සොයුරිය නිසා ආගම කැප කළ මදුරාසියේ මොසාට් A.R. Rahman

  👤  1308 readers have read this article !
Published by : MB WEB 2019-02-21 17:12:21

තමන්ගේ දියුණුව වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනෑම කෙනෙක් සූදානම්. නමුත් වෙනත් කෙනෙක් වෙනුවෙන් ඒ කැපකිරීම සිදුකරන්න ඉදිරිපත් වීම සාපේක්ෂයි. තමන්ගේම සහෝදරිය වෙනුවෙන් සිතාගත නොහැකි කැප කිරීමක් කළ, ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දුන් ඒ අරුම පුදුම සොඳුරු කලාකාමියා 'මදුරාසියේ මොසාට්' (Mozart of Madras) ලෙස හඳුන්වන දක්ෂ සංගීතඥ ඒ.ආර්. රෙහ්මාන්.

1967 වසරේ ජනවාරි හයවැනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේදී ඒ.එස්. දිලීප් කුමාර් උපත ලබනවා. දිලීප්ගේ පියා ආර්.කේ. ෂේකර් දමිළ සහ මලයාලම් චිත්‍රපට පසුබිම් සංගීත නිර්මාණකරුවෙක් විදිහටයි කටයුතු කළේ. කුඩා කාලයේ ඉඳලම සප්ත ස්වරය ස්පර්ශ කරන්න ඔහුට ඉන් අවස්ථාව ලැබුණා. නමුත් ඒ ආභාසය වැඩි කලක් ලබන්නට දිලිප්ට වාසනාව ලැබුණේ නෑ. දිලිප්ට වයස අවුරුදු නවයක් වෙද්දී ශේකර් අභාවප්‍රාප්ත වෙනවා.

පියාගේ වියෝවෙන් පස්සේ දිලිප්ගේ පවුලට සිද්ධ වෙනවා ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න. ඊට තිබුණු පළමුවැනි විසඳුම තමයි පියාගේ වාද්‍ය භාණ්ඩ කුලියට දෙමින් මුදල් කිරීම, සරස්වතියගෙන් ලද දායාදය ලක්ෂ්මියගේ අණසකට යටත් වීම ගැන පුංචි දිලිප්ට කනගාටුවක් දැනුණත් ඒ මොහොතේ ඔවුන්ට කළ හැකි වෙන යමක් තිබුණේ නෑ.

පවුලේ අගහිඟකම් නවත්තන්න දිලිප්ටත් රුපියල් සත එක්ක ඔට්ටු වෙන්න වුණු නිසා පාසල් කටයුතු මඟහැරෙනවා. ඒ හේතුවෙන් වාර අවසාන විභාගවලින් එන්න එන්නම දිලිප්ගේ ස්ථානය පහළ අගයකට වැටෙනවා. සිද්ධ වෙන්න යන විනාශය තේරුම් ගන්න විදුහල්පතිනිය දිලිප්වත් ඔහුගේ මවත් වහාම මුණගැහිලා, මොන ගැටලුව ආවත්අධ්‍යාපනය හැදෑරීම නොනවත්වන ලෙසට අවවාද කරනවා. ඒ වෙනුවෙන් දිලිප්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය බරපැන දරන්නත් ඇය ඉදිරිපත් වෙනවා.

උසස් අධ්‍යාපනයට අවතීර්ණ වෙන දිලිප් මදුරාසි ක්‍රිස්තියානු විද්‍යාලයට ඇතුළත් වීමෙන් අනතුරුව පිය උරුමයෙන් ජානගත වුණු හැකියාවන් ඉස්මතු වෙන්න ගන්නේ සමාන සිතුම් පැතුම් තියෙන, වැඩක් කරන්න උණක් තියෙන තරුණ පිරිස් එක්ක දිනපතා මුහුවෙන්න ලැබෙන ඉඩහසරත් එක්ක. ඔහු තමන්ගේ අනාගතය සංගීතය ඔස්සේ සකසා ගන්න අඩිතාලමක් හදනවා කුඩා සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගෙන. වැඩේ හොඳින්ම ප්‍රගුණ කරද්දී දිලිප් තීරණය කරනවා උසස් අධ්‍යාපනය අතරමඟ නවත්වලා පූර්ණ කාලීන සංගීතඥයෙක් විදිහට කටයුතු කරන්න.

ඕනෙම දෙයක් පටන් ගන්නකොට කට්ටක් කන්න වෙන කාරණය පොදුයි. දිලිප් ආරම්භය ගන්නේත් එහෙමයි. Roots සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා ඔපමට්ටම් වෙන දිලිප් ඒ අද්දැකීම් සමඟ Nemesis Avenue නමින් රොක් සංගීත කණ්ඩායමක් ආරම්භ කරනවා. කීබෝඩ්, පියානෝ, සින්නසයිසර්, හාමෝනියම් සහ ගිටාර් වාදනය පුරුදු පුහුණු වුණත් ඔහුගේ දක්ෂතාව වගේම ඇල්මක් වැඩියෙන්ම තිබුණේ සින්තසයිසර් වාදනයට, ඊට හේතු වුණේ සින්තසයිසරය සංගීතයත් තාක්ෂණයත් එකට මුසුවුණු අපූරු වාද්‍ය භාණ්ඩයක් වුණු නිසාවෙන්.

1984 දී දිලිප්ගේ ජීවිතයේ නොසිතූ විරූ ඛේදවාචකයක් සිද්ධ වෙනවා. ඔහුගේ සොහොයුරිය එක්තැන් වෙනවා දරුණු රෝගයක් වැළඳීමෙන්. වෛද්‍යවරු හැමදෙනෙක්ම කියනවා ඇගේ ජීවිතය බේරාගන්න බෑ කියලා. ඉන්දියානු ජනතාව හද පත්ලෙන්ම දේවභක්තිකයන් නිසා දිලිප් යන්න පුළුවන් හැම හින්දු දේවාලයටම ගිහින් කන්නලව් කරනවා තමන්ගේ සොහොයුරියගේ ජීවිතය බේරාදෙන්න කියලා. නමුත් ඇගේ රෝගය දිනෙන් දින උත්සන්න වෙනවා.

දිලිප් ඉස්ලාම් නිකායක් වන කදීර් පල්ලියක පිහිට පතන්නේ වෙනත් ආගමික පිහිටක් හෝ බලාපොරොත්තුවෙන්. තමන්ගේ සොහොයුරිය නිට්ටාවටම සුව වුවහොත් තමන් සහ මුළු පවුලම ඉස්ලාම් භක්තිකයන් වෙන බව අල්ලාහ් දෙවියන් ඉදිරියේ දිලිප් පොරොන්දු වෙනවා. වෙද නිගමනයන් බොරු කරමින්ඇදහිය නොහැකි ලෙස ඉස්ලාම් ඇදහිල්ල පල දරන්නේ දිලිප්ගේ සොයුරිය නිරෝගී සුවයට පත්වීමෙන්. ඒ අනුව දෙවියන්ට වුණු පොරොන්දු ඉෂ්ට කරමින් දිලිප්, අල්ලා රක්කා රෙහ්මාන් හෙවත් ඒ.ආර්. රෙහ්මාන් නමින් නම සහ ආගම වෙනස් කර ගන්නවා. සැබෑ කලාකරුවකුගේ හදවත මොනතරම් සංවේදී ද යන්න රෙහ්මාන් තමන්ගේ සොයුරිය වෙනුවෙන් කළ මේ කැපකිරීම හොඳ උදාහරණයක්.

වෙළෙඳ දැන්වීම් සඳහා සංගීත නිර්මාණ කරමින් ක්ෂේත්‍රයේ මුල් බහින රෙහ්මාන් මුණගැහෙන්න සම්මානනීය අධ්‍යක්ෂ මනිරත්නම් පැමිණෙනවා. තමන්ගේ නවතම චිත්‍රපටයේ සංගීත සංයෝජනය රෙහ්මාන්ට භාරදෙන්න. ඒ අනුව 1992 දී රෙහ්මාන්ගේ ස්වර සැකසුමින් Roja චිත්‍රපටය එළිදැක්වෙනවා. චිත්‍රපටය වගේම එහි ගීතවලට විශේෂයෙන්ම Chinna Chinna Asai ගීතයට ලොව පුරා ආකර්ෂණය දිනාගන්න හැකිවෙන්නේ සිනමා ලෝකයට වගේම සාර්ථකත්වයටත් රෙහ්මාන්ට ‍ෙදාරටු විවෘත කරමින්.

රෙහ්මාන්ගේ කූටප්‍රාප්තිය වෙන්නේ 2008 දී Slumdog Millionaire චිත්‍රපටයේ සංගීත සැකසුම වෙනුවෙන් ඔස්කා සම්මාන දෙකක්ම එකවර දිනාගැනීමයි. ඔස්කා, ෆිල්ම්ෆෙයා ඇතුළු සම්මාන 135ක් දිනා ඇති රෙහ්මාන් ඉන්දියාවේ ජීවමාන ජාතික වස්තුවක්. ඔහු නිර්මාණය කළ 'වන්දේ මාතරම්' ගීතය ඉන්දීය ජාතියට නවමු පණක් ලබාදීමට සමත් වුණු අතිසාර්ථක දේශාභිමානී නිර්මාණයක්. අභියෝග සහ කැපකිරීම් සියල්ලම අපේ ජීවිතය අභියෝගයට ලක් කරාවි. නමුත් දරාගන්න පුළුවන් නම් ඒ හැම දුකක්ම තමන්ගේ ජය සැමරුම් ගීතයේ පද පේළි විදිහට ලියවේවි.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon