරිතයකින් මගේ රංගන ජීවිතය ඇරැඹුවේ. ඉතින් ඒ වගේම පසුබිමක් සහිත නිර්මාණවලට ආරාධනා එනවා වැඩියි.

ඔබ රංගන ක්ෂේත්‍රයට එන්න විශේෂ හේතුවක් තිබුණාද?

මගේ ජීවිතයේ මට ලැබුණු කිසිදෙයක් ප්ලෑන් කරලා ලැබුණු දේවල් නොවෙයි. මම නිවේදිකාවක් වුණෙත් අහම්බෙන්. මම නිළියක් වුණෙත් අහම්බෙන්. පොඩි කාලේ ඉඳන් මගේ ආසව තිබුණෙ ගායිකාවක් වෙන්න. රංගන ශිල්පිනියක් විදියට මට ඉස්සරහට එන්න හේතු වුණේ වේදිකාව.

තරංගා ප්‍රියදර්ශනී අක්කා මගේ දක්ෂතාව හඳුනාගෙන මට වේදිකාවට එන්න අවස්ථාව සැලසුවා. එතැනදී මට ලැබුණු අවස්ථාව හරි විදියට යොදා ගත්ත නිසා තමයි මට සිනමාවට එන්න පුළුවන් වුණේ. මගේ දක්ෂතාව සහ කොහේදෝ තිබුණු වාසනාවක් නිසා තමයි මට අද දවසේ සම්මාන අරගෙන ශ්‍රී ලංකාවේ පිළිගත් රංගන ශිල්පිනියක් ලෙස ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.

දමිළ තරුණියක් වීම නිසා රංගන ක්ෂේත්‍රයේදී අහිමි වූ දේවල් තිබෙනවාද?

අපිව එක රාමුවකට කොටු කරලානෙ තියෙන්නේ. යුද්ධෙට කලින් ආපු නිර්මාණ සහ යුද්ධෙන් පස්සේ ආපු දමිළ කලාකරුවෝ සහභාගි වෙන නිර්මාණ අතර වෙනසම ඒකට හොඳ උදාහරණයක්.

ශ්‍රී ලංකාවෙ දමිළ කලාකරුවෙක් විදියට නම ගිහින් තියෙන්නෙ දර්ශන් අයියාගෙ විතරයිනෙ. ඔහු නිර්මාණ විස්සක රඟපාලා තියෙනවා නම් ඒකෙ පහළොවක විතරම තියෙන්නේ යුද පසුබිම. අපිට වුණත් වැඩ එන්නේ නිර්මාණයේ එහෙම යුද පසුබිමක් තිබුණොත් පමණයි. අපිව එහෙම කොටු කරන්න එපා.

සිනමාව පැත්තෙන් ඔබට මේ වෙන කොට වෙනස් ආරක චරිත නිරූපණයට අවස්ථාව ලැබිලා තියෙනවා නේද?

ඔව්. ඒ ගැන මම සතුටු වෙනවා. ඒකට හොඳම උදාහරණය " ගිරිවැසිපුර" චිත්‍රපටය.

අනෙක් චිත්‍රපටය "සුනාමි" චිත්‍රපටය. ඒවායේ මම කරපු චරිතය මෙතෙක් කල් මම කරගෙන ආපු චරිතවලට සාපේක්ෂව ඉතාම වෙනස් චරිත.

රූපය, තත්ත්වය, බලලත් ක්ෂේත්‍රයේ අවස්ථා ලැබෙනවාලුනේ. මේ මොනයම් හෝ කාරණාවක් නිසා ඔබට අවස්ථා අහිමි වෙලා තියෙනවාද?

මට මගේ රූපය නිසා, පාට නිසා නිර්මාණ නොලැබුණු අවස්ථා තියෙනවා. මගේ දක්ෂතාව නිසා සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා, ඒකට ගියාම පාට මදි කියලා රිජේක්ට් වුණු අවස්ථා තිබුණා. මට ඒ වගේ අවස්ථාවන් දෙකකට මුහුණ දෙන්න වුණා.

සමහර චරිතවලට ඇත්තටම ලස්සන අවශ්‍යයි. ඒකෙදි අපිට නිර්මාණකරුවාට වැරැදි කියන්න බැහැ. නමුත් නිර්මාණකරුවන් සම්මුඛ පරීක්ෂණයට කතා කරන්න කලින් තමන්ගේ නිර්මාණයට හැම පැත්තෙන්ම සාධාරණයක් කරන්න පුළුවන් ආර්ටිස්ට් කෙනෙක්ද කියලා බලන්න ඕනෙ. ඒ හැමදේම හිතලා බලලා තමයි නිර්මාණයට කතා කරන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ කතා කරලා කනට ගහනවා වගේ දෙයක්නේ.

නිරංජනී කියන්නෙ කෙළින් කතා කරන කෙනෙක් නේද?

ඔව්. අනිවාර්යෙන්ම.

කෙළින් කතා කරලා අවස්ථා අහිමි කරගෙනත් ඇති?

කෙළින් කතා කරන එකෙන් මට අවස්ථාවක් නොලැබුණාට දුකක් නෑ. තව කෙනකුට මොකක් හරි අලුත් අවස්ථාවක් බිහි වෙනවා කියලා හිතලා මම සතුටු වෙනවා.

අපිට කලින් හිටපු කට්ටිය කෙළින් කතා කරලා තිබුණා නම් ටැමිල් ආර්ටිස්ලා හැටියට අපිට ලොකු තැනක් ක්ෂේත්‍රය තුළ ලැබෙන්න තිබුණා.

කලාකරුවෝ හැටියට ලාංකේය සිනමා හෝ ටෙලි නාට්‍ය කෘති තුළින් අපිටත් වෙනස් වූ චරිත හෝ නිසි තැනක් ලැබෙන්න ඕනෙ. ඒ ගැන මම හරි ඒ වෙනුවෙන් කතා කරන එකෙන් මට අවස්ථාව ලැබුණේ නෑ කියලා ඒ රික්ස් එක ගන්න මම දුක් වෙන්නෙ නැහැ. මගෙන් පස්සේ එන පරම්පරාවට හරි හරි මඟක් හැදෙන්න ඕනෙනෙ.

ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන පිළිගැනීම ගැන සෑහිමකට පත්වෙනවාද?

මගේ ප්‍රේක්ෂකයෝ මගේ ආගම, මගේ ජාතිය කිසිම බාධාවක් කර ගත්තෙ නැහැ. ශ්‍රී ලංකාවේ ඒවගේම හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. මම සතුටු වෙනවා ඒවගේ හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න රටක රංගන ශිල්පිනියක් වීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon